• ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~නිදහසේ උපන් සිතුවිලි නිදහස්ව පළ කරනු සඳහා සයිබර් අවකාශයේ ඉදි කළ නිවහන~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Tuesday, November 3, 2009

හරියට ඇලවූ වැරදි ස්ටිකරය

මගේ මෝටර් රථයේ පිටුපස වීදුරුවේ ස්ටිකරයක් අලවා තිබේ. "My Alma Matar – Royal College" යනුවෙන් එහි ලියැවී ඇත. මේ ස්ටිකරය දකින විවිධ අය තම තම නැණ පමණින් විවිධ අදහස් පහළ කර ගන්නවා ඇත. මේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් මේ ස්ටිකරය හඳුනනන වැඩි දෙනෙකුට එය එක්තරා සමාජ පන්තියක් පිළිබඳ සංඥාවකි. එනම් ඔවුනට එය මේ රටේ එක්තරා අවධියක ආර්ථික සහ දේශපාලන බලතල දරන ලද පන්තියක් නියෝජනය කරන සංකේතයකි. එහෙත් එම සමාජය නියෝජනය කරන අයට නම් මේ ස්ටිකරය වැරදීමකින් අලවන ලද්දක් මෙන් පෙනී යාමට ද ඉඩ ඇත! මේ ස්ටිකරය වැරදීමකින් අලවන ලද්දක් නොවුණත් එය ඇලවීමට හැකියාව ලැබීම නම් තරමක් දුර්ලභ සිද්ධියක් සේ සැලකිය හැකි ය.

1976 වසරේ ජනවාරි මාසයේ මා හා පුරා කියා ඇතුළත් කරන ලද්දේ කොළඹ රාජකීය විද්‍යාලයයට නොව අ/තම්මැන්නාකුලම ප්‍රාථමික විද්‍යාලයට ය. විද්‍යාලයේ නම එය පිහිටා ඇති ගමේ නම ම ය. නමට මුලින් ඇති "අ" අක්ෂරය සංකේතවත් කරන්නේ එය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති බවය. එය සත්‍ය වශයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු මායිම අසල පිහිටි කුඩා ගම්මානයකි. තුන් පැත්තකින් දෙමළ ගම්මානයන්ගෙන්ද අනෙක් පසින් වියළි කලාපීය වනයෙන්ද වටව පැවති සිංහල ගම්මානයක් වූ එයට ළඟා වීමට මැදවච්චිය මන්නාරම මාර්ගයේ නේරියකුලම හන්දියෙන් බසයෙන් බැස සැතපුම් 3 ½ ක් පයින් යා යුතු විය.

මේ විද්‍යාලයේ එවකට සේවය කළෝ ගුරුවරුන් දෙපළක් පමණෙකි. එනම්, මගේ මවත් පියාත් පමණි. මුළු විදුහලටම සිසුන් සිටියේ 50 කට මඳක් වැඩි ගණනක් වූ බවත්, මා විදුහල හැර ගිය 1980 වසරේ එය 66 ක් වූ බවත් මට මතක ය. මේ විදුහලට පත් කර එවන ගුරුවරු, ගමනාගමනය අතිනුත් වෙනත් කාරණා අතිනුත් එහි පැවති දුෂ්කරතා හේතු කරගෙන එහි සේවය කිරීමට මැළිව වෙනත් පාසැල්වලට මාරුවී යාම නිසා කිසි දිනෙක මේ විදුහලේ ගුරුවරු එක්වරෙකට තිදෙනෙකුට වඩා සේවය කර තිබුණේ නැත. මගේ පියාත් මවත් මෙම විදුහලට පත්ව යාමට පෙර මේ විදුහලේ සේවය කළ ගුරු මහතානම් ඉතා කැමැත්තෙන් මෙහි සේවය කර තිබුණි. එයට හේතුව වූයේ ඔහු හොඳ හේන් ගොවියෙකු වීමත්, ඔහු එහි සේවය කළ සමයේ ඒ අවට විශාල හේනක් වගා කර තිබීමත් ය.

එවකට මේ ප්‍රදේශයේ ජනප්‍රිය ව පැවති වගාව වූයේ උඳු වගාව යි. වෙනත් වගාවන් මෙන් නොව පස සකසා වැපුරූ පසුව අස්වනු නෙළා ගන්නා තුරු විශේෂ සාත්තුවක් අවශ්‍ය නොවීමත්, ඒ කාලයේ හැටියට විශාල මිලක් ලැබීමත් නිසා මේ වගාව හේන් ගොවීන් අතර ජනප්‍රිය විය. වී වගාව ද සැලකිය යුතු ප්‍රමාණයකට සිදු වූවත් වී සඳහා හොඳ මිලක් ලබා ගැනීම පහසු වූයේ නැත. එකල වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමේ යෙදුණ නමුත් එහි ගබඩා කරා ගොවීන් විසින්ම වී ගෙන ගොස් භාර දීමට සිදු වීමත්, එහි පැවතියායැයි කියන නොයෙකුත් අක්‍රමිකතාවන් නිසාත් ගොවීන් තුළ මණ්ඩලය ගැන එතරම් ප්‍රසාදයක් නොවී ය. වී අලෙවි මණ්ඩලයේ සේවය කළ නිලධාරීන් සතුව ට්‍රැක්ටර් තුන හතරක් ජීප් රථයක්, මෝටර් සයිකලයක් තිබීම එවකට සුලබ දසුනක් විය. එකල වී අලෙවි මණ්ඩලය බෙහෙවින් ලාභ ලබා එහි සේවකයන්ට ද ඉහළ වැටුප් ලැබීම ඊට හේතුව විය හැකි වුවත් ගොවීන් එය දුටුවේ ඒ ආකාරයට නොවේ.

ප්‍රදේශය වියළි කලාපයට අයත් වීම නිසා වී වගාව සිදු කරන ලද්දේ වැව් දියෙනි. ඇතැම් විට අහස් දියෙන් ගොඩ වී වගාව ද කරන ලද නමුත් ඒ කලාතුරෙකිනි. වැසි සමය ඇරඹීමට ආසන්නයේ හේන් බිමෙක වී වපුරා වැසි සමය ආරම්භ වීමත් සමග වී පැළ වීමට ඉඩ හරින ඒක්‍රමය කැකුළන් ගැහීම නම් විය.

මා පාසැල් අධ්‍යාපනය ඇරඹූ තම්මැන්නාකුලම විද්‍යාලය පිහිටා තිබුණේ තම්මැන්නාකුලම ගම්මානයේ වැවට ඉහළිනි. කුලම යනු වැව යන අරුත දෙන දෙමළ වචනයයි. දීර්ඝ කාලයක් දෙමළ ඇසුරේ පැවතීම නිසා මේ ප්‍රදේශයේ ප්‍රදේශ නාමයන් වැඩි හරියක් දෙමළ ඌරුව ගෙන තිබුණි. ගමේ වැසියන් දරුවන්ට නම් තබුවේද දෙමළ නම් තබන ක්‍රමයට එනම් පියාගේ නම පුතාගේ හෝ දුවගේ වාසගම වන ආකාරයට විය. පියදාසගේ පුතා ජයසේන නම් පුතාගේ නම පියදාසගේ ජයසේන ය. ජයසේනගේ පුතා ජයසේනගේ ප්‍රේමරත්න වනු ඇත. දකුණේ සිංහලයන් අතර ඇති ආකාරයේ පෙළපත් නාමයක් ඔවුන් අතර තිබුණේ නැත.

තම්මැන්නාකුලම වැව දීර්ඝ කාලයක් තිස්සේ නොසලකා හරිනු ලැබු වැවක් විය. වැව්වල නඩත්තුව පුරාණ කාලයේ නම් ගමේ මිනිසුන් අතින්ම සිදු කෙරුණත් ඉංග්‍රීසි පාලන සමයෙන් පසු එය රජයේ කාර්යයක් බවට පත් වීම නිසා ගම් වල කුඩා වැව් වැඩි හරියකට අත් වී තිබුණේ දුර්භාග්‍ය සම්පන්න දශාවකි. වැවෙහි ප්‍රතිසංස්කරණය කලෙකට ඉහත කොන්ත්‍රාත් කරුවෙකුට පැවරුණ බවත් ඔහු වැවේ රළපනාව වැවට පෙරළා දමා කලින් තිබුණ පිටවාන වසා වැවේ අනෙක් කෙළවරෙන් පිටවානක් සකසා අතරමගදී වැඩය අත් හැර ගිය බවත් තම්මැන්නාකුලම වැව පිළිබඳව ගම්මුන් කී කතාවයි.

වැවක රළපනාව යනු වැව පිරී පවතින සමයේ දිය රැළි වලින් වැව් බැම්ම ආරක්ෂා කර ගැනීම පිණිස බැම්මේ වැව පැත්තේ අතුරා ඇති කළු ගල් ස්තරයකි. මෙය නැති විට බැම්ම රළ පහරට සේදී යයි. තම්මැන්නාකුලම වැවටද මේ ඉරණම අත් වෙමින් පැවති අතර, බැම්ම මතින් නිතොරව ගමන්ගත් හරකුන්ගේ කුර වලින් හානිය තවත් වැඩි වි තිබුණි. පිටවාන යනු වැව පිරී ඉතිරී යන අවස්ථාවක වැඩි වතුර වැවට හානි නොවන ආකාරයට වැවෙන් පිට කිරීමට සැකසූ ස්ථානයයි. ගම්මු මෙයට "ඉස්පීල්" එක යැයි කීහ. එය "Spill" නම් ඉංග්‍රීසි වචනය සිංහල කර ගැනීමකි. පිටවාන සකසා ඇත්තේ වැවේ වැඩි වන වතුර එයින් පිටව වාන් ඇළ ඔස්සේ ඊට පහළ වැවකට ගමන් කරන ආකාරයට වුවත් මේ වැවේ කර තිබූ නවීකරනය නිසා පිටවාන් ජලය වෙල් යායට මුදා හැරුණි. වැව වාන් දමන විට ඒ හේතුවෙන් වෙල් යායෙන් කොටසක් විනාශ විය. කොන්ත්‍රාත්කරු ඇතැම් විට සිය පහසුව සඳහා කරන ලද මේ විකෘතීන් වාරිමාර්ග ඉංජිනේරුවන් නොදකින්නට ඇත්ද යන්න ප්‍රහේළිකාවකි.

මගේ මා පියන් මේ විද්‍යාලයට පත්ව යන සමයේ විදුහලේ භෞතික තත්ත්වයද වැවේ තත්ත්වයට වඩා වෙනස් නොවී ය. විදුහලට තිබුණ එකම ශාලාවේ එකම ගේට්ටුවක් වත් වැසිය හැකි තත්ත්වයේ නොවූ අතර වැඩි ගණෙනක ගේට්ටු පියන් පවා නොතිබුණි. සිමෙන්ති පොළොවේ තිබුණේ පදාස පිටින් පැතිරුණ වළවල්ය. ශාලාව කෙළවරේ පැවති කාමරයේ ජනේලය ගැලවී තිබුණ හැටි තවමත් මගේ මතකයේ පවතී.

අපගේ පදිංචිය වූයේ ශාලාවට මෙපිටින් තිබුණ ගුරු නිවාසයයි. එහි දොර ජනෙල් සියල්ලම වානේ සැකිලි වලින් සකසා වානේ දැල් ගසා තිබණු බවත්, ඇතුළතින් වීදුරු අල්ලා තිබුණු බවත් මට මතක ය. ඇතැම් තැනක වීදුරු බිඳී තිබුණ බැවින් ඒ තැන් වලට කාඩ්බෝඩ් කැබලි ඇලවීමට සිදු විය. ගුරු නිවාසයේ වහල ඒ සමයේ රජරට පළාතේ සියළුම රජයේ ගොඩනැගිලි වල තිබුණාක් මෙන් රැළි ඇස්බැස්ටෝස් තහඩුවෙන් සෙවිළි කරන ලදුව ඇතුළතින් ඇස්බැස්ටෝස් තහඩුවෙන් සිවිලිම් ගසා තිබුණි. කෙසේ වෙතත් විදුහල් ශාලාවේ තිබුණාක් මෙන් ගුරු නිවාසයේ ද සිමෙන්ති පොළොවට වඩා තිබුණේ වළවල් ය. බිත්ති කපරාරුවද පදාස පිටින් ගැලවී තිබුණි. ගුරු නිවාසයේ වළවල් තාවකාලිකව මැටි යොදා වසා සමතලා කර ගැනීමට මේ නිසා අපට සිදු විය.

මේ ගුරු නිවාසයේ ජීවිතය ගැන මට මතක ඇති තවත් විශේෂ කරුණක් නම් එහි බිත්ති වසා පැතිර පැවති සුදු පැහැති පිටි වැනි ස්තරයයි. මේ ස්තරය සැදුණේ මාස 03කට වරක් ගමට පැමිණෙන මැලේරියා මර්දන ව්‍යාපාරයේ සේවකයන් විසින් බිත්ති පුරා ඉසින ලද ඩී.ඩී.ටී කුඩු වලිනි. ඒ සේවකයන් සුළං පීඩනයෙන් ක්‍රියා කරන ඉසින යන්ත්‍ර තුලට ඩී.ඩී.ටී කුඩු පැකට්ටු දෙකක් හලා ඊට ජලය එක් කර සොලවා පියන වසා අනතුරුව සුළං පොම්ප කර බිත්ති පුරා ඉසින අයුරු බලා සිටීම අප ආශා කළ දෙයක් වූ අතර, එහි ඇති අනතුරුදායක බව ගැන අපට හැඟීමක් නොවීය. මදුරු මර්දන ව්‍යාපාරයේ සේවකයන් පැමිණි දාට අම්මා ආහාර ද්‍රව්‍ය සහ ඉවතට ගෙන යා හැකි බඩු බාහිරාදිය ගෙන් පිටත තබා විශාල ගෘහ භාණ්ඩ පැදුරු සහ පොලිතීන් කොළ වලින් වසා දමයි. මැලේරියා සේවකයෝ ඉන් පසු ගේ තුළත් පිටතත් බිත්ති සහ සිවිලිමද සැම තැනකම ඩී.ඩී.ටී දියරය ඉසිති. මෙය වියළුන පසු බිත්තිය මත සුදුපැහැති පිටි ස්තරයක් මෙන් රැඳී පවතින අතර, බිත්තියට හේත්තු වූ විට එය ඇ‍‍‍ඟේ සුදු පැහැ පදාසයක් සේ තැවරෙයි. මෙය අපට අමුත්තක් නොවූ නමුත් ගමේ සිට පැමිණෙන අපේ නෑයෝත් මිත්‍රයෝත් මේ ඩී.ඩී.ටී ගඳටත් ඇ‍ඟෙහි තැවරෙන කුඩටත් කොහෙත්ම කැමති වූයේ නැත.

මේ ගම්මානවල අධ්‍යාපනය සම්බන්ධයෙන් වූයේ යහපත් ආකල්පයක් නොවේ. විදුහලේ පන්ති පැවතියේ පස්වැනි ශ්‍රේණිය දක්වා පමණක් වූ බැවින් පස් වැනි පන්තිය සමත් වීමෙන් පසු වෙනත් පාසැලකට යාමට එහි දරුවන්ට සිදු විය. නමුත් බොහෝ දෙනෙක් පස් වැනි පන්තිය දක්වා වත් පාසැලට පැමිණියේ නැත. හේන් කාලයට දෙමාපියන්ට උදවි වීම පිණිස දරුවන් වැඩි දෙනෙක් ගෙදර නැවතුණ නිසා ඔවුන්ගේ පාසැල් ගමන අවුරුද්දෙන් අඩකට සීමා විය. පිරිමි දරුවෝ හේන් වැඩ වලට කැත්තෙන් උදැල්ලෙන් සහය වන විට ගැහැණු දරුවෝ දර දිය ගෙන ඒම, කෑම ඉවීම සහ බාල දරුවන් බලා කියා ගැනීම ආදියෙන් දෙමාපියන්ට උදවු වූහ. ග‍මේ සිට ආසන්නයේම පැවති පස්වැනි පන්තියෙන් ඉහළ පන්ති සහිත පාසැල වු යකාවැව විද්‍යාලයට යාමට සැතපුම් 3 ½ ක් පයින් හො බයිසිකලයෙන් හෝ නේරියකුලම හන්දියට ගොස් මන්නාරම මැදවච්චිය බස් රථයකින් සැතපුම් 7 ක් පමණ යා යුතු විය. එබැවින් මේ දුෂ්කරක්‍රියාව කරන ලද්දේ ඉතා කලාතු‍රෙකින් අයෙකි. එවැනි එක් දරුවෙක් බයිසිකලයෙන් මේ සැතපුම් 10 ක දුර ආ ගිය බව මට මතක ය. ගමට ආසන්නයෙන් පැවති උසස්පෙළ පන්ති සහිත විදුහල වූයේ මැදවච්චිය මහා විද්‍යාලයයි. මට මතක හැටියට එහි ශිෂ්‍ය නේවාසිකාගාරයක්ද තිබුණි.

මැදවච්චිය මන්නාරම මාර්ගයේ බස් ගමනාගමනය ගැන මගේ මතකයේ නොමැකී පවතින එක් සිද්ධියක් ඇත. වරක් මගේ පුංචි අම්මාත් බාප්පාත් (ඇගේ සැමියා) අප බලන්නට තම්මැන්නාකුලම විද්‍යාලයට ආ විටෙක මිහින්තලය වැඳ පුදා ගන්නට යාමට ඔවුන්ට ඕනැ විය. මේ අනුව මමත් නංගීත් තාත්තාත් ඔවුන් දෙදෙන සමග මිහින්තලා යාමට සැරසී නේරියකුලම මංසන්දියට ආවෙමු. අප බලාපොරොත්තු වූයේ මන්නාරමේ සිට පැමිණ උදෑසන 7 ට එතැන පසු කරන බස් රථයෙන් අනුරෘධපුරයට යාමටයි. අප දවල් 12 වනතෙක් එතැන රැඳී සිටි නමුත් මැදවච්චියට හෝ ඉන් එපිටට හෝ යන එකදු බස් රථයක්වත් නොපැමිණි හෙයින් ගමන අත්හැර ආපසු නිවෙස බලා ඒමට අපට සිදු විය. අප නිවසෙන් පිටතට ගියේ කලාතුරෙකින් නිසා මෙය මට විශේෂ සිද්ධියක් ලෙස මතකයේ රැඳුනත් රාජකාරි කටයුතු වලටත් නිවසට අවශ්‍ය කළමනා ගෙන ඒමටත් සතියකට වරක්වත් මැදවච්චියට ගිය තාත්තාටනම් මෙය විශේෂයක් නොවන්නට ඇත. උදේ පිටත් වූ ඔහු බොහෝ විට නිවසට රෑ බෝ වී එන්නේ ගමනේ වූ මේ දුෂ්කරතා නිසා ය.

හදිසියක ලෙඩක් දුකක් හැදුණොත් යමෙකු රැගෙන යාමට මැදවච්චිය රෝහලට වඩා ආසන්නම රෝහල වූයේ සෙටිටිකුලම රජයේ රෝහලයි. එයට සැතපුම් 8-10 ක් පමණ දුර වූ අතර මැදවච්චිය මන්නාරම මාර්ගයේ නේරියකුලමින් මන්නාරම දෙසට වන්නට එය පිහිටා තිබුණි. මේ කාලයේ රෝද දෙකේ ට්‍රැක්ටරය අද මෙන් බහුලව නොතිබුණ අතර ගමේ එකදු රෝද දෙකේ ට්‍රැක්ටරයක්වත් නොතිබුණි. ගමට තිබුණු රෝද හතරේ ට්‍රැක්ටර් තුන හතරෙන් එකකවත් ට්‍රේලරයක්දනොවී ය. මේ නිසා හදිසියකදී රෝගියකු රෝහලට ගෙන යාමට අවශ්‍ය වූ විට රෝද හතරේ ට්‍රැක්ටරයේ පිටුපස නගුල සවි කරන බාර් දෙක හරහට ලණු ගැටගසා ඒ මත පඩංගුවක්(එනම් වී හෝ උඳු හෝ පෑගීමේ දී බිමට එළීමට ගෝනි එක්කර මසා ගත් විශාල ඇතිරිල්ලක්) නමා තබා ඒ මත රෝගියා තබා රැගෙන යන ලදී. රෝගියාගේ තත්ත්වය බරපතල නොවී නම් ආසන්න මාන්කුලම කඩ වීදීයට සැතපුම් 4ක් මග ගෙවා බයිසිකලයකින් ගොස් එහි තිබුණ එකම මෝටර් රථය කැඳවාගෙන ආ හැකි විය. ට්‍රැක්ටරයේ රෝහල් ගමන මට හොඳින් මතක ඇත්තේ වරක් මටත් තවත් වරෙක අම්මාටත් රාත්‍රියේ ඒ ආකාරයට රෝහල කරා යන්නට සිදු වු බැවිනි.

මේ කාලයේ තම්මැන්නාකුලමට පමණක් නොව ඒ අවට පැවති කිසිදු ගම්මානයකට විදුලි බලය සපයා නොතිබූ බැවින් අප රාත්‍රිය අඳුර මකා ගන්නා ලද්දේ භූමිතෙල් ලාම්පු වලිනි. මේසය මත තබන චිමිනි ලාම්පු කීපයක්ද පෙට්‍රෝමැක්ස් ලාම්පුවක් සහ වහලේ එල්ලන චිමිනි ලාම්පුවක්ද අප නිවසේ තිබුණි. මීට අමතරව රාත්‍රියේ ඉවුම් පිහුම් වලදී කුස්සියේ ලිප අසල තබා ගැනීමටත් නිවසින් පිටතට ගෙන යාමටත් කුප්පි ලාම්පු කීපයක්ද අම්මා විසින් සාදාගෙන තිබුණු බව මතකය. පෙට්‍රෝමැක්ස් ලාම්පුව අප දැල්වූයේ කලාතුරකින්, පිටතින් කවරෙකු හෝ පැමිණි විටෙක හෝ උත්සව අවස්ථාවක පමණි.

විදුහලේ ඉඩම අක්කර පහක් පමණ වූ අතර ඉහත කී ගොඩනැගිලි දෙකටත් ඒ දෙක අසල පසු කලෙක තාත්තාගේ මූලිකත්වයෙන් ඉදිකරන ලද බුදු මැදුරටත් අක්කර භාගයක් පමණ වෙන් විය. ඉතිරි ඉඩමේ තාත්තා විසින් විවිධ භෝග වගා කරන ලදී. වී, උඳු, කව්පි, මුං, තල, ඉරිඟු, මිරිස් ආදිය ඒ අතර ප්‍රධාන විය.
වී සහ උඳු අසවැන්න කපා පාගා ගන්නා ආකාරය බැලීම එකල අපට විනෝදජනක කාර්යයක් විය. ගොයම් කොළය බිම එළන ලද පඩංගු මත ගොඩ ගැසීමෙන් පසු ට්‍රැක්ටරය ඒ මතින් පසුපසට රවුමට ගමන් කරනු ලැබේ. දැතිගොයියා අතට ගත් කීපදෙනෙක් මැඩුවන් හලමින් ඒ සමග ගමන් කරති. ගොයම් මැඩීමෙන් අනතුරුව, පිදුරු වලින් වී වෙන් කර ගැනීම පිණිස සුළං කිරීමට යොදා ගනු ලැබුවේද ට්‍රැක්ටරයයි. ට්‍රැක්ටරයේ පිටුපස ඇති එන්ජිමෙන් කරකැවෙන ‍දණ්ඩට ඒ වෙනුවෙන්ම සැකසු පංකාවක් සවි කර එය වේගයෙන් කරකැවෙද්දී පිදුරු මිශු වී කුළු වලින් ගෙන හැලීමෙනි වී සුළං කරනු ලැබුවේ. එන්ජිමෙන් පංකාව කරකැවී ඇති වු මහා සුළඟ තුළ වී කාටුවද නොතකා දිවීම අපගේ සෙල්ලමක් විය. උඳු මැඩීමද කරන ලද්දේ මේ ආකාරයටම වුවත් උඳු කාටුව ගොයම් කාටුවට වඩා කසන සුළු හෙයින් ඒ සමඟ සෙල්ලම් කිරීමට අපි උත්සුක නොවීමු. සුළං කර වී හෝ උඳු හෝ වෙන් කර ගත් පසු, ඒවා ගෝනි වල දමා ගැටගසා ට්‍රැක්ටරයේ පිටුපස නගුල සවි කරන බාර් දෙක මත ගොඩ ගසා නිවස කරා ගෙන යනු ලැබීය. ගමේ ට්‍රැක්ටර් වල ට්‍රේලර නොතිබූ බැවින් ට්‍රේලරයෙන් වී ගෙන යාමක් දක්නට නොවී ය.

ඒ කාලයේ මේ ගම් වල බොහෝ කාර්යයන් සඳහා උපකාරී වූයේ රෝද හතරේ ට්‍රැක්ටරයයි. ගොයම් මැඩීමට සුළං කිරීමට, ගමන් බිමන් යාමට, වී හා වෙනත් ද්‍රව්‍ය ප්‍රවාහනයට, ලෙඩුන් ගෙන යාමට පමණක් නොව වැවෙන් ජලය පොම්ප කිරීමටද ඒ යොදා ගන්නා ලදී. වැවෙන් ජලය පොම්ප කිරීමට ට්‍රැක්ටරය යොදා ගත් ආකාරය මගේ සිත් ගත් දසුනක් විය. වැව සිඳී ගොස් වැවෙහි ජලය සොරොව්ව මට්ටමින් පහළ ගිය විටෙක ගොවීන් කළේ වැව තුළ සොරොව්ව දෙසට ඇළක් කපා රෝද හතරේ ට්‍රැක්ටරයක පිටුපස රෝද දෙකෙන් එකක් බිම නොගෑවෙන පරිදි ඔසවා ඒ ඇළෙහි ජලය තුළ තබා රෝදය වේගයෙන් කරකැවීමය. ට්‍රැක්ටරයේ පිටුපස රෝදයේ විශාල කට්ට රටාව නිසා එයින් විශාල ජල දහරාවක් නොකඩවා සොරොව්ව තුළට වීසි කිරීමට ඔවුනට පුළුවන් වීය.

රජරට පුරාණ ගම්වල පැරණි නටබුන් නොමැති තැනක් ‍නැති තරම් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. තම්මැන්නාකුලමේ ද වැව අසබඩ වනය තුළ එවැනි ස්ථානයක් තිබුණි. වරෙක ගම්මුන් කීප දෙනෙකුද කැටුව තාත්තා ඒ ස්ථානය බැලීමට යන විට මාද කැඳවගෙන යන ලදී. එය වනයෙන් වැසුණු පුරාණ චෛත්‍යක්යැයි සිතිය හැකි ස්ථානයකි. චෛත්‍ය පස්ගොඩැල්ලක් බවට පත්ව තිබුණු අතර ඒ අතර පැවති පැතලි විශාල පුරාණ ගඩොල් එය තැනීමට යොදාගෙන තිබුණු ඒවායැයි සිතිය හැකි වී ය. ගම්මුන් කී හැටියට මෙහි පැවති නිධානයක් කලකට ඉහත ගමෙහි වාසය කළ ගම්මුන් විසින් ගොඩ ගැනීමෙන් පසු ඔවුනට කළු දෙබරුන්ගෙන් හිරිහැර වී ඇත. ඉන්පසු ඒ ඒ ගම්මු ගම අත හැර ගිය බව ඔවුහු කීහ. අප සමග ගිය මට වඩා මඳක් වයසැති ළමයෙක් මට කීවේ නිධානය ගත් වල එහි තිබෙන බවත් එහි තවමත් රත්තරන් ගෑවුණ ලකුණු තිබෙන බවත් ය. ඔහු පෙන්වූ කළුගලින් සැදුණ කුඩා රවුම් වල පිරී තිබුණ කොළ රොඩු අප කීප දෙනෙකු විසින් ඉවත් කළ නමුත් රත්තරන් ගෑවුණු බවක් එහි පෙනෙන්නට නොවී ය. එය ගල්කණුවක් සිටුවීමට සකස්කළ එකක් විය හැකි බව තාත්තාගේ අදහස විය.

ගම දෙමළ ගම්මාන වලින් වට වී පැවති බව මම මුලින් කීවෙමි. මේ නිසා දෙමළ මිනිසුන් සහ ගමේ වැසියන් අතර පැවතියේ සුහදතාවයකි. අප එහි ගිය ආසන්නයේම එනම් 1977 වසරේ පැවති මහ මැතිවරණයෙන් ඒ.අමිර්තලිංගම් මහතා විපක්ෂ නායක ධූරයට පත් වීමත් සමග ජාතිවාදී භීෂණක භීතිය පැතිර ගියේ ය. වවුනියාවේ දෙමළ පිරිස් සිංහලයන් ඝාතනය කිරීම පිණිස එන බවට පැතිර ගිය ආරංචිය නිසා ගම්වැසියෝ දරු පැටවුන් සහ අතට අසුවූ වටිනා දෙයක් රැගෙන අවට වනයට පළා ගිය හ. පාසැල ගමෙන් තරමක් දුරින් පැවති බැවින් අප සොයා ආ ගම්වැසියන් කිහිප දෙනෙක් අපවද ඹවුන් සමග රැගෙන ගිය අතර පුරා දවසක් පමණ අපි භීතියෙන් යුතුව වනයේ රැඳී සිටියෙමු. පසුව සියළු දෙනාම ආපසු නිවෙස් කරා ආවේ පවත්නා තත්ත්වය සොයා බැලීමට ගිය වැඩිහිටි ගම්වැසියන් කීප දෙනෙකු විසින් අනතුරක් නැති බව සනාථ කරනු ලැබීමෙන් පසුව ය.

මේ සිද්ධියෙන් පසුව වුවත් අවට ගම්වල දෙමළ වැසියන් හා සමග පැවති සුහදතාවය පළුදු වූයේ නැත. මගේ පියා මැදවච්චියට හෝ අනුරාධපුරයට හෝ ගොස් රෑ බෝ වී ආපසු පැමිණෙන විට බසයෙන් බැස ගමට එන සැතපුම් 3 ½ ක දුරින් කොටසක් ඔහු සමග සිය බයිසිකලයෙන් පැමිණ ඔහුව ගමට හැරලීමට නේරියකුලමේ දෙමළ වැසියෙකු ඉදිරිපත්වීම නිතර සිදු විය. ගමෙහි වැසියන් බෞද්ධයන් වූවත් ගමෙහි පන්සලක් හෝ වැඳ පුදා ගත හැකි සිද්ධස්ථානයක් නොතිබුණි. මේ නිසා මගේ පියා ගම් වැසියන් කැඳවා පාසැලෙහි බුදු මැදුරක් තැනවීමට කටයුතු කළේ ය. බුදු මැදුරට බුදු පිළිමය පරිත්‍යාග කරන ලද්දේ රඹකුලම පන්සලේ හාමුදුරුවන් විසිනි. බුදු පිළිමය වඩමවාගෙන පැමිණෙන පෙරහැර පිළිගනිමින් බුදු පිළිමයට පළමු මල් වට්ටිය පූජා කරන ලද්දේ අසල්වැසි ගමෙහි දෙමළ වැසියෙකු බව මට තවමත් මතක තිබේ. කෙසේ වෙතත් මේ සුහදතාවය ඊළාම් යුද්ධය ආරම්භ වීමත් සමග පළුදු වී ගිය බව කිව යුතු ය. පසු කළෙක මගේ මාපියන් මාරු වීමක් ලබා සිය ගම් පළාතට පැමිණි 1983 වසරේ, ඊට මාස කීපයකට පසු, ගමට එල්.ටී.ටී. ඊ ප්‍රහාරයක් එල්ලවූ අතර ගම්මුන්ට ගම හැර යන්නට සිදු වු බව අපට ආරංචි විය.

මගේ පියා විදුහලට යන විට එහි භෞතික තත්ත්වය සේම අධ්‍යාපනයද පිරිහී පැවතුණි. එහි සිටි මුල් ගුරු මහතා මුල් තැන දී තිබුණේ විදුහලේ කටයුතු වලට නොව සිය හේන් වගාවට වීම එයට හේතුවයි. පියා පාසැලට ගිය මුල් දිනයේත් මුල් ගුරු මහතා උදෙන්ම හේනට ගොස් සිටි අතර, පාසැලේ සිටි ළමයි අළුත් ගුරු මහතා වට කරගෙන "මහත්තයා අපි බිං කුරුල්ලො අඳින්නදැයි" විමසූ බව පියා පසු කළෙක සිනාවෙන් යුතුව කී ය. රජරට පළාතේ වෙනත් පාසැල්වලත් දීර්ඝ කාලයක් සේවය කර තිබුණත් ඒ කිසි දිනෙක අසා නොතිබුණ මේ බිංකුරුල්ලන් මොකුන්දැයි පියා විමතියට පත්ව ඇත. පසුව ඔහු දැන ගත්තේ හේන් වැඩ කිරීමට හැකි පහේ පන්තියේ සිසුන් කීප දෙනා සමග හේනට යාමට පෙර මුල් ගුරු මහතා රටහුණු පෙට්ටියක් කඩා ඉතිරි සිසුන්ට බෙදා දී, බිම නොකැඩී ඉතිරි වී ඇති සිමෙන්ති පොළොවේ කුරුල්ලන් අඳින්නට අණවන බවයි. බිම අඳින මේ කුරුල්ලන් ඔවුන්ට බිං කුරුල්ලන් වී ය!

බිං කුරුල්ලන් ඇඳීමට පුරුදුව සිටි සිසුන්ට අකුරු උගැන්වීමට මගේ පියාත් මවත් මහත් වෙහෙසක් ගත් හ. එකිනෙකට වෙනස් වයස් කාණ්ඩ පහක ළමුනට ඉගැන්වීමේ දුෂ්කර කාර්යය කිරීමට ඔවුනට සිදවී තිබුණි. අපගේ පෞද්ගලික ගුවන් විදුලි යන්ත්‍රය යොදාගෙන ගුවන් විදුලි අධ්‍යාපන සේවයේ වැඩසටහන් වලට සවන් දීමටත් එම ක්‍රියාකාරකම් කිරීමටත් සිසුනට සලස්වන ලදී. මගේ පියාගේ නොකඩව ගත් උත්සාහය නිසා 1979 වසරේදී පමණ විදුහලේ ගොඩනැගිලි අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අළුත්වැඩියා කරනු ලැබී ය. යුනිසෙප් ආධාර යටතේ සැපයුණු ඉගෙනුම් ආධාරක කට්ටල සහ පොත් පත්ද ගුවන් විදුලි යන්තුයක් සහ පා පැදියක් ද විදුහලට ලබා දෙන ලදී. එකල ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය මගින් ප්‍රචාරය කරන ලද "රජරට පාසැල" වැඩ සටහනක් එම විදුහලෙන් ඉදිරිපත් කිරීමත් සිදු විය.

මට ද අනෙක් ළමුන් සමග අධ්‍යාපනය ලැබීමට සිදුවු අතර වෙනස වුයේ මගේ ගුරුන් හා දෙගුරුන් දෙගොල්ලම එකම අය වීමත් මා පැය විසිහතරම පාසැලේ ගත කිරීමත් ය. දශක කිපයක සිටම පුස්තකාල පොත් වශයෙන් පාසැලට සැපයුණ පොත් රාශියක් විදුහලේ අල්මාරියක පැවති අතර, ඒවා රැගෙන ගොස් කියවීමට දෙන ලද අවස්ථාව සිසුන් ප්‍රයෝජනයට ගත්තේ කලාතුරෙකිනි. නමුත්, මා හට නම් මෙම පොත් ධන නිධානයක් සේ වී ය. 1976 මගේ නම පාසැලට ඇතුලත් කරන දිනය වන විට මම, මේ පොත් අතර තිබූ රොබට් නොක්ස් ගේ "A historical relation on the island of Ceylon" නම් ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය, "එදා හෙළ දිව" සම්පූර්ණයෙන් කියවා සිටියෙමි. මේ පොත් අතර තිබූ රයිඩර් හැගාඩ් ගේ "Montezuma's Daughter" පොතේ සිංහල අනුවාදය, "ඔතෝමිය", "කොරල් දූපත", ආදී ප්‍රබන්ධයන් ද "පරමාණුවේ අනාගතය" වැනි විද්‍යාත්මක පොත් ද මම කියවීමි.

1980 දී මම පස් වැනි පන්තියේ සිටියදී මගේ මා පියෝ එවකට පැවති 6 වැනි ශ්‍රේණියට තෝරා ගැනීමේ පරීක්ෂණයන් සඳහා රාජකීය විද්‍යාලයටත් නාලන්දා විද්‍යාලයටත් අයදුම්පත් ඉදිරිපත් කළෝය. මේ අතර පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයටද ඒ වසරේදී පෙනී සිටියෙමි. රාජකීය විද්‍යාලයේ පරීක්ෂණය නාලන්දා විද්‍යාලයේ පරීක්ෂණයට කලින් පැවති අතර මා කියා සිටියේ නාලන්දා විද්‍යාලයට කැඳවීම ලදොත් මා රාජකීය විද්‍යලයට තේරුණත් එහි නොයන බව ය. මේ නිසා නාලන්දා විද්‍යාලයේ පරීක්ෂණයට කැඳවීම ලැබුණු විට මා එයට ඉදිරිපත් කිරීම ගැන මගේ දෙමවුපියන් පසු බා සිටි අතර මේ අතර ‍මගේ මව අසනීප වීම නිසා මා පරීක්ෂණයට ඉදිරිපත් වීම සඳහා කොළඹ රැගෙන යාමට ඔවුනට නොහැකි විය.

රාජකීය විද්‍යාලයේ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව මා ඒ විදුහලට තෝරාගෙන ඇති බව දන්වන ලදී. ඒ අනුව 1976 ජනවාරියේ සිට 1980 දෙසැම්බරය දක්වා අ/තම්මැන්නාකුලම විදුහලේ සිසුවකුව සිටි මම 1981 ජනවාරියේ සිට කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවකු වීමි. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලයද සපුරුදු පරිදි ප්‍රමාද වී ඒ වසරේ මැද ලැබුණු අතර එයින් මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ලැබූ සිසුවා වී සිටියෙමි.

ඒ අනුව මා ‍මුලදී කියන ලද ස්ටිකරය ඇලවීමට මට හැකියාව ලැබුණි. නමුත් ශිෂ්‍යත්වය සමත් වී නාලන්දා විද්‍යාලයට යන්නට සිතා සිටි, තවමත් සිංහල පමණක් ලියන සටැග් නයිට් නොයන මා, ඒ ස්ටිකරය අලවාගෙන සිටින්නේ ඇයිදැයි දැන් ඔබ අසනු ඇත. එයට දීමට ඇති පිළිතුර ‍සමහර විට මේ වන තෙක් ලියන ලද හෑල්ලටත් වඩා දිගු විය හැකි වුවත් රාජකීය විද්‍යාලයෙන් මට ලැබුණ දේ ගැන මා ඒ විදුහලට සදා ගෞරව කරන නිසා මා එසේ කරන බව පමණක් කෙටියෙන් සඳහන් කරමි.

2 comments:

පිටස්තරයා-2 said...

හිතවත් සහෝදරයා, මුලින් ම ඔබේ බ්ලොග් අඩවියට ගොඩ වැදුනේ මීට දින දෙකකට විතර පෙර. එදා මම කොමෙන්ට් එකකුත් ලිව්වා. අද වඩා විවේකීව ගොඩ වැදුනේ මා කිය වූ ලිපිය අනුව ඔබ වඩා වැදගත් යමක් මුල් ලිපිවල ලියා ඇත යන විශ්වාසයෙන්.

මම ඉතාම සතු‍ටු වෙනවා නැවත ඔබේ අඩවියට පැමිණීම ගැන. ඔබේ ලිපි වැඩිප්‍රමාණයක් කියෙව්වා. එයින් වඩාත්ම සිත් ගත් ලිපිය වුණේ 'හරියට ඇලවූ වැරදි ස්ටිකරය' නම් ලිපිය. ඒ ඔබ කතා කරන බොහෝ දේ හරියටම මාගේ ළමා කාලයේ අත්දැකීම් හා බරපතල ලෙස සමාන නිසා. ඔබ කතා කරන පාසැල, එහි ගුරුවරුන්, ශිෂ්‍යයින්, වැව සිංහල දෙමළ සම්බන්ධතාවය මේ හැම එකක් ම මගේ අත් දැකීම් හා සමානයි. වෙන එකක් තබා ඔබ සහ මා පැසැලට ඇතුලත් වූ වසර ද එකමයි. ඒ 1976. :). මගේ පාසැලේ නම අම්/කිවුලේගම විද්‍යාලය. අම් කියන්නේ අම්පාර දිස්ත්‍රික්කය දැක්වීමට. එකම එක වෙනසක් තියෙනවා. ඒ ඔබ ඔබ කතා කරන පාසැල දකින්නේ පිටතින් එහි ගිය පාසැලේ ගුරු පවුලක දරුවෙක් හැටියට. මම එය දකින්නේ එම පාසැල පිහිටි ගමේම සාමාන්‍ය පවුලක දරුවෙකු ලෙස.

දෙවෙනි වැදගත් කරුණ නම් ඔබේ ලිවීමේ දක්ෂතාවයයි. ඔබ ඉතාම දක්ෂ ලෙස සහ සරලව අඛණ්ඩ ගලා යාමක් ඇතිව ලියා තිබෙනවා. මා කරුණාවෙන් ඉල්ලන්නේ ඔබේ අත් දැකීම් ඉදිරියේ දී ලියනවිට දවසක පොතක්/ලිපි එකතුවක් හැටියට පළ කරන අදහස ඇතිව ලියන්න කියායි. ඒ අත්දැකීම් ඒ තරම්ම උසස්. උදාහරණයකට මෙහෙම හිතන්න. ඔබ කතා කරන කලාපයේ අධ්‍යයාපන ඉතිහාසය හෝ සිංහල දෙමළ සම්බන්ධය ගැන ලියන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඔහුට හෝ ඇයට මූලශ්‍රයන් වන්නේ මොනවා ද? රජයේ වාර්තා හෝ දේශපාලනික වුවමනා පෙර දැරි කරගෙන ලියන ලද ලේඛන. ඒත් හිතන්න ඔවුන්ගේ එම ලේඛන වලින් ඔබේ පියාගේ, මවගේ අත්දැකීම් කොතරම් නම් වෙනස් වෙයි ද කියා? ඔවුන්ගේ අත්දැකීම් ඔවුන් ප්‍රකාෂ කරන්නේ කිසියම් වෙනත් අපේක්ෂා ඇතිව නොවෙයි. ඇත්තවශයෙන් ම තිබුණු තත්ත්වයන් කියා පෑමටයි. ඒත් බොහෝ දුරට ඒවා ලියැවෙන්නේ නෑ නේ ද? ඔවුනුත් සමඟ ඒ දැනුම මිය යනවා නේ ද? අඩු තරමේ ඔබ වත් ඒවා ලියා තැබුවොත්...

මගේ අත්දැකීම් පෙරදැරි කරගෙන ලියන ලද දෑ ඔබේ අවධානයට ලක්වෙනවා නම් සතු‍ටුයි. එයින් මේ ලිපිය මගේ හිතේ තදින්ම කාවදුණු එක් අත්දැකීමක් ගැනයි. http://pitastharayablog.blogspot.com/2010/03/blog-post_15.html
ඉතා සංයමයෙන් භාෂාව හසුරවන ඔබ සමහරවිට මගේ භාෂාව හා එකඟ වෙන එකක් නෑ. නමුත් සමහර සිදුවන දෑ ගැන ඇති තද බල අකමැත්ත නිසයි එහෙම ලියැවෙන්නේ.
මම දිගටම ඔබේ ලිපි කියවනවා.

Gayan Balasooriya said...

මුළු ලිපියම කියෙව්වා. මගේ කතාවෙත් මේ වාගේම ආරකටයි යන්නෙ. වෙනසකට තියෙන්නෙ මම උපන්නෙ 1983.
මම ගමේම ඉස්කොලෙට ගියේ කෑ/මාව/ඉළුක්ගොඩ ප්‍රාථමික විද්‍යාලය. (කෑ/මාව යනු කෑගල්ල, මාවනැල්ල යන්නයි.)