• ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~නිදහසේ උපන් සිතුවිලි නිදහස්ව පළ කරනු සඳහා සයිබර් අවකාශයේ ඉදි කළ නිවහන~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Sunday, November 16, 2008

දිවි මං සල - Junction of Life

නතර වීමි මං-සන් පුවරුව අබියස
දැල්වී ඇත එමත ලෝහිත එළිය
ඔබ ඇවිත් නතර විය මා පසෙකින්
දිටිමි මම ඔබ - දුටුවෙහිය ඔබ, මා

බසිනු නොහැක ඔබ, ඔබ රියෙන්
නොමැත අසුනක් මා රියෙහිද
ලෝහිත එළිය දැල්වේද සදා කල්
නැතොත් දැල්වේද හරිත එළිය
යනු පිණිස ඔබට,ඔබ මග - මට මා මග

I stopped at the traffic lights
The red light is on
You pulled by my side
I saw you - You saw me
You cannot get out of your car
nor I have a seat for you
Will the red light on for ever
or, will the green on
for you to go your way, and for me to mine.

Sunday, March 16, 2008

මේ ඔබේ වාරයයි

සැඬ හිරු රැස් පහස ලබා ඉන්නට බැහැ දූවිල්ලට
සුළඟ එක්ක එකතුවෙලා හැම තැනකම විසිරෙනවා
ඉස්සර වගෙ හිස ඔසවා දෑත් නඟා නොබලයි දැන්
වියළී ගිය අතු පොරවන් ඇත මහදුම් කරබාගෙන
කීචි බීචි හඩ නෑසෙයි ඉගිල ගිහින් දුර ඈතට
කිසිවෙක් නැහැ වැව් පතුලේ රටා මවන ඉරි බලන්න

දිය බිඳුවක් සොයා ගිහින් යොදුන් ගණන් දුර ඈතට
පැල්පත් ළඟ දියමැහි උඩ දැකගන්නට නැහැ කළගෙඩි
වියළී ගිය පොළොවෙ හැපී පළ නැති තැන උදළු කෙටිය
සහනාධාරෙට ගිහිල්ල පස් කපනව මහ පාරේ
නිල් පාටින් බැබලි බැබලි සුදු පාටින් රටා මවන
හිස් අහසට දෝත් නඟා වැහි අයදියි අසරණ ඇස්

වැව් ඉවුරේ තුරු සෙවණේ නිසලව හිඳිනා දෙවියනි
ගලක් නොවෙයි නම් හදවත - පෙරදි ඔබට බැතින් වැහුණ
ඒ ඇස්වල කඳුළු අරන් මහ වැස්සක් මවා දෙන්න

1989

Thursday, March 13, 2008

අනාගතය අදයි*

සවන් තලය දෙදැරූයේ
අරුතින් තොර වදන් වැල්ය
පොත්හල් වල පිරී තිබුණි
පාට පාට හිස් කරදහි
පාර පුරා ඇවිද්දෝය
සිතක් නොමැති බඹ කයවල්
නේක වර්ණ විදුලි බුබුළු
අඳුරු කළා ඹවුනගෙ නෙත්
අපි දියුණුව ලදුවෙමුයැයි
දෑස් පියා කියනාතුර
යකඩ කඳන් පණ ලබමින්
මිනිසත් බව මිය ඇදුණිය

1989

*(මාතෘකාව පසුව යොදන ලද්දකි)

Wednesday, March 12, 2008

ඔබ

තනිකම කරන සඳ සෝබර හද දැදුරූ
වටකොට මහද වූවා මුළු ලොව අඳුරූ
වී නම් යමක් ඒ මොහොතෙහි මට සොඳුරූ
වදනක් පමණි රහසින් ඔබ මට කෙඳූරූ

ජීවන ගගන නැඟ ආ සඳ අඳුරු වළා
වැළපුණි මහද, තනිකම හා එකතු වෙලා
දිරි දී, නැගෙන්නට ඒ දුක ඉවත හෙළා
සඳවත නුඔ මගේ ලොව යළි එකළු කළා

වියළී ඉරිතැලී කතරක් වී තිබුණූ
හදබිම යළි වරක් නිල් උයනක් කෙරුණු
ජීවන දියෙන් පුරවාලන හද පොකුණූ
වැසි දිය ඔබය, නොක‍ෙලක වුව ඇද හැලුණූ

Monday, March 10, 2008

අඳුරු රැය

සඳ සැඟව ගිය රැයේ
තරු හඬයි මුවහ වී,
සාවුනගෙ රැකවලට
තුරු වදුළු නිඳා ඇත
රැයෙහි ගණ අඳුරමය
වවුලනගෙ රජ දහන
සියොත් කැල නැති රැයේ
ගී ගයති රෑසියන්
කැනහිලුන් ගොර සපුන්
ගොදුරු සොයතිය රැයේ
නිදන සාවුන්-මුවන්
දිවියනගෙ බොජුන වේ
සඳ නොමැති මේ රැයේ
කිරුළ ලදි බිය, සුසුම
නිසසරන් පළවමින්
පායපන් හිරු නැවත

1989

වැසිබර රැයෙක ලියූ කවි

නෑසෙන නමුදු සිවයාතුන් දෙන මිහිරි සර
සරසවි අත වනයි මේකුළු අතර තුර
සැරසී ගෙනෙන ලෙස කව් මුතු, දිමුතු හර
පියසට පාතබමි, යළි කව් සයුරු තෙර

කවුළුවතරින් එයි, හිරිකඩ සුළඟ ඇදී
සීතල සුළඟ, සිසිලස මුළු ගතම විදී
වැසිබර රැයෙහි සුවයෙන් මුළු ලොවම නිදී
මම කව් ලියමි අවදිව, මගෙ කුටියෙ- හිදී

අඩවන් වෙලා වෙහෙසින් නිඳි වරන නෙත
පසෙකින් නිඳයි පිටු පෙරළා දැමුණ පොත
පාළුවෙ ඉකි බිඳියි තනිකම දැනුණ සිත
තනියට මගේ, පන්හිඳ තනි රකිති මිත

මැළවුණ සිතට පණදී යළි පැන් ඉහින
සිතිවිලි අතර බොඳ වී වි‍යැකෙන සිහින
හැබැහින් දකින නෙතු අග කඳුළැලි පිහින
කෙදිනක එදින එද, මරු කතරට වහින

හිරු සඳු නැ‍ෙඟයි තරු හිනැහෙයි ගුවන අරා
කුසුමන් සැළෙයි බිඟු සැනැහෙයි එදෙස සරා
සුන්දර දි‍යත රස ඇති දේ ඉවත පෙරා
අපි වද විඳිමු රොඩු බොඩු දෑ සිතෙහි දරා

රෑසින් නඟන හඬ නල රැල් අතර වැයේ
හෝරා යතුර නැවැතී ඇත දොළහෙ පැයේ
නිඳි දෙව් දුවට ඉතිරිය දෙමි නිහඬ රැයේ
නවතිමි සමුගනිමි, සුපතමි ඔබට පියේ

1988

පාලම ළඟ පිළිමය

පාලම ළඟ ලෑලි පෙට්ටි පැල්පත් ගොඩ මුවා කරන්
අහස උසට නැඟි පවුරෙහි සුදු පැහැයට බැබලි බැබලි,
ගඟට උඩින් ඈත බලන් බුදු හිමියන් සිනාසුණා

වැල කොකැඩී පාලම උඩ දුවන බස් වැලේ ඉඳගෙන
රේස් කොලේ බලමින් සිටි මිනිසුන්, කහ සිවුර පෙනී
හිටි අසුනින් මඳක් නැඟී, හිස නවලා වාඩි වුණා

ඉඳගන්නට තැනක් නැතිව, සීට් කොණට වාරුවෙලා
බස්රිය ගැස්සෙන වාරෙට, අමාරුවෙන් හිටගෙන හිටි
මහළු උපාසක අම්මත් සාදු සාදු යැයි කිව්වා

කාර් වලින් වැඩි මහතුන් දෑත පාන නොදරුවන්ව
නොදුටු ලෙසින් අහක බලන් දෑත් එක්කරන් වැඳලා
පිං පෙට්ටිය කට ළඟටම, කාසි වලින් ගොඩ ගැහුවා

රොන් ගන්නට මලක් හොයන් පියඹන පොඩි මී මැස්සා
බුදු හිමියන් පා මුල හිඳ, මඳ පවනට සිනා සලන
හරි ලස්සන රතුවට රතු මල් පොකුරට ඉව කෙරුවා

සුවඳක් නැති කරදහි මල් මීමැස්සට හිනා වුණා
දිලෙන ධවල පවුර උඩින් රොන් සුවඳැති මල් හොයමින්
පැල්පත්වල පියසි මතින් මී මැස්සා ඉගිල ගියා

1988

Thursday, March 6, 2008

ඇඩ්වාන්ස් ලෙවල්

හලෝ මචන්!
හලෝ හලෝ කොහොමද දැන්?
මොනවද දැන් උඹ කරන්නෙ?
බයෝ මචං මං කරන්නෙ
ඇත්තද? ආ! මම කරන්නෙ මැත්ස් මචං
ආ! එහනං ඉංජිනියර්!?
නැතුව නැතුව, උඹ ඩොක්ටර්!!.උඹ ඕකට ආසද බං?
පිස්සුද බං..මං මේකට ආස නෙවේ...තාත්තලගෙ ආසාවනෙ..
උඹටත් එහෙනම් එහෙමද..මටත් එහෙම තමයි මචං
හෙහ් හෙහ්...
--------
ඒක නෙවෙයි දැං කොහොමද? අල්ලං යනවද සබ්ජෙක්ට්?
ඔව් ඔව්.. සබ්ජෙක්ට් ටික මට සිමිපල්
ක්ලාස් එහෙම යන්නෙ නැද්ද?
මමද? අපෝ මොකද නැත්තේ
ෆිසික්ස් වලට අහවල් සර්.. කෙමිස්ට්‍රිනං අහවල් මිස්
තව දෙන්නනෙක් ළඟට යනව, ඒ දෙකටම
මම නං තව ගියේම නෑ, බැරිද මටත් සෙටි කරන්න
ඕන වෙලාවක වරෙන්කෝ ඉඩ තියෙනව ක්ලාස් එකේ
ආ එහෙනං මං එන්නං, කවදද? හෙට?
සී.යූ
සී.යූ
-----------
දැන්නං මට පිස්සු මචං
මොකද මචං අප්සෙට් එක? ක්‍රෑමට සෙට් උනේ නැද්ද?
කළා මචං බැහැගෙන මං..
ඒ උනාට මතක නෑනෙ මෙලෝ දෙයක්
මට නං නෑ එය තරංම අප්සෙට් ගියෙ
එහෙනං උඹ වාඩි වෙනව?
ඔව් , ඇයි උඹ යන්නෙ නැද්ද?
නෑ බං මං කරන්නෝනෙ, නැත්තං ෆුල් වලි, ගෙදරින්
ඔව් බං ඔව් එච්චචරටම අමාරුවක් නෑනෙ ඕකෙ

------------------
හලෝ මචං!
හලො...
කොහොමද බං උඹේ රිසාස්
අහන්නවත් එපා මචං.. කොහොමද උඹ?
ඇනුණා මචං හොඳ එකෙන්ම
එහෙනං මට වගේ තමයි
හෙහ් හෙහ්
මොකද ඉතිං දැං කරන්නෙ?
ආයෙත් ට්‍රයි කරනව බං
ඔව්, බං ඔව්, මාත් ආයෙ කරන්නෝනෙ

(1988)

නොනෙළූ රෝස මල

වසත් කාලයේ - උදා හිරු නැ‍ෙඟෙද්දී
සිනාසුණි අතු පතර - ඇය සුමුදු රෝස මල
හිමිදිරියෙ අරුණැල්ල - සුමුදු මුව සිඹිද්දී
සොම්නසින් සිනාසී - සුළඟ හා රැඟුවාය

මගෙ කුටියෙ කවුළුවෙන් - නිසසලව බැලිමි මම
නෙළන්නට සිතුණ මුත් - දහස්වර මට සිතින්
කවුළුවෙන් දකින රුව - පමණෙකින් සැනසුණෙමි
ඇගෙ සොඳුරු සොබා රුව - කෙළෙසෙතැයි යන බියෙන්

තවත් නව දිනයකට - හිරු කිරණ විදිද්දී
කවුළුවෙන් බලන විට - ඇය නොමැත අතු අතර
රෝස කටු අතර මට - වේදනාවක් තබා
කවුරුදෝ හිමිදිරියෙ - මල නෙළා ගෙන ගිහින්

(1988)

යෙහෙළිය

සිතෙහි සිතුමත් ඔබය,
නෙතෙහි දසුනත් ඔබය
මිහිරි හැඟුමන් ගෙනෙන,
සුමුදු සුවඳත් ඔබය

අඳුරු දහවලෙහි පෑ,
නුඹ සුමුදු සඳ අරණ
දැවෙන සඳ හිරු රැසින්,
මට නුඹය පිළිසරණ