• ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~නිදහසේ උපන් සිතුවිලි නිදහස්ව පළ කරනු සඳහා සයිබර් අවකාශයේ ඉදි කළ නිවහන~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Sunday, March 16, 2008

මේ ඔබේ වාරයයි

සැඬ හිරු රැස් පහස ලබා ඉන්නට බැහැ දූවිල්ලට
සුළඟ එක්ක එකතුවෙලා හැම තැනකම විසිරෙනවා
ඉස්සර වගෙ හිස ඔසවා දෑත් නඟා නොබලයි දැන්
වියළී ගිය අතු පොරවන් ඇත මහදුම් කරබාගෙන
කීචි බීචි හඩ නෑසෙයි ඉගිල ගිහින් දුර ඈතට
කිසිවෙක් නැහැ වැව් පතුලේ රටා මවන ඉරි බලන්න

දිය බිඳුවක් සොයා ගිහින් යොදුන් ගණන් දුර ඈතට
පැල්පත් ළඟ දියමැහි උඩ දැකගන්නට නැහැ කළගෙඩි
වියළී ගිය පොළොවෙ හැපී පළ නැති තැන උදළු කෙටිය
සහනාධාරෙට ගිහිල්ල පස් කපනව මහ පාරේ
නිල් පාටින් බැබලි බැබලි සුදු පාටින් රටා මවන
හිස් අහසට දෝත් නඟා වැහි අයදියි අසරණ ඇස්

වැව් ඉවුරේ තුරු සෙවණේ නිසලව හිඳිනා දෙවියනි
ගලක් නොවෙයි නම් හදවත - පෙරදි ඔබට බැතින් වැහුණ
ඒ ඇස්වල කඳුළු අරන් මහ වැස්සක් මවා දෙන්න

1989

Thursday, March 13, 2008

අනාගතය අදයි*

සවන් තලය දෙදැරූයේ
අරුතින් තොර වදන් වැල්ය
පොත්හල් වල පිරී තිබුණි
පාට පාට හිස් කරදහි
පාර පුරා ඇවිද්දෝය
සිතක් නොමැති බඹ කයවල්
නේක වර්ණ විදුලි බුබුළු
අඳුරු කළා ඹවුනගෙ නෙත්
අපි දියුණුව ලදුවෙමුයැයි
දෑස් පියා කියනාතුර
යකඩ කඳන් පණ ලබමින්
මිනිසත් බව මිය ඇදුණිය

1989

*(මාතෘකාව පසුව යොදන ලද්දකි)

Wednesday, March 12, 2008

ඔබ

තනිකම කරන සඳ සෝබර හද දැදුරූ
වටකොට මහද වූවා මුළු ලොව අඳුරූ
වී නම් යමක් ඒ මොහොතෙහි මට සොඳුරූ
වදනක් පමණි රහසින් ඔබ මට කෙඳූරූ

ජීවන ගගන නැඟ ආ සඳ අඳුරු වළා
වැළපුණි මහද, තනිකම හා එකතු වෙලා
දිරි දී, නැගෙන්නට ඒ දුක ඉවත හෙළා
සඳවත නුඔ මගේ ලොව යළි එකළු කළා

වියළී ඉරිතැලී කතරක් වී තිබුණූ
හදබිම යළි වරක් නිල් උයනක් කෙරුණු
ජීවන දියෙන් පුරවාලන හද පොකුණූ
වැසි දිය ඔබය, නොක‍ෙලක වුව ඇද හැලුණූ

Monday, March 10, 2008

අඳුරු රැය

සඳ සැඟව ගිය රැයේ
තරු හඬයි මුවහ වී,
සාවුනගෙ රැකවලට
තුරු වදුළු නිඳා ඇත
රැයෙහි ගණ අඳුරමය
වවුලනගෙ රජ දහන
සියොත් කැල නැති රැයේ
ගී ගයති රෑසියන්
කැනහිලුන් ගොර සපුන්
ගොදුරු සොයතිය රැයේ
නිදන සාවුන්-මුවන්
දිවියනගෙ බොජුන වේ
සඳ නොමැති මේ රැයේ
කිරුළ ලදි බිය, සුසුම
නිසසරන් පළවමින්
පායපන් හිරු නැවත

1989

වැසිබර රැයෙක ලියූ කවි

නෑසෙන නමුදු සිවයාතුන් දෙන මිහිරි සර
සරසවි අත වනයි මේකුළු අතර තුර
සැරසී ගෙනෙන ලෙස කව් මුතු, දිමුතු හර
පියසට පාතබමි, යළි කව් සයුරු තෙර

කවුළුවතරින් එයි, හිරිකඩ සුළඟ ඇදී
සීතල සුළඟ, සිසිලස මුළු ගතම විදී
වැසිබර රැයෙහි සුවයෙන් මුළු ලොවම නිදී
මම කව් ලියමි අවදිව, මගෙ කුටියෙ- හිදී

අඩවන් වෙලා වෙහෙසින් නිඳි වරන නෙත
පසෙකින් නිඳයි පිටු පෙරළා දැමුණ පොත
පාළුවෙ ඉකි බිඳියි තනිකම දැනුණ සිත
තනියට මගේ, පන්හිඳ තනි රකිති මිත

මැළවුණ සිතට පණදී යළි පැන් ඉහින
සිතිවිලි අතර බොඳ වී වි‍යැකෙන සිහින
හැබැහින් දකින නෙතු අග කඳුළැලි පිහින
කෙදිනක එදින එද, මරු කතරට වහින

හිරු සඳු නැ‍ෙඟයි තරු හිනැහෙයි ගුවන අරා
කුසුමන් සැළෙයි බිඟු සැනැහෙයි එදෙස සරා
සුන්දර දි‍යත රස ඇති දේ ඉවත පෙරා
අපි වද විඳිමු රොඩු බොඩු දෑ සිතෙහි දරා

රෑසින් නඟන හඬ නල රැල් අතර වැයේ
හෝරා යතුර නැවැතී ඇත දොළහෙ පැයේ
නිඳි දෙව් දුවට ඉතිරිය දෙමි නිහඬ රැයේ
නවතිමි සමුගනිමි, සුපතමි ඔබට පියේ

1988