නෑසෙන නමුදු සිවයාතුන් දෙන මිහිරි සර
සරසවි අත වනයි මේකුළු අතර තුර
සැරසී ගෙනෙන ලෙස කව් මුතු, දිමුතු හර
පියසට පාතබමි, යළි කව් සයුරු තෙර
කවුළුවතරින් එයි, හිරිකඩ සුළඟ ඇදී
සීතල සුළඟ, සිසිලස මුළු ගතම විදී
වැසිබර රැයෙහි සුවයෙන් මුළු ලොවම නිදී
මම කව් ලියමි අවදිව, මගෙ කුටියෙ- හිදී
අඩවන් වෙලා වෙහෙසින් නිඳි වරන නෙත
පසෙකින් නිඳයි පිටු පෙරළා දැමුණ පොත
පාළුවෙ ඉකි බිඳියි තනිකම දැනුණ සිත
තනියට මගේ, පන්හිඳ තනි රකිති මිත
මැළවුණ සිතට පණදී යළි පැන් ඉහින
සිතිවිලි අතර බොඳ වී වියැකෙන සිහින
හැබැහින් දකින නෙතු අග කඳුළැලි පිහින
කෙදිනක එදින එද, මරු කතරට වහින
හිරු සඳු නැෙඟයි තරු හිනැහෙයි ගුවන අරා
කුසුමන් සැළෙයි බිඟු සැනැහෙයි එදෙස සරා
සුන්දර දියත රස ඇති දේ ඉවත පෙරා
අපි වද විඳිමු රොඩු බොඩු දෑ සිතෙහි දරා
රෑසින් නඟන හඬ නල රැල් අතර වැයේ
හෝරා යතුර නැවැතී ඇත දොළහෙ පැයේ
නිඳි දෙව් දුවට ඉතිරිය දෙමි නිහඬ රැයේ
නවතිමි සමුගනිමි, සුපතමි ඔබට පියේ
1988
No comments:
Post a Comment