• ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~නිදහසේ උපන් සිතුවිලි නිදහස්ව පළ කරනු සඳහා සයිබර් අවකාශයේ ඉදි කළ නිවහන~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Monday, March 10, 2008

පාලම ළඟ පිළිමය

පාලම ළඟ ලෑලි පෙට්ටි පැල්පත් ගොඩ මුවා කරන්
අහස උසට නැඟි පවුරෙහි සුදු පැහැයට බැබලි බැබලි,
ගඟට උඩින් ඈත බලන් බුදු හිමියන් සිනාසුණා

වැල කොකැඩී පාලම උඩ දුවන බස් වැලේ ඉඳගෙන
රේස් කොලේ බලමින් සිටි මිනිසුන්, කහ සිවුර පෙනී
හිටි අසුනින් මඳක් නැඟී, හිස නවලා වාඩි වුණා

ඉඳගන්නට තැනක් නැතිව, සීට් කොණට වාරුවෙලා
බස්රිය ගැස්සෙන වාරෙට, අමාරුවෙන් හිටගෙන හිටි
මහළු උපාසක අම්මත් සාදු සාදු යැයි කිව්වා

කාර් වලින් වැඩි මහතුන් දෑත පාන නොදරුවන්ව
නොදුටු ලෙසින් අහක බලන් දෑත් එක්කරන් වැඳලා
පිං පෙට්ටිය කට ළඟටම, කාසි වලින් ගොඩ ගැහුවා

රොන් ගන්නට මලක් හොයන් පියඹන පොඩි මී මැස්සා
බුදු හිමියන් පා මුල හිඳ, මඳ පවනට සිනා සලන
හරි ලස්සන රතුවට රතු මල් පොකුරට ඉව කෙරුවා

සුවඳක් නැති කරදහි මල් මීමැස්සට හිනා වුණා
දිලෙන ධවල පවුර උඩින් රොන් සුවඳැති මල් හොයමින්
පැල්පත්වල පියසි මතින් මී මැස්සා ඉගිල ගියා

1988

No comments: