• ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~නිදහසේ උපන් සිතුවිලි නිදහස්ව පළ කරනු සඳහා සයිබර් අවකාශයේ ඉදි කළ නිවහන~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Sunday, March 16, 2008

මේ ඔබේ වාරයයි

සැඬ හිරු රැස් පහස ලබා ඉන්නට බැහැ දූවිල්ලට
සුළඟ එක්ක එකතුවෙලා හැම තැනකම විසිරෙනවා
ඉස්සර වගෙ හිස ඔසවා දෑත් නඟා නොබලයි දැන්
වියළී ගිය අතු පොරවන් ඇත මහදුම් කරබාගෙන
කීචි බීචි හඩ නෑසෙයි ඉගිල ගිහින් දුර ඈතට
කිසිවෙක් නැහැ වැව් පතුලේ රටා මවන ඉරි බලන්න

දිය බිඳුවක් සොයා ගිහින් යොදුන් ගණන් දුර ඈතට
පැල්පත් ළඟ දියමැහි උඩ දැකගන්නට නැහැ කළගෙඩි
වියළී ගිය පොළොවෙ හැපී පළ නැති තැන උදළු කෙටිය
සහනාධාරෙට ගිහිල්ල පස් කපනව මහ පාරේ
නිල් පාටින් බැබලි බැබලි සුදු පාටින් රටා මවන
හිස් අහසට දෝත් නඟා වැහි අයදියි අසරණ ඇස්

වැව් ඉවුරේ තුරු සෙවණේ නිසලව හිඳිනා දෙවියනි
ගලක් නොවෙයි නම් හදවත - පෙරදි ඔබට බැතින් වැහුණ
ඒ ඇස්වල කඳුළු අරන් මහ වැස්සක් මවා දෙන්න

1989

No comments: