• ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~නිදහසේ උපන් සිතුවිලි නිදහස්ව පළ කරනු සඳහා සයිබර් අවකාශයේ ඉදි කළ නිවහන~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Monday, January 31, 2011

දිවි ගං දියෙහි තොටියා

ගඟ ගලයි සැඩ පහර හරි සැරයි
උඩු ගං බලා පදවනු නොහැකිය ඔරුව
කිමද පල වෙහෙසීයැයි කියා
අත්හරිනු නොහැකිය හබල
රිදී දෙඅත් නැතිව වාරුව දෙපය
හබල අත්හැරුණු මොහොතෙහි
හසුව සැඩ පහරට ගසාගෙන ගොස්
ගං පතුලේ සැඟව යනු ඇත මෙපවත
එතෙකුදු වුවත් අත්හළ නොහේ දිරිය,
‍කුමන සැඩ පහරකිනුත්
මැඩලිය නොහැකියෙන් සෙනෙහස

Friday, January 28, 2011

"දෙමළ කලබලය" ට මැදි වීමි

මා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත කෙළවරක පිහිටි අ/තම්මැන්නාකුලම විදුහලේ සිට කොළඹ රාජකීය විදුහලට පැමිණි කතාව මීට පෙර මම ලියුවෙමි. ඒ කියවූ පිටත්තරයා2 තවත් එවැනි මතකයන් ලියා තබන ලෙස ඉල්ලීමක් කර තිබුණි. විවේකය හිඟකම නිසාත්, දිගින් දිගට ඒ පරිසරය පිළිබඳවම ලිවීම මගේ කැමැත්ත නොවූ නිසාත් ඒ ඉල්ලීම මෙතෙක් ඉටු නොවී ය. එහෙත් උතුරු නැගෙනහිර පැවති වාර්ගික අර්බුදය සහ යුද්ධය නිමා ව ඇති මේ මොහොතේ සියල්ල හොඳින් සිදුවන්නේය යන කල්පනාවෙන් යුතුව සැනසුම් සුසුම් හෙළා සැහැල්ලුවෙන් සිටින වැඩි දෙනෙක් ඒ යුද්ධයේ ආරම්භක අවදියේ පැවති තත්ත්වයන් සහ එහි විකාශය ගැන එහි සිට ලද අත්දැකීම් නැත්තවුන් බැවින්, අර්බුදයේ මුල උපුටා නොදැමුවහොත් එය යළි ලියලා වැඩෙන්නට ඇති අවකාශය ඔවුන් විසින් සුළු කොට තකනු දකින විට, 1977 දී පමණ මා ඒ ගැන ලත් අත්දැකීම් සටහන් කර තැබීම වටී යැයි මම සිතීමි.

මගේ මා පියන් තම්මැන්නාකුලම විදුහලට මාරුවිම් ලැබ ගියේ මට මතක හැටියට 1975 වසරේ දී ය. නාම ලේඛනයේ නම සටහන් කොට නිල වශයෙන් මා පාසැලට ඇතුළත් කෙරුණේ 1976 දී ය.එසේ  කියන ලද්දේ නොනිල වශයෙන්නම් උපන් දා පටන්ම වාගේ මා පාසැල් ගොස් තිබුණ බැවිනි.  1977 දී පැවති මැතිවරණයට පෙර සහ පසු සිදුවීම් ගැන මට ඇත්තේ මතකයන් කිහිපයකි. එවකට මැදවච්චිය මන්ත්‍රී සහ වාරිමාර්ග ඇමතිවරයා ද වූ අභාවප්‍රාප්ත මෛත්‍රීපාල සේනානායක මහතා වෙනුවෙන් ගමේ පැවැත්වූ ඡන්ද රැස්වීම පාසැල් ශාලාවේ පැවැත්වීම ඉන් එක් මතකයකි. ඒ වෙනුවෙන් විදුලි ජනක යන්ත්‍රයක් සහ ශබ්ද විකාශන යන්ත්‍රයක්ද ගෙන ආ බව මට මතක ඇත්තේ එවැන්නක් එවකට එහි ඉතා දුලබ වූ බැවිනි. පසු කලෙක රාජකීය විදුහලේ සිසුවෙක් වූ ඉක්බිති නිතර දෙවේලේදුටු ආන්ටිලා ගේ පන්නයේ කාන්තාවක් මා පළමු වරට දුටුවේද එදා යැයි සිතමි. ඒ මෛත්‍රීපාල සේනානනායක මහතාගේ බිරිඳ ය. රැස්වීම විදුහලේ පැවැත්වීම ගැන මගේ දෙමවුපියන් කැළඹී සිටිය හ. ඒ, රජයේ දේපලක් මැතිවරණ කාර්යයක් සඳහා යොදා ගැනීම නීති විරෝධී බව ඔවුන් දැන සිටි නිසා විය යුතු ය. ඊටත් වඩා, මැතිවරණයෙන් පැවති ආණ්ඩුව නියත වශයෙන්ම පරාජය වන බව ඔවුන් දැන සිටියා ද විය හැක. මැතිවරණයෙන් පසු මාරුවීමක් ලැබෙන්නට ඉඩ ඇතැයි  ඔවුන් රහසින් කතා කළ බව මගේ මතකයේ තිබේ. විදුහල්පතිවරයා වශයෙන් තාත්තාට රැස්වීමේ කතාවක් ද කිරීමට සිදු වීම එවැනි අදහසක් ඇති වීමට වැඩිකොට ම හේතු වන්නට ඇත.රැස්වීම් වලට තිබූ  ජනතා සහභාගීත්වය කෙසේ වුවත් පැවති රජය ඒ මැතිවරණයේදී අන්ත පරාජයකට පත් වූ බව කවුරුත් දන්නා කරුණකි. පැවති රජයට උදව් කර තිබූ දහසක් දෙනාට මැතිවරණයෙන් පසු අත් වූ ඉරණමේ හැටියට සැලකූ විට තබා මොනම හැටියකට සැලකූ විටවත් අපටනම් කරදරයක්  සිදු වූයේ නැත. කුඩා කල ඇසු දුටු දේ අතර තිබුණු ඉතා සුළු දෙයක් අපේ මතකයේ ගැඹුරට  කිඳා බැස රැඳී තිබෙන අයුරු සමහර විට ඔබත් අත් දැක තිබෙනු ඇත. මැතිවරණයෙන් පසු මැරයන් විසින් ගිනි තබනු ලැබූ මැදවච්චිය මන්නාරම් පාරේ යකාවැව  විදුහල ඉදිරිපිට වූ නිවසක වහලයේ ලී දඩු බාගෙට පිළිස්සී වැටී තිබූ අයුරුත් පිළිස්සුණු සිංගර් මහන මැෂිමක යකඩ රාමුව ඒ මැද තිබූ අයුරුත් වසර 35 කට පසු අදත් මගේ මතකයේ නොමැකී පවතී.

කෙසේ වෙතත්, 77 වසර ලංකා ඉතිහාසයේ සුවිශේෂ වසරක් බවට පත් වූයේ ඒ මැතිවරණය නිසා ය. ඒ සුවිශේෂත්වයට හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කර ගත් වාමාංශික රජය මැතිවරණයෙන් අන්ත ලෙස පරාජයට පත් වීමවත්, ධර්මිෂ්ට සමාජයක් ඇති කරන්නට කැට තබා විවෘත ආර්ථිකය හඳුන්වා දුන් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එක්සත් ජාතික පක්ෂ රජයේ කුප්‍රකට 2/3 ජයග්‍රහණය නිසාවත් නොව, ඉතිහාසයේ පළමු වරට දෙමළ පක්ෂයක් රටේ ප්‍රධාන විපක්ෂය බවට පත්ව, එහි නායක අමිර්තලිංගම් මහතා විපක්ෂ නායක ධුරයට පත් වීම නිසා ය. මේ වන විටත් ප්‍රභාකරන්ගේ එල්.ටී.ටීය ඇතුඵ දෙමළ සන්නද්ධ කණ්ඩායම් බිහි වී තිබූ අතර, යාපනය පුරපති දුරෙයිඅප්පා මහතා ඔවුන් අතින් ඝාතනය වී තිබුණි.

ප්‍රදේශයේ කැළඹීම් සවභාවයක් දිගින් දිගටම පැවති බව මතක ය. විවිධ කටකතා පියාපත් ලැබ පියාඹන්නට පටන්ගෙන තිබුණි. වකවානුව හරියටම මතක නැතත්, දෙමළ සන්නද්ධ කල්ලි ගැන සෙවීමට ගිය රහස් පොලිස් නිලධාරීන් පිරිසක් මන්නාරමේ දී ඝාතනය වූයේද මේ ආසන්න කාලයේ ය. කැලයක මරා දමා සිටි ඒ නිලධාරීන්ගේ මළ සිරුරු මන්නාරමේ සිට රැගෙන යන දිනයේ තාත්තා කිසියම් කරුණකට මාන්කුලම කඩ මණ්ඩියට ගොස් සිට, ඒ සිරුරු ගෙන යන විට මාර්ගය අවට දුර්ගන්ධය පැතිර ගිය අයුරු ගැනඅම්මාට කියනු මම අසා සිටියෙමි.

වවුනියාවේ පැවති රැස්වීමකදී අමිර්තලිංගම් මහතාගේ බිරිය කතා කරමින් සිංහලයන්ගේ ලේ මත පිහිනන බව කී බවත්, සිංහලයන්ගේ සමින් සෙරෙප්පු සාදා පළඳින තුරු  ඇයට නින්ද නොයන බව කී බවත් වැඩිහිටියන් කතා කරනු මට මතක ය. තුන් පැත්තකින් දෙමළ ගම්මාන වලිනුත් එක් පැත්තකින් ඝන කැලයෙනුත් වට වී තිබූ තම්මැන්නාකුලම ගම් වැසියන් අතර මේ නිසා භීතිය පැතිර ගියේ ය.ගමට පහරදෙන්නට දෙමළ වැසියන් එන බවට වරින් වර කට කතා පැතිර  ගිය අතර, ගම් වැසියන් රෑ එළි කළේ නිදි වර්ජිතව ය. කිහිප වරක්ම ගමේ දෙමළ ගම් වලට ආසන්නව පිහිටි ප්‍රදේශයේ වැසියෝ කට කතා වලින් කැළඹී ගම තුළට දිව ආහ.අනාරක්ෂිත බව සහ බිය සැක මුසුව කුඩා මා අත්විඳි මානසික ස්වභාවය වචන වලට පෙරළීමට මම අපොහොසත් මි. මේ අතර ඒ දිනය එළඹුණේ ය. උදෑසනක ගමේ ගැහැණු පිරිමි ළමා ලපටින් වඩා ගෙන ගම ඉහත්තාවට දිව ආහ. විදුහල පිහිටියේ වැව අසල බව මම කියා ඇත්තෙමි. වැවු තාවුල්ලෙන් ඇරඹී පැතිර පැවතියේ ඝණ වනය ය. දෙමළ ගම් වලින් තොරව පැවතියේ ඒ දිශාව පමණක් බැවින් ගම් වැසියන් ආරක්ෂාව පතා දිව ආවේ එදෙසට ය. ගමේ වැඩිහිටි පිරිමි කීප දෙනෙකු පාසැලට පැමිණ, පාසැලෙහි සිටීම අනාරක්ෂිත බැවින් බබාලාත් සමග කැලයට යාමට එන මෙන් අම්මාගෙනුත් තාත්තාගෙනුත් ඉල්ලා සිටිය හ. දෙමළ වැසියන් ගම් ආක්‍රමණය කළහොත් නිවෙස් වලට ගිනි තබන බවට අදහසක් එකල අප තුළ පැවතුණි. එබැවින්දෝ අම්මා නිවසේ වූ ගෙන යා හැකි වටිනා දෑ සමහරක් ඔතා ගෙන අනෙක් දෑ කඩිමුඩියේම පාසැල් වත්තේ තැනින් තැන සැඟවූවා ය. අප සතුව පැවති යුනික් වර්ගයේ රේඩියෝවද එසේ පඳුරක් තුළ සැඟවූ බව මට මතක ඇත. (මේ ගුවන් විදුලි යන්ත්‍රය මා ළඟ තවමත් සුරැකිව තිබේ. එහෙත් මගේ වයසට වඩා වසරකින් පමණක් බාල එය දැන් අක්‍රිය ව ඇත). ගමේ තිබු ට්‍රැක්ටර් කිහිපය ඉදිරියෙන් ගමන් කරන අතර, ඒවායින් තැලී සකස් වූ තාවකාලික මග ඔස්සේ අනෙකුත් ගම් වැසියන් ද සමග අපි කැලයට ගමන් කළෙමු. කෙතරම් දුරක් යන්නේ ද කෙතරම් කලක් ඉන්නට වේද යන කරුණු ගැන කවරෙක්වත් සිතන්නට ඇතැයි නොසිත මි. කැලයේ සැහෙන දුරක් ගිය පසු මිනිස්සු නතර වූහ. ඒ වන විට මද්දහන වී තිබුණි. අද මෙන් පැකට් කළ වෛවාරණ කැම බීම සුලබ නොවූ එකළ එවැනි හදිසි අවස්ථාවක රැගෙන යාමට කෑමක් හෝ බීමක් නොවී ය. තිබුණත් ගෙන යන්නට තරම් ඉස්පාසුවක් ද නොවන්නට ඇත. අපි කුඩාවෝ ගමන් වෙහෙසින් ද කුසගින්නෙන් ද පිපාසයෙන් ද කිව නොහැකි තරමට හෙම්බත්ව සිටියෙමු. සවස 3 පමණ වන විටත් ගම දෙසින් කිසිදු අනතුරක සංඥාවක් නම් නොවී ය. අවසානයේ, පිරිමි කිහිප දෙනෙකු ආපසු ගමට ගොස් විපරම් කර බැලිය යුතුයැයි තීරණය කරන ලදී. ඒ අනුව ගමට ගිය පිරිමි ගමේ කිසිම අනතුරක සේයාවක් නොවු බව දැක ආපසු අවුත් ඒ බව පවසන තෙක් අපි මහ වනයේ ගස් යට වාඩි වී තෙහෙට්ටුවෙන් අඩපණව බලා සිටියෙමු. අවසානයේ ට්‍රැක්ටර් වල පහන් එළියේ මග පෙන්වීමෙන් රාත්‍රි අඳුරේ අපි ආපසු ගමට ආවෙමු.

වාර්ගික ගැටුමට මැදි වීම පිළිබඳ මගේ මේ අත්දැකීම පසු කලෙක ඒ ප්‍රදේශයේ ජනතාව අත්විඳි බිහිසුණු අත්දැකීම් හා සසඳන විට නොසැළකිය හැකි තරම් වූ එකකි. කාලයත් සමගකැළඹිලි ස්වභාවය අඩුවී සැක බිය මඳක් පහව ගිය නමුත් ප්‍රදේශය කලින් තිබූ තත්ත්වයට නම්සම්පූර්ණයෙන්ම පත් වූයේ නැත. එසේ වුව ද, මගේ කලින් සටහනේ කී සුහදශීලී තත්ත්වය පැවතියේ එවන් වාතාවරණයක් තුළ බව විශේෂයෙන්ම කිව යුතු ය.

කොළඹ පාසැලට ඇතුළත් වීමෙන් පසු මුල් අවුරුදු දෙකේ මා පාසැල් නිවාඩුවට තම්මැන්නාකුලමට ගිය නමුත් 1983 දී ඒ ගමන නැවතුණි. ඒ අවුරුද්දේ ඇති වූ කළු ජූලි සිද්ධීන් සමග ප්‍රදේශයේ තත්ත්වය ඉතාම අයහපත් අතට හැරුණි. ප්‍රතිකාර ගැනීම පිණිස ට්‍රැක්ටරයෙන් සෙට්ටිකුලමට ගිය ගමන් ගැන පෙර සටහනේ කීවෙමි. එහි සිටි, අප සමග ඉතා සුහද වූ දෙමළ ජාතික වෛද්‍යවරයා ප්‍රතිකාර පිණිස ගිය මගේ දෙමාපියන්ට කාරුණිකව කතා කරමින් ප්‍රදේශයේ තත්ත්වය ඉතා නරක අතට හැරී ඇති බැවින් ප්‍රතිකාර ගැනීම පිණිසවත් එහි යළි නොපැමිණෙන ලෙස ඉල්ලා තිබුණේ මේ කාලයේ ය. තාත්තා සමග සුහදව සිටි නේරියකුලමේ දෙමළ ප්‍රභූවරයෙක් ද ඇති වී තිබෙන තත්ත්වය මත "මහත්තයලා ගමට යන්නේ නම් හොඳ" බව කියා තිබුණි. ඔවුන් එසේ කියන්නට ඇත්තේ සිංහලයන් වූ මගේ මාපියන් එම ප්‍රදේශයෙන් ඉවත්කොට පසු කලෙක ප්‍රභාකරන් එහි සිදු කළ "වාර්ගික විශුද්ධිකරණය"ට උපකාර කිරීමේ කූට අදහසින් නොව, මගේ පියා සමග ඔවුන් තුළ තිබූ අවංක සුහද බව නිසාත් වැඩිහිටියන් වූ ඔවුන් ඇතිවෙමින් එවකට පැවති තත්ත්වය ගැන දැක්වූ නොසතුට නිසාත් යැයි මම විශ්වාස කරමි. අප වටහා නොගත් එක් කරුණක් නම් දෙමළ වූ පමණින් සියළුම දෙමළ මිනිසුන් ප්‍රචණ්ඩත්වයට කැමැති නොවූ බව ය.

මගේ දෙමාපියන් ඒ වසරේ මාරුවීම් ලැබ ගමට ආ හෙයින් එයින් පසු ප්‍රදේශය සමග අපේ සම්බන්ධය නැතිව ගියේ ය. එහෙත්, ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර ගැනත්, ගම් වැසියන්ට ගම හැර යන්නට වීම ගැනත් ආරංචි ලැබුණි.

තම්මැන්නාකුලම හා ආශ්‍රිතව අත්විඳි මේ සිද්ධින් සිහිපත් කරන විට මගේ පියා කීවේ 77 මැතිවරණයේ දී ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් විපක්ෂය නොවී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රධාන විපක්ෂය බවට පත් වීම මේ රටේ වාර්ගික ගැටුම උත්සන්න වීමට හේතු වූ බව ය. එහෙත් එයටත් වඩා ඊට හේතු වූයේ දෙමළ සහ සිංහල දේශපාලන නායකයින් කෙටි කාලීන දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය උසිගැන්වීම  බව මම සිතමි. අමිර්තලිංගම් මහතා විපක්ෂ නායක වශයෙන් තමා ලත් තත්ත්වය ඊට යොදාගත් අතර පසුව ඒමහතාම එහි ගොදුරක් බවට පත් විය.

මගේ මව "දෙමළ කලබලය" වශයෙන් හඳුන්වන, මෙහි සඳහන් කළ මගේ අත්දැකීම් ජනවාර්ගික ගැටුමට පසු කාලීනව මැදි වූ අන් බොහෝ අය ලැබූ අත්දැකීම් වලට වඩා සරල  වුව ද එයින් මට ඇති වූ මානසික බලපෑම කවර ආකාරයකින්වත් එවැනි ගැටුම්කාරී තත්ත්වයක් වැඩි දියුණු කිරීමට උල්පන්දම් නො‍දිය යුතු බව ඒත්තු ගැනීමට තරම් ප්‍රබල වී ය. එහෙත්, දෙමළ ජනයා සමග කිසිදු ආශ්‍රයක් නැතිව යුද ගැටුම් රූපවාහිනියෙන් ආශ්වාදය කරන්නෙකුට එවැන්නක් අති නොවනු ඇතැයි සිතීම සාධාරණ ය. වාර්ගික අසහනය පමණක් නොව බෙදීම් මත පදනම් වූ සියළු ගැටුම් ඇති වන්නේ එකිනෙකා අතර අන්‍යොන්‍ය අවිශ්වාසය නිසා ය. ඒ අවිශ්වාසය තුරන් කර, අනෙකාගේ සමෙන් සෙරෙප්පු සාදන්නට සිතෙන ආකාරයේ සිතිවිලි සියලු සිත්වලින් අතු ගා නොදැමුවොත් පවත්නා සාමය කල් පවත්නා සාමයක් විමේ ඉඩකඩ අඩු යැයි මම සිතමි.