• ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~නිදහසේ උපන් සිතුවිලි නිදහස්ව පළ කරනු සඳහා සයිබර් අවකාශයේ ඉදි කළ නිවහන~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Wednesday, May 11, 2011

නාලන්දාව අසල බෝඩිම - රෝමයේදී රෝමානුවෙකු වීමි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගම්මානයක් වූ තම්මැන්නාකුලම විදුහලේ සිට කොළඹ රාජකීය විද්‍යාලයයට ඇතුළත් වීම පිළිබඳ කතාව මම කලින් ලිපියක සඳහන් කළෙමි. හද්දා පිටිසර තම්මැන්නාකුලමේ සිට කොළඹ ආ මට විය යුතුව තිබූ පරිදිම නවාතැනක් පිළිබඳ ගැටළුව මතු ව ආයේය. රාජකීය විදුහල අවට සිසුන් නවාතැන් ගන්නා බෝඩිං තිබුණේ නැත. තිබුණත් ඒවා ගැන අපට දැන ගන්නට ක්‍රමයක්ද නොවීය. මෙහිදී පිහිටට ආයේ තාත්තාගේ විදුහල්පති සගයෙකි. චන්ද්‍රපාල අංකල් එවකට පූනෑව විදුහලේ විදුහල්පති වරයා වූ අතර, වෘත්තීය සගයෙකු වශයෙන් තාත්තා සමග ළඟින් ඇසුරු කළ අයෙකි. ඔහුගේ පුතා නාලන්දා විදුහලේ නවය පන්තියේ ඉගෙනුම ලැබූ අතර නාලන්දා විද්‍යාලය අසලම බෝඩිමක නවාතැන් ගෙන සිටියේ ය. චන්ද්‍රපාල අංකල් මේ බෝඩිම පිළිබඳ තාත්තාට සඳහන් කර එහි මා නැවැත්වීමට කටයුතු පිළියෙල කර දුන්නේ ය. ඒ බෝඩිම තිබුණේ මරදානේ පන්සල පාරට සමාන්තරව දිවෙන මරික්කාර් පෙදෙස නැමැති පටු මගෙහි ය. රාජකීය විදුහලට නොව නාලන්දයටම යන්නට පහේ පන්තිය වන තෙක්ම අදිටන් කරගෙන සිටි මම ඒ අනුව  නාලන්දාවේ මිදුලේ සිට දිනපතා රාජකීය විදුහලට යන්නට පටන් ගත්තෙමි.

මගේ බෝඩිමෙහි ඇන්ටිට පුත්තු හතර දෙනෙක්ද දුවක් ද සිටිය හ. මා එහි යන විට පුත්තු හතර දෙනාගෙන් බාලයා වූ චාමිකර මල්ලි නාලන්දා විදුහලේ, මට මතක හැටියට හතර වැනි පන්තියේ, සිසුවෙකි. අයියලා හතර දෙනාම ඔහුට වඩා බෙහෙවින් වැඩිමාල් වූ බැවින් පාසැල් ගමන අවසන් කර සිටිය හ. අද මෙන් නොව පාසැල අවට පදිංචි ළමයින්ට වැඩි අමාරුවකින් තොරව නීතියේ හැටියට පාසැල් දොර ඇරුණ යුගයක් වූ හෙයින්දෝ ඔවුන් තිදෙනාමත් අකුරු කර තිබුණේ නාලන්දාවෙහි ය.එහෙත් ඒ තිදෙනම අධ්‍යාපනය අතින් සාර්ථකත්වයක් ලබා නොතිබුණි. තෙවැනියා වූ ජානක අයියා මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහිව සිටි අතර දරුවන් කිසිවෙකුත් එවකට රැකියාවක යෙදී නොසිටිය හ. ඇන්ටිගේ එකම දුව වූ සුජිතා අක්කා එවකට ගෝතමී බාලිකාවෙහි 10 වසර ශිෂ්‍යාවකි. සාමාන්‍ය පෙළට පෙනී සිටීමෙන් අනතුරුව ඇගේ පාසැල් ගමන ද නැවතුණි.

බෝඩිමෙහි නේවාසිකයන් සංඛ්‍යාව කලින් කල වෙනස් වූ නමුත් මා එහි ගත කළ 81-85 වකවානුවේ එහි නවාතැන් ගත් සිසුන් අතරින් මාත් තව දෙදෙනෙකුත් හැර අන් සියල්ලෝම නාලන්දියයෝ වූ හ. නාලන්දියයන් නොවූ අනෙක් දෙදෙනා උසස්පෙළ සඳහා පාඩම් කිරීමට ටික කලකට එහි නැවතුණ ආනන්දයේ සිසුන් දෙදෙනෙකි.

ජානක අයියාගෙන් අපගේ සීමිත මුල්‍ය සම්පත් බේරා ගැනීම පිළිබඳ ගැටළු තිබුණේ වුවද බෝඩිමේ ජීවිතය විනෝදජනක විය. ඇතැම් දිනෙක නාලන්දා පිටියට ගොස් ක්‍රිකට් සෙල්ලම් කිරිමත් බොහෝ දිනවල සවසට කැරම් සෙල්ලම් කිරීමත් කළෙමු. මට බෝඩිමට මග පෙන්වූ චන්ද්‍රපාල අංකල්ගේ පුතා වූ ලාල් අයියා ‍එවකට වැඩිමල්ම සහ පැරණිම නේවාසිකයා වු අතර, නිරායාසයෙන්ම සියළු නේවාසිකයන්ගේ නායකයා විය. ඔහුත් සුජිතා අක්කාත් අතර පෙම් පළහිලව්වක් ද වූ නමුත් පොදු වෙබ් අඩවියක එයට අදාල රසකතාසඳහන් කිරීම සදාචාරාත්මක නොවන නිසාත්, සින්ඩි වලින් පන්නා දැමීමට පවා ඉඩ ඇති නිසාත් ඒවා ගැන කීමෙන් වැළකී සිටිමි!.

රාජකීය විදුහලේ සිසුවෙක්වූ බැවින් මට නිතරම නාලන්දියයන්ගේ වාචික අතවරයන්ට ලක්වන්නට සිදු වී තිබීම බෝඩිමේ ජීවිතය සිහිපත් කරන විට මට අමතක නොවේ. නාලන්දාවේ සිසුන් නිරන්තරවම රාජකීය විද්‍යාලය දෙස බැලුවේ ඊර්ෂ්‍යා පරවශ නෙතිනි. කෙතරම් පදනම් විරහිත ප්‍රකාශයකට වුවද පෙරළා ප්‍රතිචාර දැක්වීම කළ හැකි නොවූයේ "ජනවාර්ගික" අසමතුලිතතාවය නිසා ය. මහ ජාතිය නාලන්දීය වූ අතර මම සුළු ජාතිකයෙක් වීමි. දැන් බ්ලොග් අවකාශයෙන් අතුරුදන්ව සිටින "ටැබූ" ඔහුගේ ලිපියක සඳහන් කළ පරිදි අද රාජකීය විද්‍යාලය කොළඹ නගරයේ තවත් එක් පාසැලක් පමණක් වී ඇතත් අප පාසැල් යන කාලයේ දී රාජකීය විදුහලෙහි තත්ත්වය ඊට වෙනස් වූ බව කිව යුතු ය. එයට හේතුව යම් කාලයක රටේ දේශපාලන සහ ආර්ථික බලය හෙබවූ පන්තියක නියෝජනයක් වශයෙන් එයට හිමි ව තිබූ සංකේතාත්මක වැදගත් කමම නොවේ (රාජකීය විද්‍යාලයේ ඒ භූමිකාව වෙනම සාකච්ඡා කළ යුතු විෂයකි). ඒ කාලය වන විටත් ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ  අන් සියළුම පාසැල් තිබුණේ භෞතික සහ මානව සම්පත් අතින් රාජකීය විදුහලට පිටුපසිනි. කොළඹ ජාත්‍යාන්තර විදුහල හැරුණ කොට තවත් ජාත්‍යාන්තර පාසැල් විවෘත වෙමින් තිබූ නමුත් ඒවාට අද තිබෙන පහසුකම්වත් පිළිගැනීමවත් තිබුණේ නැත. එබැවින් ඉහළ පන්තියේ දරුවන් තවදුරටත් රාජකීය විද්‍යාලයේ පළමු වසරට ඇතුළත් කරවීමට උත්සාහ දැරුණු අතර ශිෂ්‍යත්වය සමත් සිසුන් බහුතරයකගේ පළමු තේරීම වූයේද රාජකීයයයි. එබැවින් බෝඩිමේදී මා වෙත එල්ල කෙරුණේ ලකුණු මදි වීම නිසා රාජකීය විදුහලට යන්නට බැරිව නාලන්දයට යන්නට සිදු වීම නිසා ඇති වූ ඊර්ෂ්‍යාවයැයි මම කල්පනා කරමි. නැතිනම් තමා උගන්නා පාසැල අන් විදුහල් සියල්ලට වඩා උසස්යැයි අවංකව විශ්වාස කරන කෙනෙකුට ඒ අනෙක් විදුහල්වලට ගරහන්නට හේතුවක් තිබිය නොහේ.

පාසැල් නිවාඩු  දුන් දින රාත්‍රියේ බෝඩිමෙහි "සංගීත රාත්‍රියයක්" පැවැත්වීම අපේ සම්ප්‍රදායක් ව තිබුණි. කොහු ටින් කබල් ආදියෙන් සංගීතවක් වූ අපගේ සංගීත රාත්‍රිය අවට පේළි ගෙවල්වල නේවාසිකයන්ට කර්ණ රසායනයක් වූවාට සැක නැත. එකලද අද මෙන් දුරකථන සුලබ වී නම් ඇතැම් විට පොලීසියද සංගීතය නරඹන්නට එන්නට ඉඩ තිබුණි!. අපේ මේ සංගීත රාත්‍රිය මෙන්ම අප විසින් බෝඩිමේ සංවිධානය කළ වෙනත් අවස්ථාවන්හිදී ද  අප ඒවා ආරම්භ කළේ පාසැල් ගීය ගැයීමෙනි. අවසන් කළේ ජාතික ගීයෙනි. නේවාසිකයන් බහුතරය නාලන්දීය වීම නිසා පාසැල් ගීය වශයෙන් ගැයුණේ නාලන්දා ගීයයි. ආනන්දියයන් දෙදෙනා සිටින කාලයේ ආනන්ද ගීයද ගැයු බව මතකය. මේ නිසා මට "පුන් සඳේ සිරි දිනූ රන් පුතුන්" හෝ " The School of our farthers" හෝ තරමටම ඒ දෙවිදුහලේ විදුහල් ගීද කටපාඩම් විය. එහිදී ද මට රඟ දැක්වීමට සිදු වූයේ සුළු ජාතික භූමිකාවය ! මමද ඔවුන්ගේ ගීය ඔවුන් හා එක්ව ගැයූවෙමි.

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු මම ඒ බෝඩිමෙන් සමු ගත්තෙමි. ඒ, ජානක අයියාගේ මත්ද්‍රව්‍ය භාවිතය එන්න එන්නම වැඩි වූ බැවින්, උසස්පෙළ වැනි විභාගයකට සූදානම් වීමට සුදුසු පරිසරයක් එවකට එහි නොවූ නිසාය. මෑතකදී මම වෙනත් අවශ්‍යතාවයකට නාලන්දාව අසලට ගිය විටෙක බෝඩිම ගැන විපරම් කළත් ඒ පවුල ගැන සොයා ගන්නට බැරි විය. ඒ පෙදෙස එදාට වඩා බොහෝ වෙනස් ව ඇත. ඒ බෝඩිම අද එහි නැතත්, එහිදී නාලන්දියයන් හා එක්ව සිටගෙන නාලන්දා ගීය ගැයූ හැටි උත්සවයක ගැයෙන ජාතික ගීයට සීරුවෙන් සිට ගෞරව කරන ඇතැම් අවස්ථාවක අදද මගේ සිහියට නැගේ.