• ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~නිදහසේ උපන් සිතුවිලි නිදහස්ව පළ කරනු සඳහා සයිබර් අවකාශයේ ඉදි කළ නිවහන~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Sunday, April 18, 2010

නායකත්වයේ ලක්ෂණ-බුදුන් වහන්සේ ඇසුරින් විමසීමක්

නායකයෙකු සතු විය යුතු ගුණාංග මොනවාද? මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ අදහස් දරනවා නොඅනුමානයි. එහෙත් ඒ පිළිබඳ පරිසමාප්ත අර්ථකතනයක් ඇතිකර ගැනීම ඉදිරි ඉලක්කයක් ලෙස තබාගෙන සියළු දෙනාට පිළිගත හැකි මූලික කාරණා ගැන සළකා බැලීමක් කිරීමටයි මේ අවස්ථාවේ මා අදහස් කරනුයේ. ඒ තුළින් අප එදිනෙදා දකින නායකයන් ගැන අපට යම් මිණුමක් ඇති කර ගන්නට හැකි වනවා වගේම, අපත් අපේ මට්ටමේදී කෙතරම් දුරකට නායකත්වය දැරීමට සුදුසුකම් දරන්නේද යන්න ගැන ස්වයං ඇගයුමක් ඇති කර ගැනීමටත් එය ඉවහල් වනවා ඇති.

මෙහිදී මාගේ අවධානය යොමු කරන්නේඅපේ සංස්කෘතිය තුළ ඉමහත් ගෞරවයට පත් නායකයකු වන්නේ ගෞතම බුදුන් වහන්යේ කෙරෙහියි. උන්වහන්සේ ඉතා දීර්ඝ කාලයක් නොනැසී පැවතීමට සමත් දර්ශනයක් බිහි කළාක් මෙන්ම එය පවත්වාගෙන යාමට අති විශාල අනුගාමිකයන් සංඛ්‍යාවකුත් බිහි කළා. අතීත ඉන්දියාවේ කුඩා ප්‍රාන්ත රාජ්‍යක පාලකයකුගේ පුතකු ලෙස උපන් බුදුන්වහන්සේ ට, ලොව පුරා මිලියන ගණනක් ජනතාවගේ හදවත් දිනා ගනිමින් ශත වර්ශ 25 කට අධික කාලයක් පැවතීමට සමත් ව ඇති මෙවැනි සංස්ථාවක් බිහි කිරීමට උපකාරී වූවා වූ උන්වහන්සේ සතු ව පැවති නායකත්ත්ව ලක්ෂණ කවරේද?

පළමුකොටම බුදුන්වහන්සේ සතු වූ දර්ශනය; උන්වහන්සේ සතුව පැහැදිළි, අව්‍යාකූල දර්ශනයක් පැවතුණි.කරුණාව සහ අහිංසාව පදනම් කර ගෙන ගොඩ නැගුණ ඒ දර්ශනය තුළට සියළු දෙනා ආකර්ශනය කර ගැනීමට බුදුන් වහන්සේ සමත් වුණා. තමන් සතු පැහැදිළි දර්ශනයක් තිබීම මෙන්ම එය තමා‍ගේ අනුගාමිකයන්ගේ සුබසිද්ධියට හේතු නොවන එකක් නොවීම ඒ අනුව නායකයකු සතු විය යුතු ලක්ෂණයක්. එසේම සිය දර්ශනය සම්බන්ධයෙන් තමන් තුළ නිරාකූල අවබෝධයක් ඇති නායකයා ඒ මත පදනම්ව ඉලක්කයක් කරා සිය අනුගාමිකයන් මෙහෙය වීමට සමත් වනවා ඇති.

දෙවනුව බුදුන්වහන්සේ සතුව ආදර්ශවත් චරිතයක් තිබුණි. තම අනුගාමිකයන්ට දේශනා කළ ධර්මය තුළ උන්වහන්සේද හැම විටම හැසුරුණ නිසා අනුගාමිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට උන්වහන්සේට හැකි වුණා. මෙම විශ්වාසය පළුදු කිරීමට විරුද්ධවාදීන් ඇතැම් විට කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කළ අවස්ථාවන්හිදීත්, එම උත්සායන් අසාර්ථක වූයේ උන්වහන්සේ සිය ආදර්ශවත් භාවය නිකැළැල්ව පවත්වාගත් හෙයින්. මෙයද නායකයකුට පිහිටිය යුතු ලක්ෂණයක් ලෙස දැක්විය හැකියි. වැදි බණ දෙසන නායකයකුගේ ඒ වැදි බණ යම් මොහොතක හෙළිදරව් වූ විට ඔහු පිළිබඳ විශ්වාසය අනුගාමිකයන් තුළින් ගිලිහෙනවා පමණක් නොව ඔවුන්ගේ ගෞරවය ඔහුට ඉන් පසු හිමි නොවීම නිසා අනුගාමිකයන් පාලනය කිරීමද අසීරු වනු ඇති.

තෙවනුව උන්වහන්සේ සතුව පැවති අපක්ෂපාතී බව උන්වහන්සේට සියළු දෙනාගේ විශ්වාසය සහ ගෞරවය දිනා දීමට සමත් වුණා. ඒ අපක්ෂපාතබව නිසාම සිය අනුගාමිකයන් අතර ගැටළුවක් ඇති වූ විට එයට මැදහත්ව එය විසඳීමට උන්වහන්සේට හැකියාව පැවතුණා. නායකයා සිය අනුගාමිකයන් අතරින් යම් කෙනෙකුට හෝ පිරිසකට වඩා පක්ෂපාත බවක් ඇල්මක් දැක්වීම අනුගාමිකයන් අතර බෙදීම් සහ නොසන්සුන්තාවයන් ඇති වීමට හේතු වනවා පමණක් නොව, නායකයා කෙරෙහි ඔවුන්ගේ ගෞරවය නැතිව යාමට ද එය හේතු වනවා. ඇතැම් විට ඔහුගේපක්ෂපාතීත්වය හිමිවන්නන් අතර පවා ඔහුගේ ප්‍රතිරූපය පිරිහෙන්නට එය හේතු විය හැකියි.

සිව්වනුව බුදුන්වහන්සේ හොඳ මානව සම්පත් කළමනාකරුවක් වුණා. සිය අනුගාමිකයන් ඔවුන්ගේ චරිත ලක්ෂණ අනුව වර්ග කළ උන්වහන්සේ ඒ ඒ පුද්ගලයාට කාර්යයන් පැවරුවේ ඔහුගේ චරිත ස්වභාවයට ගැලපෙන ලෙසයි. සිය අනුගාමිකයන්ගේ චරිත ලක්ෂණ මෙන්ම ඔවුන්ගේ දක්ෂතා සහ අදක්ෂතා නිසිලෙස හඳුනා‍ගැනීමට නායකයකුට හැකි විය යුතුමයි. එසේ කළ යුත්තේ අදක්ෂතා ඉස්මතු කොට ඔවුන්ට ගැරහීමට නොව හඳුනාගත් දක්ෂතා මත සුදුස්සාට සුදුසු කාර්යය පැවරීමටත්, දක්ෂතා ඇගයීම තුළින් දිරිගැන්වීමටත් නිසි මග පෙන්වීම තුළින් හඳුනාගත් දුර්වලතා මග හරවා ගැනීමටත් එයින් හැකියාව ලද හැකි බැවින්.

පස්වනුව, බුදුන්වහන්සේ සිය අනුගාමිකයන්ට මනා ආරක්ෂකයෙක් වුණා. අනුගාමිකයන් අනතුරකට හෙළනු වෙනුවට අනතුර ඉදිරියට තමාම වැඩම කිරිම උන්වහන්සේ කළා. මෙයද හොඳ නායකයකු සතු විය යුතු වැදගත් ගුණාංගයක්. අනුගාමිකයන් විසින් යමක් මනා කොට ඉටු වූ විට එහි ගෞරවය ලබා ගැනීමට තමා ඉදිරිපත්ව, ඔවුන් අතින් යමක් වැරදී ගිය විට මම නොවෙයි එය කළේ මොවුන්යැයි සිය අනුගාමිකයන් බිල්ලට දී ඇඟ බේරා ගන්නා තැනැත්තාට අනුගාමිකයන්ගේ පමණක් නොව ඉහළ බලධාරීන්ගේද පිළිකුළ ‍හිමි විය හැකියි.

අවසාන වශයෙන් බුදුන්වහන්සේ සිය අනුගාමිකවයනට පෙන්වූයේ නිවැරදි මාර්ගයයි. සිය අනුගාමිකයන්ට නිවැරදි මාර්ගය පෙන්වා දීමට සමත් නොවන නායකයෙක් එමගින් සිය අනුගාමිකයන් අනතුරට හෙළනවා පමණක් නොව අවසානයේ තමාමත් අනතුරට හෙළා ගන්නවා ඇති.

බුදුන්වහන්සේ සතු වූ එම නායකත්ව ලක්ෂණ නිසායි උනවහන්සේ ශත වර්ෂ 25කට පසුව අදටත් මිලියන ගණනාවක් ජනතාවගේ ගෞරවාදරයට පත්ව සිටින්නේ.

ඉතින්, අප සහ අපගේ ආයතනයන්හි අපේ නායකයන් තුළත් කොපමණ දුරට මේ නායකත්ව ලක්ෂණ තිබෙනවාද? ඒ ඒ පුද්ගලයන් සතුව පවතින ජනප්‍රියතාව සහ ඉහත කී නායකත්ව ලක්ෂණ ඔවුන්තුළ විද්‍යමාන වන ප්‍රමාණය සසඳා බැලීම එක් අතකට සිත්ගන්නාසුළු ව්‍යායාමයක් ද විය හැකියි. එසේම, මෙම ලක්ෂණයන්ට එහැමපිටින්ම ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ඔබේ ප්‍රධානියා ප්‍රකට කරනවානම් එය ඔහුගේ, ඔබේ, ඔබ ආයතනයේ මතු නොව සමස්ත සමාජයේම අර්බුදයක්, අවාසනාවක් බවට පත්වනවා ඇති. එහි ඇති වඩාම අවාසනාවන්ත කාරණය වන්නේ එවැනි නායකයන් යටතේ බිහිවන්නේත් ඔවුන් වැනිම නායකයන් වීමයි. එය එසේ වුවහොත් එය සමස්ත ජාතියේම අවාසනාවේ විෂම චක්‍රයක් වනවා ඇති.

නායකයන් සතු විය යුතු මනා ගුණාංග ගැන හුදී ජනයාගේ නිවැරදි අවබෝධය වැදගත් වන්නේ එහිදීයි.

(මෙය ලිවීමේදී ගෞරවාර්හ සෝභිත හිමියන්ගේ Buddha as a leader ලිපිය උපකාරී වුණා)

Monday, April 12, 2010

සේවා ස්ථානයේ සිදුවන ලිංගික අතවර | Sexual Harressment at workplace

සේවා ස්ථානයේ සිදුවන ලිංගික අතවර ගැන යමක් ලියන්න මම අදහස් කළේ ඇත්තටම එදිනෙදා දකින්නට සිදුවන ඒ ආකාරයේ සිද්ධි දාමයක් නිසා ඇති වුණ පිළිකුලත්, ඒ ගැන යමක් කරන්න තියෙන ප්‍රායෝගික දුෂ්කරතා නිසා ඇති ව තිබෙන මානසික පීඩනයත් නිසා බව මුලින්ම කිව යුතුයි. මේක බල්ලාගෙ වැඩේ බූරුවා කිරීමක් වගේ යමෙකුට පේන්න හැකි වුණත්, කළ යුතු බල්ලා තමන්ගේ කාරිය නොකරන කොට, ඊටත් වඩා තමන් නොකළ යුතු දේ කරන කොට පිට හරහට පොලු පාර වදින බව දැන දැනත් සමහර විට බූරුවට කට අරින්නෙ නැතිව ඉන්න බැරිවෙන වෙලාවල් එන්න පුළුවන්. මේක ත් සාමාන්‍යයෙන් අපේ සමාජයේ වැඩිය කතා නොකරන මාතෘකාවක් වුණත්, සාමාන්‍යයෙන් කතා නොකරන දේවල් ගැනම කතා කරන ටැබූ ත් මේ මාතෘකාව ගැන කතා නොකරන්නේ මොකද කියන එක මට ගැටළුවක්. අපේ සමාජයේ මේ ගැන වැඩිය කතා නොකරන්න එක හේතුවක් නම් වැඩි දෙනෙක් ගාව කිල්ලෝට තිබීමත්, එයින් බොහොමයක් කිල්ලෝට වල ටික ටික නමුත් හුණු තිබීමත් විදියටයි මම දකින්නේ.

සේවා ස්ථානයේ සිදුවන ලිංගික අතවර වැළැක්වීමට අදාලව අපේ රටේ විශාල සංඛ්‍යාවක් නීති රීති තියෙන බව මේ ගැන ටිකක් හොයල බැලුවොත් දැන ගන්න ලැබෙනවා. මේ කාරණය විශේෂ කොට ම අපරාධ නීතිය යටතට ගැනෙන, දකුණු ආසියාවේ ඇති එකම රටත් ශ්‍රී ලංකාව බවයි කියන්නේ.එහෙනම් මේ රටේ කාන්තාවන්ට සේවා ස්ථානයේදී සිදුවන ලිංගික අතවර ඉතා අවමද? බැලූ බැල්මට ඒ කාරණය එහෙම බවයි පෙනී යන්නේ. මෙහෙම ප්‍රශ්නයක් ගැන කවුරුත් දන්නේ නැති තරම්. ඇත්තටම වෙලා තියෙන්නේ අතවර නොවීම නොවෙයි කරන්නේ අතවරයක් බව නොදැන සිටීම සහ දැන ගත්තත් නොකියා සිටීම බවයි මට නම් පේන්නේ. මෙතනදී මම "මට නම් පේන්නේ" කියල කියන්නේ එහි සැබෑ අර්ථයෙන් මයි. මේ අතවර විරුද්ධ ලිංගික පාර්ශ්වයන්ගෙන් වගේම සම ලිංගික පාර්ශ්වයන් වෙතින්ද සිදුවිය හැකි බව නීතිමය අර්ථකතනයන්හි සඳහන් වුවත්, වැඩිය සිදුවන්නේ පුරුෂ පාර්ශ්වය අතින් කාන්තා පාර්ශ්වයට වන හිංසන බව,එසේ කීමට තහවුරු කළ දත්ත නැතිව වුවත් අපේ සමාජයීය පරිසරය අනුව පිළිගැනීම වැරදි සහගත නොවන බවයි මගේ අදහස.

ලිංගික හිංසනයක් ලෙස හඳුනා ගැනීමටනම් භෞතික වශයෙන් සිදුවන ස්පර්ශයක් තිබිය යුතු බව අපේ සමාජයේ උගත්යැයි සම්මත පිරිස් පවා සිතා සිටිනවා. ඒ අනුව කාර්යාලයේ ප්‍රධානියා තමා වෙත කැඳවන කාන්තා සේවිකාවකගෙන් ඔයාට බබාල ඉන්නවද? කී දෙනෙක් ඉන්නවද? තව හදන්න කැමති නැද්ද? බබා තාම ඔයාගෙන් කිරි බොනවද? ආදී වශයෙන් තමන් කරන්න ගිය රාජකාරියට අදාල නැති ප්‍රශ්න වැලක් ඇසුවොත් ඒක ලිංගික හිංසනයක් නොවෙයි ද? (මේ මම හිතල ලියපු ප්‍රශ්න වැලක්වත්, නාරිවේද වෛද්‍යවරයෙක් තමාවෙත එන රෝගියකුගෙන් අහන ප්‍රශ්න මාලාවක්වත් නොවෙයි, ලංකාවෙ රාජ්‍ය ආයතනයක දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් තමාගෙ නිල කාමරයට නැඳවන කාන්තා සේවිකාවන්ගෙන් නිතර අසන ප්‍රශ්න මාලා කීපයකින් එකක්). මේක ලිංගික හිංසනයක්ද නැද්ද කිය එක ඇත්තටම විෂය මූලික කාරණයක්. මේ ප්‍රශ්න අහන්නෙ ඒ ප්‍රශ්න මාලාව කැමැත්තෙන් අහගෙන ඉන්න, පැනලා උත්තර දෙන සේවිකාවකගෙන් නම් එයින් ඇය මානසික පීඩාවකට පත් වෙන එකක් නැහැ, හිංසනයකුත් විය නොහැකියි. නමුත් මේ ප්‍රශ්න කිරීමට ගොදුරු වන්නෙ ඔහු සමග ඒ ප්‍රශ්න සාකච්ඡා කිරීමට අකමැති එයින් මානසිකව පීඩාවට පත්වන සේවිකාවක නම් එතැන හිංසනයක් පවතිනවා. ඇත්තෙන්ම එතැන භෞතික සාධකයක් ඇතත් නැතත් එය සේවා ස්ථානයේ සිදුවන ලිංගික ස්වභාවයේ අතවරයක් ලෙසයි අර්ථ දැක්වෙන්නේ.

මේ අතවරයන් සම්බන්ධව නීතිමය තත්ත්වය ගැඹුරින් විග්‍රහ කරන්න නෙවෙයි මම අදහස් කරන්නේ. ඒ සම්බන්ධව දැන ගැනීමට කැමති ‍අයට ගුගල් සෙවීමකින් බොහෝ තොරතුරු දැන ගත හැකියි. මෙයට පෙරත් සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ මේ කාරණය පිළිබඳ ශක්තිමත් නීති පද්ධතියක් තිබේනම් එහි ප්‍රායෝගික භාවිතය කෙසේද කියන එක සොයා බැලීමයි වැදගත්. මේ නීති රීති යටතේ කොපමණ දෙනෙක් නීතියේ පිළිසරණ පතනවාද? එසේ නොපතනවානම් ඒ එවැනි ගැටළු රටේ නැති නිසාද නැති නම් වෙනත් හේතුවක් නිසා ද? මේ ගැන කළ අධ්‍යයනයන් වලදී පෙනී ගොස් ඇත්තේ සංස්කෘතිකමය කරුණු නිසා මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් වාරතා වීම අවම වන බව. මෙය පිළි ගත හකි සත්‍යයක්. මා මෙහි ඉහත කී ආයතන ප්‍රධානියාගේ වාචික අතවරයන්ට නිරන්තරව ලක් වන සේවිකාවන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි නොකරන්නේ එය අවසානයේ තමාටම පාරාවලල්ලක් වේය යන බිය නිසා යි. එක් අවස්ථාවක ඉහත ප්‍රධානියාට ආයතනයේ පැවැත්වෙන බෞද්ධ ධර්ම දේශනයක් ශ්‍රවණය කිරීමටයන සිය සේවිකාවක් ආතනය තුළ කොරිඩෝවකදී මුණ ගැසුණා. ඇසීම අනවශ්‍ය වුවත් ඔහු සිරත් පරිදි මේ සේවිකාවගෙන් යන්නේ කොහේදැයි ඇසූ විට ඇය කීවේ "බණ අහන්න යනවා" කියා. එයට ඔහු දුන් ක්ෂණික පිළිතුර වුණේ "අහන්නද යන්නෙ" යන්නයි. මෙම ප්‍රශ්නය ඔහු ඇසුවේ ස්වාමීන්වහන්සේ නමකගෙන් නම් එසේ ඇසීම තේරුම්ගත හැකියි. මන්ද ස්වාමීන්වහන්සේ නමකට බණ ඇසීමට වගේම කීමටත් හැකි නිසා. මෙහිදී මේ අවිනීත පුද්ගලයා අදහස් කළේ කුමක්ද කියා සිංහල මව්බස ලෙස භාවිත කරන සියළු දෙනාටම වැටහුණත් එම අවිනීත වාග් ප්‍රහාරයට ලක් වූ සේවිකාවට ඒ සම්බන්ධව කළ හැක්කේ කුමක්ද? තවත් අවස්ථාවක මේ පුද්ගලයා බැංකොක් නගරයේ පුද්ගලික සංචාරයක නිරත වීමට සිටි සිය දියණියකගේ වයසේ වූ සේවිකාවක් කැඳවා නොයෙකුත් පුද්ගලික ප්‍රශ්න වැලක් අවසානයේ ඇයට දුන් උපදෙස වූයේ ගිය විට "රෙඩ් ලයිට් ඒරියා" නරඹන ලෙසත් එම "එක්ස්පීරියන්ස්" එක ඉතා වැදගත් බවත්. තමා බැංකාක් ගිය විට නතර වූයේ හිල්ටන් හෝටලයේ බවත් තමා රෙඩ් ලයිට් ඒරියා බැලූ බව හා එහි වර්ණනාවත් ඇයට කීමට ඔහු ‍පැකිළුනේ නැහැ. පාසැල් හැර ගිය අළුතම සේවයට එක් ව සිටි ඒ ලාබාල යුවතිය කාමරයෙන් එළියට පැමිණ සිය සහෝදර සේවිකාවන් කීප දෙනෙකුට මෙය කියූ බැවින් මෙම කාරණය බාහිරයට අනාවරණය වුණේ. මෙම පුද්ගලයා සම්බන්ධ විශේෂම කරුණනම් ඔහු එම ප්‍රමුඛ රාජ්‍ය ආයතනයේ මානව සම්පත් භාර ප්‍රධානම පුද්ගලයා වීමයි.

දැන් මා මෙහිදී සඳහන් කළ සිද්ධි සම්බන්ධයෙන් "ඕක මොකක්ද ඔච්චර දෙයක්ද" කියා ඔබට හිතුණානම් සේවා ස්ථානවල කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන තවදුරටත් පවත්වාගෙන යාමට ඔබගෙනුත් අක්‍රිය දායකත්වයක් ලැබෙන බව කිව හැකියි. මා මෙහි සඳහන් කළේ එක් ආයතනයක එක් පුද්ගලයෙකු සම්බන්ධ සිද්ධි විශාල සංඛ්‍යාවකින් තුනක් පමණයි. ඒ සිද්ධි සියල්ලම සඳහන් කළොත් වෙනමම වෙබ් අඩවියක් ඔහුගේ අශ්ලීල කතා සහ ක්‍රියා වලින්ම තැනිය හැකියි. නමුත් මේ අසහනකාරී ක්‍රියාවට දිනපතා ගොදුරුවන සේවිකාවන් එයින් ලබන මානසික අසහනය කොපමණද? ඔබේත් ඔබ මෙන්ම තවත් දහසක් දෙනාගේත් "ඕක මොකක්ද" ආකල්පය නිසා දහසකුත් එකක් බලසම්පන්න නීති වල්ගය නැති ගොනුන්ගේ තත්ත්වයට පත්ව ඇති විට ඔවුන්ට ඇති පිළිසරණ කුමක්ද? මෙම හිංසනයට ලක්වන සහෝදරියන්ගේ මානසික වේදනාවට සංවේදී වී එවැනි ක්‍රියා වලින් වැලකී සිටින ලෙස සහ, මේ සම්බන්ධව දැනුම්වත් වීමේ සහ දැනුම්වත් කිරීමේ ක්‍රියාවලියක් තුළින් එවැනි දහසක් දෙනාගේ දුක්වේදනා තුරන් කිරීමට කිසියම් හෝ දායකත්වයක් දෙන ලෙසයි මා ඉල්ලා සිටින්නේ.

Sunday, April 11, 2010

හමුවීම

ජීවිතයේ බොහෝ දුර කතර ගෙවා යන මග අතරමග

හමුවුණා ඔබ

තවත් සිය දහස් දෙන අතර

ඔබ තවත් එක් කෙනෙක් නොව

මා පැතූ, මා සිත රැඳි රුව ම විය

ඔබ ද ඔබේ නොව - මා ද මගේ නොව

අන් සතුව සිටි විට

තුමක් කරමුද අප

ජීවිතයේ බොහෝ දුර දිනයක අපේ මං පෙත්

බෙදී වෙන් වී ඇත

එක මගක නොගියද

එක සෙවණක නොසිටියද

සිතින්,

ඔබ මගේ මය

මම ඔබේ ම ය