• ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~නිදහසේ උපන් සිතුවිලි නිදහස්ව පළ කරනු සඳහා සයිබර් අවකාශයේ ඉදි කළ නිවහන~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Tuesday, February 1, 2011

අත්තප්පා

තම්මැන්නාකුලම විදුහලේ මා ගෙවූ බාල කාලය හා සබැඳී මට කිසි දින අමතක නොවී සිටින චරිතයක් වෙයි. ඒ එවකට අනූ විය ඉක්මවා සිටි "අත්තප්පා" ය. අත්තප්පාගේ නම මට මතක හැටියට නම් උක්කු බණ්ඩා ය. එහෙත් එනමින් ඔහු ඇමතීමට ඔහුගේ සමකාලීනයෙක් එවකට නොසිටි බැවින් හැම දෙනෙක්ම ඔහු ඇමතුවේ අත්තප්පා යන නමිනි. අත්තප්පා ගමෙහි සිටි වයෝවෘද්ධතම වැඩිහිටියා බව කිව යුතු නොවේ. ඔහු සුවිශේෂී ගතිගුණ තිබූ පුද්ගලයෙකි. කතා පොත් වල සිටින, බාල දරුවන්ට කවි කතා කියා දෙන පෝයට පන්සල් යන දර්ශීය සීයා කෙනෙකුගේ චරිතයට ඔහු කිසි ලෙසකත් නොපෑහුණේය. සංඝයා වහන්සේ සමග ඔහුට කිසිදු ඇයි හොඳයියක් නොවී ය. මගේ පියා විදුහල්පති ලෙස පත්ව යාමට පෙර ඒ පාසැලේ සිටි සියළුම ගුරුවරුන් සමග ඔහු අරෝ ඇති කරගෙන තිබුණේ ය. එහෙත්, තාත්තා විදුහලට පත්ව ආ පසු දිනක් ඔහු හා කතාවට වැටුණු ඔහු, ඉන් පසු සෑම දිනකම සැන්දෑවේ ඔහු හා සල්ලාපයේ යෙදී සිටීමට අප ගුරු නිවාසයට ආවේ ය. එවකට ළමා වියේ සිටි මට වැටහුණු පමණින් බුද්ධ ධර්මය ගැන අත්තප්පාට යම් අවබෝධයක් තිබුණි. බොහෝ කොටම ඔහු හා ම'පියා අතර කතා බහට විෂය වූයේ බුද්ධ ධර්මයයි. මුල් කාලයේ උග්‍ර ධර්ම විරෝධියකුව සිටි ඔහු පසු කාලීනව ඒ දැඩි මතයෙන් බැහැරව ආගම කෙරෙහි නම්‍යතාවයක් ඇති කර ගත්තේ මේ සාකච්ඡාවන් තුළිනි. මහා විහාරිකයන් හා අභයගිරි විහාර වාසී භික්ෂුන් අතර වූ හබ ගැනත් වෛතුල්‍යවාදය ගැනත් මා පළමු වරට ඇසුවේ ඔවුන් ‍දෙදෙන අතර වූ මේ සාකච්ඡා වලට කන් දීමෙනි. කෙසේ වුවත් අත්තප්පා කී නොයෙකුත් දේ අතරින් මට වැඩි කොටම මතක ඇත්තේ බුද්ධ ධර්මය ගැන ඔහු කළ විවේචන නොව තම්මැන්නාකුලම ගම සහ ප්‍රදේශය ගැන ඔහු නොයෙක් අවස්ථාවන්හි කී රසවත් කතා කීපයකි.

අත්තප්පා කී හැටියට තම්මැන්නාකුලම ගමේ වර්තමාන පදිංචි කරුවන් සියල්ලන් පැවත එන්නේ අත්තප්පාද ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකුගෙනි. එම ප්‍රදේශයේම වෙනත් ගමක (එහි නම දැන් මට අමතකය) විසූ ඔවුන් තරුණ කාලයේදී තම්මැන්නාකුලම ගමට සංක්‍රමණය වී ඇත්තේ එගම මිලට ගැනීමෙනි. අත්තප්පාට සහ ඔහුගේ සගයන්ට තම්මැන්නාකුලම ගම මිලට ගන්නට හැකිව ඇත්තේ මෙයට පෙර සටහනක මා කී එහි වැව අසල තිබී යැයි කියන නිධානය නිසා ය. ඔහු කී හැටියට තම්මැන්නාකුලමේ කලින් විසූ මිනිස්සු මේ නිධානය හාරා ගොඩ ගත් හ. එහිදී කළු දෙබරුන් මතු වී ගම් වැස්සන්ට පහර දී ඇත. මෙයින් පසු ගමේ වැසියන් දිගින් දිගටම රෝගී වන්නටත් මිය යන්නටත් වූ අතර, ඉන් බියට පත් වූ ඒ මිනිස්සු ගම අත්තප්පාට සහ ඔහුගේ සගයන් හය දෙනාට විකුණා වෙනත් පෙදෙසක පදිංචියට ගිය හ.
අත්තප්පාගේ මේ ඡායාරූපය 1979 දී පමණ ගන්නා ලද එකකි. පසුබිමෙහි ඇත්තේ ගුරුනිවාසයයි. වාහනය  නිවාඩු කාලයේ අප බලන්නට එන මිත්‍ර පවුලකට අයත් මෝටර් රියකි

තරුණ කාලයේ අත්තප්පා මන්ත්‍රකරුවෙකු වශයෙන් ප්‍රසිද්ධියක් ඉසුලූ අයෙකි. එසේම දක්ෂ දඩයක්කරුවෙකි. අත්තප්පාගේ බිරිඳ, කවුරුත් ඇමතූ පරිදි "අත්තම්මා", ඔහුගේ හය වැනි බිරියයි. කලින් බිරින්දෑවරු එක්කෝ මිය ගොස්, නැතහොත් අත්තප්පා විසින් එළවා දමා තිබුණි.අත්තප්පාගේ මේ දරුණු ගතිගුණ නිසා කවුරුත් ඔහුට බිය මුසු ගෞරවයක් දැක් වූ හ. ස්වාමීන්වහන්සේලා දුටු තැන ඔවුන් හා වාදයට එළැඹී ඔවුන් පළවා හරින ආගම දහමට ගර්හා කරන පුද්ගලයෙකු සේ දුටු නිසා දෝ මෙයට පෙර පාසැලේ සේවය කළ ගුරු මහතුන් හා අත්තප්පා අතර ඇයි හොඳයියක් තිබී නැත. එහෙත්, ආගම කරෙහි වූ අත්තප්පාගේ කර්කශ විවේචන සිනහ මුවෙන් ඉවසමින්, කෝපයට පත් නොවෙමින්, පොත් පත් ඇසුරින් තර්කානුකූලව කරුණු පෙන්වා දුන් නිසාදෝ අත්තප්පා මගේ පියා හා දැඩි ලෙස කුළුපග වූ අතර, ගමේ මිනිසුන් කීවේ අත්තප්පා සමග යහළු වීමට පුළුවන් වූයේ "මහත්තයාට" පමණක් බවයි.

කොළඹ සිට යාපනය තෙක් දුම්රිය මාර්ගය ඉදි කlර එහි පළමු දුම්රිය ධාවනය  වන විට ප්‍රදේශයේ වැසියන් එය බලන්නට රැස්ව සිටි අකාරය වරක් අත්තප්පා අප හා කීවේ ය. දුම්රිය හඬ නඟා ගෙන කළු දුම් රොටු අහසට විදිමින් එනු දුටු මිනිස්සු පණ එපා කියා දිව ගියේයැයි ඔහු සිනහ මුසුව කීවේ ය. ඒ අත්දැකීම ඔහු කීවේ ඔහුගේම අත්දැකීමක් වශයෙන්දැයි යන්න නම් මට දැන් මතක නැත. අත්තප්පා තවත් දිනක් කී පරිදි අතීතයේ ඔවුන් අතර සීනි භාවිතයක් තිබී නැත. වරක් ප්‍රදේශයේ ප්‍රභූ වරයෙකුගේ නිවසක කයියකට (පිරිස රැස් ව ගොයම් කැපීමාදිය සිදු කරන විට එය "කයිය" නමින් හැඳින්වුණි) ගිය පිරිසට මී කිරි කෑම පිණිස සීනි බෙදුවේ ලු. තමන් රැවටීමට කිරි වලට වැලි දැමුයේ යැයි සිතු ඔවුහු කිරි කෑම පුතික්ෂේප කළ කල්හි ඒ වැලි නොව සීනි බව ඒත්තු ගැන්වීම ඉතා අපහසු වූ බව ඔහු කී තවත් කතාවකි. මෙය හා බැඳී මගේ මතකයට එන මගේම අත්දැකීමක් ඇත. අප නිවසේ යම් විශේෂ කෑමක් සෑදුවොත් හෝ අපට පිටතින් එවැන්නක් ලැබුණොත් එයින් කොටසක් පාසැලේ දරුවන්ටත් දීම අම්මාගේ සිරිතකි. පාසැලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 50-60 ක් වූ බැවින් මෙය අපහසු කරුණක් නො වීය. (මා ශිෂ්‍යත්වය සමත් වූ 80 වසරේ මේ සංඛ්‍යාව වූයේ 66 කි). හේන් වැඩ කාලයට මින් අඩක්වත් පාසැල් ආවේ නැත. කෙසේ වෙතත් වරක් අපට ලැබුණු  චීස් කැබැල්ලක් කැපූ අම්මා ඒ අවස්ථවේ පාසැලට පැමිණ සිට ළමයිනට ඉන් කුඩා කැබැල්ල බැගින් බෙදා දෙන මෙන් මට භාර කළා ය. මා චීස් බෙදා දුන් විට ඔවුන් ඒවා භාර ගත්තේ අදි මදියෙනි. ඔවුන් චීස් නොකා විමතියෙන් සිටින විට මම මවට ඒ බව කීවෙමි. ඇය පැමිණ එයට හේතුව විපරම් කළ විට ඔවුන්ගෙන් කෙනෙක් ලැජ්ජාවෙන් මෙන් කීවේ "ලොකු බබා" (ඒ ඔවුන් මා ඇමතූ ආකාරයයි, නංගී ඇමතුවේ "කුඩා බබා" ලෙසිනි) ඔවුන් රැවටීමට කෑමක් කියා සබන් කෑලි දුන් බවය! ඒ සබන් කෑලි නොව චීස් බවත්, කන දෙයක් බවත් අම්මා කී පසුවය ඔවුන් එය කෑවේ.(මා මෙය මෙහි සඳහන් කළේ ඒ දරුවනට කිසිදු අපහාසයක් පිණිස නොවන බව සැළකිය යුතු ය. ඒ විසිවන සියවසේ අග දීත් එහි පැවති සැබෑ තත්ත්වය ය).

නොයෙක් කෑම ජාති සාදා අත්හදා බැලීම අම්මාගේ විනෝදාංශයක් විය. අප නිවසේ කිසියම් විශේෂ කෑමක් සෑදූ විට අත්තප්පාටත් අත්තම්මාටත් එහි කොටසක් නොවරදවාම ලැබේ. එවැනි විටෙක අම්මා ඒ කෑම රසදැයි සැන්දෑ යාමයේ මපියා හා සල්ලාපයේ යෙදීමට එන අත්තප්පාගෙන් අසයි. එවිට ඔහු දත් නැති මුව විදහා සිනාසෙමින් දෙන පිළිතුර මගේ මතකයේ නොමැකී තිබේ. "සීනියි පොලුයි ති‍යෙනවනම් මොන කෑමද නෝනමහත්තයා රස නැත්තේ?"

සතියකට වරක් මැදචච්චිය ටවුමට යන මගේ පියා සතියේම දිනමිණ පත්තර ගලප්පත්ති ස්ටෝර්ස් එකෙන් රැගෙන ඒම සිරිතකි. මවත් පියත් පාසැල් වත්තේ කිසියම් වැඩක යෙදී සිටීනම් ඔවුනට බාධා නොකරන අත්තප්පා පුටුවක් ඒ කිට්ටුවෙන් තබාගෙන ඒ පුවත්පත් යවයි. සුදු සරම හැඳ උඩුකය නොවසා කරෙහි සාලුවක් දමාගෙන එන අත්තප්පා, නිතර හැරමිටියක් අතේ තබාගෙන සිටි නමුත් අනූ වියේදීත් උපැස් යුවලක ආධාරයෙන් තොරව සැඳෑ එළියේ පුවත්පත් කියැවූ හැටි සිහිපත් වන විට දැන් මට මහත් පුදුමයක් ඇති වේ.

සවි ශක්තියෙන් යුතුව සිටි කාලයේ නිතර අඩ දබරයන්ට එළැඹුණු දඩබ්බරයෙක්ව සිටි අත්තප්පා සතුව තිබූ මන්ත්‍ර පොත් ඔහුගේ නිවසට කිසිවකු විසින් ගිනි තැබූ විටෙක පිළිස්සුණු බව ඔහු කීවේ ය.එසේ වුවද මටත් නංගීටත් හදිසියේ උණක් වැළඳුණොත් ඔහු එහි එයි, මන්ත්‍ර ජප කොට නූලක් දමයි. නැතහොත් දෙහි කපයි. අත්තප්පා කී ලෙසට ඒ වන විට ඔහු "නපුරු අතේ වැඩ" කිරීම අත හැර තිබුණි.යන්ත්‍ර මන්ත්‍ර වැඩ පමණක් නොව ඔහුගේ ගති ගුණ වලද නපුරු ගති ගුණ කාලයත් සමග වියැකෙමින් තිබූ බව සියයක් ඉක්මවා සිටි දරු මුණුපුරු කැළ ගේ අදහස විය.

මගේ මවුපියන් තම්මැන්නාකුලම ගමෙන් ආ පසුවද වරක් දෙකක් අත්තප්පා හා සමග ලිපි ගනුදෙනු සිදු වූ නමුත්, ත්‍රස්ත ක්‍රියා උත්සන්න වීමත් සමග ඒ ද නැවතිණි.ඔහු සඳෑ වරුවල ඇඳිරි වැටෙන තෙක් ගුරු නිවසේ දී කී රසවත් කතා පටිගත කරගෙන තිබුණි නම් වෙනමම බ්ලොග් අඩවියක් තැනීමට හැකි විය හැකිව තිබුණියැයි දැන් මට කල්පනා වේ. අවාසනාවකට ඒ කාලයේ පටිගත කිරීම අද මෙන් නොව වියදම් අධික කාර්යයක් විය. ඔහු කී කතා බොහොමයක් මතක ඇතිව සිටි මගේ පියාද අද ජීවතුන් අතර නැත. එසේ වුවත් මට අත්තප්පාගේ මතකය කිසි දිනෙක සිතින් බැහැර කරනු නොහැකි ය. ඔහු නිවන විශ්වාස නොකළද මම ඔහුට නිවන් සුව පතමි.

3 comments:

මාරයාගේ හෝරාව said...

හැම දේම නැති උනත් හැකි පමණින්වත් මතකය අවදි කරන්න..පැරැන්නන් හා බැඳි රසවත් කතා බහ කොහොමත් අද වාගේ කාලෙක පුදුම වටිනවා..
හොඳ ලිපියක්..

වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න..එය අපට පහසුවක්..

ප්‍රියන්ත වීරසිංහ said...

අගය කිරීම ගැන ස්තූතියි. ඉල්ලීම පරිදි වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කළා

ගලායනජීවිතය said...

ගොඩක් ආසයි පරණ කතා කියවන්න.අපේ අප්පච්චිගෙ තාත්තටත්, අපි කිව්වෙ අත්තප්පා කියල.මමත් අනුරාධපුරේ.