• ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~නිදහසේ උපන් සිතුවිලි නිදහස්ව පළ කරනු සඳහා සයිබර් අවකාශයේ ඉදි කළ නිවහන~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Sunday, November 14, 2010

ඔයා මට ආදරෙයි

අම්මි බබාට ආදරෙයි...
බබා ටීචට ආදරෙයි....
අරයා එයා‍ට ආදරෙයි...
මම ඔයාට ආදරෙයි...
.....ආදරෙයි..
....

හැමෝම කාට හරි ආදරෙයි. හැමෝටම කවුරුහරි ආදරෙයි...එහෙමද? එහෙම නෙවෙයි නේද?
කාටවත් ආදරේ නැති අයත් ඉන්නවා... කවුරුන්ගෙන්වත් ආදරේ නොලබන අයත් ඉන්නවා.
ආදරේවගෙ පෙන්නුවාට ආදරේ නැති අයත් ඉන්නවා...ආදරේ නෑ වගෙ පෙනුනාට ඇත්තටම ආදරේ කරන අයත් ඉන්නවා. ආදරේ නැති වුණාට ආදරේ වගේ පෙන්නන්න වෙලා තියෙන අය...ආදරේ වුණාට ඒ බව පෙන්නන්න බැරි අය.. ඒ ගොල්ලත් ඔය අතරෙ ඉන්නවා..

බබා තාත්තිට ද අම්මිට ද වැඩිය ආදරේ?....අම්මිට..
අම්මිට?... අම්මිට කොච්චර ආදරේද?...
ම්..ම්.............
ආදරේ මනින්න මිමි හොයන්න ගිහින් පොඩි එකා පොඩි කාලෙදිම අමාරුවෙ වැටෙනවා..

අම්මිට මෙන්න මෙච්චරාක් ආදරේ....පුලුවන් තරම් අත් දෙක විහිදුවලා ගොඩාක් ආදරේ බව පෙන්නන්න පොඩි එකා හදන්නේ..

ලොකු වුණාමත් ආදරේ මනින්න ඒ මිම්ම හරි යයි ද? බැලුමක් පුලුවන් තරම් පුම්බලා මෙන්න මෙච්චරාක් කියල පෙන්නුවොත් කොහොමද? ඒ වුණාට වැඩියෙන් පිම්බුණාම බැලුම් ඉක්මනට පිපිරෙනවා... කොච්චර තදින් කට ගැටගැහුවත් ටික දවසක් යන කොට හුළං බහිනවා... විකාර... බැලුම් වලින් කොහොමද ආදරේ මනින්නේ? මගේ ආදරේ නම් මහා මේරුව වගේ..

මහා මේරුව ඒක කොහෙද තියෙන්නේ.. ඒක මොන වගේ එකක්ද?..

ආ.. ඇත්ත තමයි.. එහෙම එකක් නැහැනේ.. ඒක තියෙන්නේ පොත් වල විතරයි.. එතකොට ආදරේ තියෙන්නෙත් පොතේ විතරද?

නෑ.. නෑ ආදරේ ඇත්තටම තියෙනවා... මේ මා ළඟ තියෙන්නේ...

කෝ.. පෙන්නන්න ඔයා ළඟ තියෙන ආදරේ...

ඔයාට පෙනෙන්නෙ නැහැ ආදරේ... බලන්න ඉල්ලන්න එපා ආදරේ.. මනින්න හදන්න එපා ආදරේ...

ආදරේ දැනෙන දෙයක්... ආදරේ සුවඳ.. ආදරේ දිග..පළල..ආදරේ බර.. හදවතටයි දැනෙන්නේ..

ඉල්ලන්න එපා ආදරේ... ඉල්ලුවාට ලැබෙන්නෙ නහැ ආදරේ.. ආදරේ දුන්නම ආදරේ ලැබෙයි..මනින්න බැරි, හදවතට බර දැනෙන ආදරේ..

ආදරේ... ලොව හඬවන ආදරේ...
ආදරේ ... ලොව නලවන ආදරේ...

ඉතින්... බොරුවක් නොවෙයි..

බබා..අම්මිට ආදරෙයි...
ටීච බබාට ආදරෙයි....
එයා අරයට ආදරෙයි...
ඔයා....මට ආදරෙයි...

Friday, August 20, 2010

අනුන්ගේ සීනි තමන්ගේ තරාදියෙන් කිරා දීම

වරක් මගේ මිත්‍රයෙක් පුහුණුවක් සඳහා ජර්මනියට ගියේ ය. එහිදී , පුහුණුව දුන් ආයතනයෙන් පිරිනැමූ භෝජන සංග්‍රහයකට සහභාගිවන අතරතුර, මගේ මිත්‍රයා ලංකාවෙන්  පැමිණි අයකු බව දැන ගත් ඒ ජර්මානු ආයතනයේ සේවය කරන අයෙක් තමාත් ලාංකිකයකුව උපත ලද බවත්, කුඩා කල ජර්මන් ජාතික යුවලක් විසින් හදා වඩා ගැනීමට ජර්මනියට ගෙන එනු ලැබූ බවත් මා මිත්‍රයාට පැවසීලු.  ඔහු එසේ පවසන තෙක් ඔහු හා භෝජන සංග්‍රහයට සහභාගි ව සිටි, දිගු කලක් තිස්සේ එකම කාර්යාලයේ වැඩ කළ ඔහුගේ සගයන්වත් ඒ බැව් දැන සිට නැත. මේ කතාව මා හා පැවසූ මගේ මිත්‍රයා කීවේ ලංකාවෙ එහෙම වුනානම් කොහොමද මචං කියා ය. ඇත්තටම ලංකාවේ කාර්යාලයක වැඩට අද අළුතෙන් කෙනෙක් ආවොත් හෙට වෙන විට ඔහුගේ නම- ගම, ඉගෙනගත් ඉස්කෝලය, අම්මාගේ තාත්තාගේ නම් ගම්, රැකියාව, කුලය, අයියලා නංගිලා ඉන්නවද, ඔවුන් විවාහක ද, දරුවන් සිටීද ආදී එකී නොකී හැම විස්තරයක්ම කාර්යාලයේ අනික් අය සොයා දැනගෙන අවසන් ය. ඉනුත් නොනැවතී කලින් වැඩ කළ තැන් වල අය සහ දන්නා අඳුනන අය මගින් ඒ විස්තර වල සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගන්නට තරම් උනන්දු වන අය ද හිඟ නො වේ.

අපේ මිනිස්සු අනුන්ගේ කටයුතු ගැන සොයා බැලීමට සූරයෝ ය. තමන්ගේ කටයුතු තිබියදී  අනුන්ගේ කටයුතු ගැන ගැන සොයා  බැලීමට ඔවුනට ඇති තරම් කාලය ඇත. තමන් නොපිළිපදින වැදි බණ අනුන්ට දෙසීමට ද, අනුන්ගේ පවුල් ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න ගැන අනාරාධිතව සොයා බැලීමටද ඔවුනට එපමණම කාලය තිබේ.

කාර්යාලයක තරුණියක විවාහ නොවී සිටින්නේ නම් ඇය විවාහ වන තෙක් ඔවුනට  ඇයගේ අම්මාට හා තාත්තාටවත් නැති කැක්කුමක් ඇත. උදේටත්, දවාලටත්, හවසටත්, බස්එකේ දී මුණ ගැහුණත් ඇගෙන් අහන්නේ දැන් ඉතින් කාලෙ හරි නේද? කවදද අපිට කේක් දෙන්නේ කියා ය. මේ මළ කරදරයෙන් මිදෙන්නට නම් තමන් කැමති වුණත් නැතත් ඈ මොකෙක් හරි මි‍නිහෙක් එක්ක විවාහ විය යුතුම වේ. එහෙම නො‍කළොත් ඇයට වුරුදු 35 -40 ලබන විට අර මුලදී මූණටප්‍රශ්න ඇසූ කාණ්ඩය  මුළු මුළු වල, දී කැන්ටිමේ දී රැස්  වූ විට ඇයට රහසින් මේ බරපතල අන්තර්ජාතික ගැටළුව සාකච්ඡාවට භාජනය කරන්නට පටන් ගනිති.

කොහොමින් කොහොම හෝ ඒ තරුණිය විවාහ වූවොත්එ යින් අවුරුද්දක් ගත වන විට ම මේ අසල්වැසි කොමියුනිටියේ දැවෙන ප්‍රශ්නය වන්නේ ඇගේ පළමු බබා පිළිසිඳගැනීමයි. "තාම නැද්ද...." කියා උදේත්, දවලුත්,  හවසත් අහන්නට පටන් ගනිති. දැන් ඉතින් තමන් කැමති වුණත් නැතත්, තමනට කෙතරම් පෞද්ගලික දුෂ්කරතා තිබුණත් මොවුන්ගේ කරදරයෙන් ගැලවීමට කොහොම හරි දරුවෙක් හදා ගත යුතු වේ. ඊට පසු දරුවා බලා ගැනීමට, ලෙඩට දුකට බැලීමට, මොන්ටිසෝරි යැවීමට, ඉස්කෝලෙ දැමීමට ආදී වශයෙන් මිලියනයකුත් එකක් ප්‍රශ්න ඇති වුණත් බබා පිළිසිඳගන්නකම් ඇලපතට ඇන ඇන දින ගනිමින් සිටි අර උන්දැලාගෙන් කවරෙක්වත් අබ මල් රේණුවක තරමින් හෝ ඒවාට පිහිටක්  වුණොත් නම් ඒ ලෝක පුදුමයකි. ඔවුන්කළොත් කරන එකම දෙයනම්, බබාට මාස තුනක් පමණ වන විට කීයක් හෝ කලෙක්ෂන් එකක් දා ගෙන බේබ් සෝප්, පවුඩර් පැක් එකක් මිලට ගෙන කට්ටියම බබා බැලීමට යාමය. ඉපදී ටික කලක් යන තෙක් කොයි ළදරුවාත් පෙනුමින් බොහෝදුරට එක වගේ වුණත් තොටිල්ලේ නිදන පොඩි එකාගේ මූණ හරියට දකින්නත් කලින්ම හානේ තාත්තා වගේමයි කියමින් කාමරයට ඇතුළු වන ඒ නඩය දරුවාගේ නහය, ඇස් දෙක, කන් දෙක සහ කට අම්මාටත් තාත්තාටත් බෙදා දී පසුදා කාර්යාලයට ඇව්ත් රහස්‍ය යාකච්ඡාවක් තබා ප්‍රසිද්ධියට පත් කරන්නේ අපොයි පොඩි එකා කලුම කලුයි මිනිහගේ පාටක්නම් ගෑවිලාවත් නෑ කියා ය.

කාර්යාලයේ පිරිමියෙක් ගෑනියෙක් එක්ක ටිකක් වැඩිපුර කතා කළොත් අසල්වැසි කොමියුනිටියට වැඩ වැඩි වේ. කතා කරන වෙලාව වාර ගණන ගැන ලොග් සටහන් තැබීමටත් හොරෙන් කන් දික් කරගෙන අහන් ඉඳීමටත්, තම තමන් අතර අප්‍රමාදව ඒ තොරතුරු හුවමාරු කර ගැනීමටත් සිය රාජකාරි කටයුතු පසෙක ලා වහා කැප වෙති. ඒ දෙදෙනා විවාහකයන් නම් ඔවුන් අතර නොමනා සම්බන්ධයක් ඇති වුණොත් දරුමල්ලන්ට යන කල දසාව ගැන ඔවුන්ගේ විවාහක කලත්‍රයන්ටත් වඩා මේ කොමියුනිටිය දැඩි ලෙස අකම්පාල වෙති. සැබෑවටම පිහිටක් අවශ්‍ය කෙනෙකුට රුපියල් සියයකින්වත් උදවුවක් දීමට සිදු වුණොත් ඇඟිලි ඇට කඩමින් පැත්තකට වන නමුත් මේ වන්නට යන මහා සමාජ අපචාරය වළකාලීම  පිණිස වූ සත් කාර්යයයේ දී නම් අතින් හාෆ් ඩේ දාගෙන, පෙට්‍රල් පුච්චගෙන, ටෙලිෆෝන් බිල් දරාගෙන  ඉදිරිපත් වෙති. එහෙත්, මේ සමාජ ශෝධකයන් සියල්ලන්ගේමත් කිල්ලෝට ඇර බැලුවොත් ටික ටික නොව සමහර විට කට ළඟට පිරෙන්නට ම හුණු තිබේ. බොහෝ විට මොවුන්ගේ හවුල් ව්‍යාපාරයේ අවසාන ප්‍රතිඵලය වන්නේ ඇත්තටම නොතිබූ ප්‍රශ්නයක් ඇති වී ජීවිත ගණනක් අඳුරට වැටීම පමණි.

අපේ සමාජයේ පවත්නා මේ අනුන්ගේ වැඩ වලට බුලත් නොලබාම හොට දැමීමේ ගුණය නිසා අවුල් වු ජීවිත ගැන කවුරුන් හෝ සංගණනයක් කර තිබේ දැයි නොදනිමි. කළොත් ප්‍රතිඵල වන සංඛ්‍යාව නම් සුළු විය නොහැක. වඩාත් කණගාටුවට කරුණ නම් මේ හොට දමන්නන්ගෙන් බහුතරය අනුන් කළ නොකළ දේ සෙවීම නොව තමා කළ නොකළ දේ සෙවීම ම වඩා වැදගත් බව දේශනා කළ ශ්‍රේෂ්ට ශාස්තෘවරයෙකුගේ අනුගාමිකයන්යැයි කියාගන්නා උදවිය වීමයි. අපේ සමාජයේ සුලබව සිටින මෙවැන්නන් උපහාසයට ලක් කරමින් ෆ්‍රෙඩී සිල්වා ගැයූ ගීයෙහි දී, තමන්ගේ නැටුමට අනවශ්‍ය ලෙස හොට දැමූ කෑඳැත්තාගේ බෙල්ලෙන් අල්ලා සෙලවූ පාන්කිරිත්තා ඌට පවසන ‍වැකියෙන් මේ  කෙටි සටහන අවසන් කරමි. "අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර කර ඉන්නවට වඩා - තමන් දන්නදේ හරියට කරපන් කියලා කීය හඩා"

එසේම, .සමාජයේ ප්‍රගමනය උදෙසා අපගේ සමාජයේ කෑඳැති ප්‍රතිපත්තිය පිළිබඳ කතිකාවතක් ඇති වීම කාලෝචිත යැයි ද සිතමි.

Tuesday, July 27, 2010

පරම්පරා පරතරය

අද අප ජීවත්වන්නේ තාක්ෂණික මෙවලම් වලින් ගහණ වටපිටාවක ය. පරිගණක, ජංගම දුරකථන,ඩිජිටල් ශබ්ද උපකරණ, ලේසර් උපකරණ, ආදී මෙකී නොකී තාක්ෂණික මෙවලම් අටෝරාසියකින් අපේ පරිසරය පිරී තිබේ. අපේ කුඩාවුන් බ‍හ තෝරන්නේ මේ වටපිටාවේ ය. පරම්පරා පරතරය යනු කුමක්දැයි මම දැන් දැන් අත්දැකීමෙන්ම වටහා ගනිමින් සිටිමි. මෙයට වසර 25 කට පමණ පෙර , පාසැල් දරුවෙකු වශයෙන් සිටි කාලයේ මා කොළඹ  නවාතැනට හැරලූ පසු මගේ දුක සැප දැන ගන්නට මගේ දෙමාපියනට සතියක් බලාපොරොත්තුවෙන් ඉන්නට සිදු විය. ඒ මා විසින් සිරිත් පරිදි සතිපතා යවන ලියමන ඔවුන් අතට පත් වන තුරු ය. මැදවච්චියෙනුත් සැතපුම් 12 ක් පමණ එපිටින් විසූ ඔවුනට කොළඹින් තැපැල් කරන ලිපියක් ලැබීමට ඒ කාලයේ සතියකට ආසන්න කාලයක් ගත වූ බැවිනි. මේ කතාව මගේ කුඩා පුතුට නම් සුරංගනා කතාවක් වැනි ය. දිනකට කිහිප වතාවක් ආච්චිටත් මාමලාටත් දුරකථනයෙන් කතා කරන ඔහු දුර බැහැර සිටින ඔවුන්ගේ පින්තූර දුරකථනයෙන් නරඹයි. විදේශයන්හි සිටින මිතුරන් හා මා පරිගණකයෙන් කතා කරනු දැක්ම ඔහුට අරුමයක් නොවේ. එබැවින් සුවදුක් දැනගන්නට සතියක් බලා සිටි අපේ අම්මලා තාත්තලාගේ කාලය ඔහුගේ සහ ඔහුගේ පරපුරේ සගයන්ගෙන් ඉතා දුරස්තර ය. තාත්තා බසයෙන් පාසැල් ගිය බව අදහා ගැනීමට ඔහුට තාමත් නොපුළුවන. තාත්තාට කාර් එකක් තිබුණේ නැද්දැයි ඔහු කිහිප වතාවක් විමසන්නේ එබැවිනි. ඔහුව හැරලීමට දිනපතා පාසැල අසලට යන මට ද ඒ කාලයේ මාර ගස් සෙවණේ එක පෙළට සීරුවට ගමන් කළ මගම පාසැල් බස් රිය පෙළ දැකීමට නොලැබේ. ඒ වෙනුවට පළල් පාර එක වාහන පෙළකට පමණක් සීමා කරමින් ඇඟිල්ලක් ගැසීමට ඉඩ නැතිවන අයුරින් මෝටර් රථ සහ පාසැල් වෑන් රථ නවතා ඇත.

පරිගණක සිය ගණනකින් සමන්විත ප්‍රාථමික අංශයේ පරිගණක විද්‍යාගාරය දකින විට එදා උසස්පෙළ සිසුන් ලෙස සින්ක්ලෙයාර් පරිගණක තුනකින් සහ අයි.බී.එම් පරිගණකයකින් පමණක් සමන්විත වූ එකම පරිගණක විද්‍යාගාරයේ පරිගණක "අ" යන්න කියැවූ හැටි සිහිනයක් සේ මතකයට නැගෙයි. කැසට් රෙකෝඩරයක ආධාරයෙන් "බූට්" කළ ඒ සින්ක්ලෙයාර් පරිගණකයක් දුටුවොත් මේ දරුවන් එය සෙල්ලම් කිරීමටවත් නොගන්නවා ඇත.

දෙවැනි ශ්‍රේණියේ උගන්නා මා පුතු මධු මාධව අරවින්දගේ "ළඹ සවන් රන් පටින්" ගීතයට ඉතා කැමති ය. යූ ටියුබ් හි තිබී මවිසින් බාගත් එම ගීතයේ දෘශ්‍ය පටයද ඔහුගේ සිත් ගෙන ඇත. (එහි දර්ශන "Little Buddha" චිත්‍රපටයෙන් උපුටාගෙන සංස්කරණය කළ ඒවා ය). මේ ගීතය ඔහු කියනු ඇසූ ඔහුගේ පන්තියේ හොඳම යහළුවා එහි සී.ඩී එක දෙන්න බැරිදැයි ඔහුගෙන් ඇසී ලු! නොබෝ දිනකින් ඔහු පෙන් එකක් ගෙනවුත් දී ගීතය ඊට කොපි කර දෙන්නැයි ඉල්ලන්නටත් බැරි නැත! අපේ ළමා ලෝකයත් අපේ දරුවන්ගේ ළමා ලෝකයත් අතර මේ පරතරය වටහා ගන්නා විට මම තිගැස්සෙමි. අප කුඩා කාලයේ සිරිපා සමය සමග සමනලුන් රෑන් රෑන් වැල නොකැඩී අප පසුකර පියඹා යනු අප බලා සිටියෙමු. එහෙත්, මගේ පුතුට පෙන්වීමට සමනළයෙකු  සොයා ගැනීමට මට දැන් මහත් වෙහෙසක් ගැනීමට සිදුව ඇත. මේ දරුවන් වැඩෙන්නේ සමනලුන් මාලුපැටවුන් සමග අප ගත කළ ලෝකයට මහත් සේ වෙනස් වු ලෝකයක ය යන වැටහීම සමග ඔවුන්ගේ ඒ ලෝකයේ අප නොදකින අපට වටහා ගැනීමට බැරි දහසක් දේ තිබීමට හැකිය යන අදහස ඉහත තිගැස්මට හේතුව සේ මම දකිමි. අන්තර්ජාලයේ සැරිසරන විට දකින පාසැල් දරුවන්ගේ ඇතැම් වීඩියෝ පට ද ඒ තිගැස්මට පොහොරකි.

මා මේ අත්දකින්නේ මේ සදාකාලිකව පැවත එන පරම්පරා පරතරයේ මගේ යුගය ද? නැතිනම් අපි කලියුගයට පා තබමින් සිටින්නෙමු ද? හරි හැටි වටහා ගැනීමට නොහැකි ව මම අතරමං වෙමි.

Sunday, July 18, 2010

මගේ ආලය

(මෙය අන්තර්ජාලයේ සංසරණය වන කවියක සිංහල අනුවාදයයි )

පළමුවරට,
සිටි තැනම මා සිරකළේ,
ඔබේ දෙනයන යි

මගේ දිවියම එළි කළේ ,
හිරුත් මුසපත්කළා වූ,
ඔබේ සිනහවයි

කඳු අතරින් ගලන දිදුලන දියදහරක් සේ,
මගේ හදට ඇදහැළුනේ,
ඔබේ කටහඬයි

ඔබේ ඇවිදිනවිට,
ගමනෙහි ලාලිත්‍යයට,
මට හුස්ම හෙළන්නත් අමතක විය

ඔබ මවෙත නැඹුරු වූ කල,
මගේ මුහුණ වැසුණි,
මා සිහින දුටු,
ඔබේ වරලසින්

ඔබේ අතැඟිලි අග,
මුදු පහස,
මගේ මුහුණෙහි දැනෙන්නට,
ඉතා ආශා කළෙමි මම

ඔබේ උණුසුමට මා ඇදගනිද්දී,
ඔබේ දෑත්,
මගේ ගෙල වට එතෙනු දැක්මට,
මම පුල පුලා සිටියෙමි

එ  හැමට වැඩියෙන්,
ඔබේ ඒ හැම දේ,
ම‍ගේ දිවි මඟ වෙනස් කර ඇත

මම, ඔබට ආලය කරමි
මම, නිතොරවම ඔබ ගැන සිතමි

කරුණාවන්ත මිහිරිය,
ඔබත් සිහි කරන්නේ ද මා,
මොහොතකටවත්?

ඔබ වත මා සිත තුළය,
ඔබෙ හඬ මා සවනත ය,
මේ වසර කීපයේ දී වත්,
මම ඔබ හඳුනාගත්තෙමැයි මම සිතමි

නින්ද නොම එයි මවෙත,
හැම රැයෙකම මට ඇති පැනයනම්,
මගේ සිත සිටින පළමුවැන්නා ඔබ ද?
එය එසේ නොවෙයිනම්, ඔබ දෙවැන්නා මය

මනෙතට ඔබ පෙනෙයි,
කවදා හෝ විකසිත වෙතැයි,
මා පතන ආලයක් වෙනුවෙන්,
මහද රිදුම් දෙයි

මිතුරන්ට පෙම්වතුන් විය හැකියැයි කීවෝ කවරහු ද?
කුමක් සිතුවෝද ඔවුන්?
මගේ පෙම් හද පොබයාද,බි‍ඳේවි ද?
එය බිඳෙයි

මම පසුබාමි,
මම බිය වෙමි,
මගේ මුළු දිවියම දැන්,
එකම රඟමඬලකි

එහි ආඛෘනයෙන් ආඛ්‍යානයට,
දැක්මෙන් දැක්මට,
මා ඔබට ආලය කරන්නේ ඇයි?
කියන්නෙමි මම ඔබට

ඔබ මවෙත සිටින විට,
ඇය ගැන ද සිහිවෙයි මට,
ඔබ සමග ඇයද නොවීනම් යැයි,
මට දැඩි ලෙස සිතෙයි

යුවලකගේ සුන්දර ලොවට,
ගරු කරමි මම,
එහෙත් ඔබට යන්තම්වත් නොපෙනෙන,
මා වැනි නොවැදගතුනට එහි මොන ඉඩ ද?

ඔබ මගේ මිතුරිය නම්,
මා ඔබේ ය
කල් යත් යත්ම
ඔබේ ඇසුරින් මම පිරිපුන් වෙමි

ඔබට එවදන් තෙපළන්නට,
ඒ සිව් වදන තෙපළන්නට,
මහත් සේ දුෂ්කර ය මට

සන්සුන් වේද ඔබ?
වෛර කරන්නේද ඔබ මට?
මිතුරිය වේද ඔබ මට?

ආලය සමඟ රාගයද ඇත,
මම ඔබට ලොල් වෙමි,
මමඔබට ආලය කරමි

ඔබත් සිතාවිද එසේ?

(මෙය අන්තර්ජාලයේ සංසරණය වන කවියක සිංහල අනුවාදයයි )

Sunday, April 18, 2010

නායකත්වයේ ලක්ෂණ-බුදුන් වහන්සේ ඇසුරින් විමසීමක්

නායකයෙකු සතු විය යුතු ගුණාංග මොනවාද? මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ අදහස් දරනවා නොඅනුමානයි. එහෙත් ඒ පිළිබඳ පරිසමාප්ත අර්ථකතනයක් ඇතිකර ගැනීම ඉදිරි ඉලක්කයක් ලෙස තබාගෙන සියළු දෙනාට පිළිගත හැකි මූලික කාරණා ගැන සළකා බැලීමක් කිරීමටයි මේ අවස්ථාවේ මා අදහස් කරනුයේ. ඒ තුළින් අප එදිනෙදා දකින නායකයන් ගැන අපට යම් මිණුමක් ඇති කර ගන්නට හැකි වනවා වගේම, අපත් අපේ මට්ටමේදී කෙතරම් දුරකට නායකත්වය දැරීමට සුදුසුකම් දරන්නේද යන්න ගැන ස්වයං ඇගයුමක් ඇති කර ගැනීමටත් එය ඉවහල් වනවා ඇති.

මෙහිදී මාගේ අවධානය යොමු කරන්නේඅපේ සංස්කෘතිය තුළ ඉමහත් ගෞරවයට පත් නායකයකු වන්නේ ගෞතම බුදුන් වහන්යේ කෙරෙහියි. උන්වහන්සේ ඉතා දීර්ඝ කාලයක් නොනැසී පැවතීමට සමත් දර්ශනයක් බිහි කළාක් මෙන්ම එය පවත්වාගෙන යාමට අති විශාල අනුගාමිකයන් සංඛ්‍යාවකුත් බිහි කළා. අතීත ඉන්දියාවේ කුඩා ප්‍රාන්ත රාජ්‍යක පාලකයකුගේ පුතකු ලෙස උපන් බුදුන්වහන්සේ ට, ලොව පුරා මිලියන ගණනක් ජනතාවගේ හදවත් දිනා ගනිමින් ශත වර්ශ 25 කට අධික කාලයක් පැවතීමට සමත් ව ඇති මෙවැනි සංස්ථාවක් බිහි කිරීමට උපකාරී වූවා වූ උන්වහන්සේ සතු ව පැවති නායකත්ත්ව ලක්ෂණ කවරේද?

පළමුකොටම බුදුන්වහන්සේ සතු වූ දර්ශනය; උන්වහන්සේ සතුව පැහැදිළි, අව්‍යාකූල දර්ශනයක් පැවතුණි.කරුණාව සහ අහිංසාව පදනම් කර ගෙන ගොඩ නැගුණ ඒ දර්ශනය තුළට සියළු දෙනා ආකර්ශනය කර ගැනීමට බුදුන් වහන්සේ සමත් වුණා. තමන් සතු පැහැදිළි දර්ශනයක් තිබීම මෙන්ම එය තමා‍ගේ අනුගාමිකයන්ගේ සුබසිද්ධියට හේතු නොවන එකක් නොවීම ඒ අනුව නායකයකු සතු විය යුතු ලක්ෂණයක්. එසේම සිය දර්ශනය සම්බන්ධයෙන් තමන් තුළ නිරාකූල අවබෝධයක් ඇති නායකයා ඒ මත පදනම්ව ඉලක්කයක් කරා සිය අනුගාමිකයන් මෙහෙය වීමට සමත් වනවා ඇති.

දෙවනුව බුදුන්වහන්සේ සතුව ආදර්ශවත් චරිතයක් තිබුණි. තම අනුගාමිකයන්ට දේශනා කළ ධර්මය තුළ උන්වහන්සේද හැම විටම හැසුරුණ නිසා අනුගාමිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට උන්වහන්සේට හැකි වුණා. මෙම විශ්වාසය පළුදු කිරීමට විරුද්ධවාදීන් ඇතැම් විට කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කළ අවස්ථාවන්හිදීත්, එම උත්සායන් අසාර්ථක වූයේ උන්වහන්සේ සිය ආදර්ශවත් භාවය නිකැළැල්ව පවත්වාගත් හෙයින්. මෙයද නායකයකුට පිහිටිය යුතු ලක්ෂණයක් ලෙස දැක්විය හැකියි. වැදි බණ දෙසන නායකයකුගේ ඒ වැදි බණ යම් මොහොතක හෙළිදරව් වූ විට ඔහු පිළිබඳ විශ්වාසය අනුගාමිකයන් තුළින් ගිලිහෙනවා පමණක් නොව ඔවුන්ගේ ගෞරවය ඔහුට ඉන් පසු හිමි නොවීම නිසා අනුගාමිකයන් පාලනය කිරීමද අසීරු වනු ඇති.

තෙවනුව උන්වහන්සේ සතුව පැවති අපක්ෂපාතී බව උන්වහන්සේට සියළු දෙනාගේ විශ්වාසය සහ ගෞරවය දිනා දීමට සමත් වුණා. ඒ අපක්ෂපාතබව නිසාම සිය අනුගාමිකයන් අතර ගැටළුවක් ඇති වූ විට එයට මැදහත්ව එය විසඳීමට උන්වහන්සේට හැකියාව පැවතුණා. නායකයා සිය අනුගාමිකයන් අතරින් යම් කෙනෙකුට හෝ පිරිසකට වඩා පක්ෂපාත බවක් ඇල්මක් දැක්වීම අනුගාමිකයන් අතර බෙදීම් සහ නොසන්සුන්තාවයන් ඇති වීමට හේතු වනවා පමණක් නොව, නායකයා කෙරෙහි ඔවුන්ගේ ගෞරවය නැතිව යාමට ද එය හේතු වනවා. ඇතැම් විට ඔහුගේපක්ෂපාතීත්වය හිමිවන්නන් අතර පවා ඔහුගේ ප්‍රතිරූපය පිරිහෙන්නට එය හේතු විය හැකියි.

සිව්වනුව බුදුන්වහන්සේ හොඳ මානව සම්පත් කළමනාකරුවක් වුණා. සිය අනුගාමිකයන් ඔවුන්ගේ චරිත ලක්ෂණ අනුව වර්ග කළ උන්වහන්සේ ඒ ඒ පුද්ගලයාට කාර්යයන් පැවරුවේ ඔහුගේ චරිත ස්වභාවයට ගැලපෙන ලෙසයි. සිය අනුගාමිකයන්ගේ චරිත ලක්ෂණ මෙන්ම ඔවුන්ගේ දක්ෂතා සහ අදක්ෂතා නිසිලෙස හඳුනා‍ගැනීමට නායකයකුට හැකි විය යුතුමයි. එසේ කළ යුත්තේ අදක්ෂතා ඉස්මතු කොට ඔවුන්ට ගැරහීමට නොව හඳුනාගත් දක්ෂතා මත සුදුස්සාට සුදුසු කාර්යය පැවරීමටත්, දක්ෂතා ඇගයීම තුළින් දිරිගැන්වීමටත් නිසි මග පෙන්වීම තුළින් හඳුනාගත් දුර්වලතා මග හරවා ගැනීමටත් එයින් හැකියාව ලද හැකි බැවින්.

පස්වනුව, බුදුන්වහන්සේ සිය අනුගාමිකයන්ට මනා ආරක්ෂකයෙක් වුණා. අනුගාමිකයන් අනතුරකට හෙළනු වෙනුවට අනතුර ඉදිරියට තමාම වැඩම කිරිම උන්වහන්සේ කළා. මෙයද හොඳ නායකයකු සතු විය යුතු වැදගත් ගුණාංගයක්. අනුගාමිකයන් විසින් යමක් මනා කොට ඉටු වූ විට එහි ගෞරවය ලබා ගැනීමට තමා ඉදිරිපත්ව, ඔවුන් අතින් යමක් වැරදී ගිය විට මම නොවෙයි එය කළේ මොවුන්යැයි සිය අනුගාමිකයන් බිල්ලට දී ඇඟ බේරා ගන්නා තැනැත්තාට අනුගාමිකයන්ගේ පමණක් නොව ඉහළ බලධාරීන්ගේද පිළිකුළ ‍හිමි විය හැකියි.

අවසාන වශයෙන් බුදුන්වහන්සේ සිය අනුගාමිකවයනට පෙන්වූයේ නිවැරදි මාර්ගයයි. සිය අනුගාමිකයන්ට නිවැරදි මාර්ගය පෙන්වා දීමට සමත් නොවන නායකයෙක් එමගින් සිය අනුගාමිකයන් අනතුරට හෙළනවා පමණක් නොව අවසානයේ තමාමත් අනතුරට හෙළා ගන්නවා ඇති.

බුදුන්වහන්සේ සතු වූ එම නායකත්ව ලක්ෂණ නිසායි උනවහන්සේ ශත වර්ෂ 25කට පසුව අදටත් මිලියන ගණනාවක් ජනතාවගේ ගෞරවාදරයට පත්ව සිටින්නේ.

ඉතින්, අප සහ අපගේ ආයතනයන්හි අපේ නායකයන් තුළත් කොපමණ දුරට මේ නායකත්ව ලක්ෂණ තිබෙනවාද? ඒ ඒ පුද්ගලයන් සතුව පවතින ජනප්‍රියතාව සහ ඉහත කී නායකත්ව ලක්ෂණ ඔවුන්තුළ විද්‍යමාන වන ප්‍රමාණය සසඳා බැලීම එක් අතකට සිත්ගන්නාසුළු ව්‍යායාමයක් ද විය හැකියි. එසේම, මෙම ලක්ෂණයන්ට එහැමපිටින්ම ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ඔබේ ප්‍රධානියා ප්‍රකට කරනවානම් එය ඔහුගේ, ඔබේ, ඔබ ආයතනයේ මතු නොව සමස්ත සමාජයේම අර්බුදයක්, අවාසනාවක් බවට පත්වනවා ඇති. එහි ඇති වඩාම අවාසනාවන්ත කාරණය වන්නේ එවැනි නායකයන් යටතේ බිහිවන්නේත් ඔවුන් වැනිම නායකයන් වීමයි. එය එසේ වුවහොත් එය සමස්ත ජාතියේම අවාසනාවේ විෂම චක්‍රයක් වනවා ඇති.

නායකයන් සතු විය යුතු මනා ගුණාංග ගැන හුදී ජනයාගේ නිවැරදි අවබෝධය වැදගත් වන්නේ එහිදීයි.

(මෙය ලිවීමේදී ගෞරවාර්හ සෝභිත හිමියන්ගේ Buddha as a leader ලිපිය උපකාරී වුණා)

Monday, April 12, 2010

සේවා ස්ථානයේ සිදුවන ලිංගික අතවර | Sexual Harressment at workplace

සේවා ස්ථානයේ සිදුවන ලිංගික අතවර ගැන යමක් ලියන්න මම අදහස් කළේ ඇත්තටම එදිනෙදා දකින්නට සිදුවන ඒ ආකාරයේ සිද්ධි දාමයක් නිසා ඇති වුණ පිළිකුලත්, ඒ ගැන යමක් කරන්න තියෙන ප්‍රායෝගික දුෂ්කරතා නිසා ඇති ව තිබෙන මානසික පීඩනයත් නිසා බව මුලින්ම කිව යුතුයි. මේක බල්ලාගෙ වැඩේ බූරුවා කිරීමක් වගේ යමෙකුට පේන්න හැකි වුණත්, කළ යුතු බල්ලා තමන්ගේ කාරිය නොකරන කොට, ඊටත් වඩා තමන් නොකළ යුතු දේ කරන කොට පිට හරහට පොලු පාර වදින බව දැන දැනත් සමහර විට බූරුවට කට අරින්නෙ නැතිව ඉන්න බැරිවෙන වෙලාවල් එන්න පුළුවන්. මේක ත් සාමාන්‍යයෙන් අපේ සමාජයේ වැඩිය කතා නොකරන මාතෘකාවක් වුණත්, සාමාන්‍යයෙන් කතා නොකරන දේවල් ගැනම කතා කරන ටැබූ ත් මේ මාතෘකාව ගැන කතා නොකරන්නේ මොකද කියන එක මට ගැටළුවක්. අපේ සමාජයේ මේ ගැන වැඩිය කතා නොකරන්න එක හේතුවක් නම් වැඩි දෙනෙක් ගාව කිල්ලෝට තිබීමත්, එයින් බොහොමයක් කිල්ලෝට වල ටික ටික නමුත් හුණු තිබීමත් විදියටයි මම දකින්නේ.

සේවා ස්ථානයේ සිදුවන ලිංගික අතවර වැළැක්වීමට අදාලව අපේ රටේ විශාල සංඛ්‍යාවක් නීති රීති තියෙන බව මේ ගැන ටිකක් හොයල බැලුවොත් දැන ගන්න ලැබෙනවා. මේ කාරණය විශේෂ කොට ම අපරාධ නීතිය යටතට ගැනෙන, දකුණු ආසියාවේ ඇති එකම රටත් ශ්‍රී ලංකාව බවයි කියන්නේ.එහෙනම් මේ රටේ කාන්තාවන්ට සේවා ස්ථානයේදී සිදුවන ලිංගික අතවර ඉතා අවමද? බැලූ බැල්මට ඒ කාරණය එහෙම බවයි පෙනී යන්නේ. මෙහෙම ප්‍රශ්නයක් ගැන කවුරුත් දන්නේ නැති තරම්. ඇත්තටම වෙලා තියෙන්නේ අතවර නොවීම නොවෙයි කරන්නේ අතවරයක් බව නොදැන සිටීම සහ දැන ගත්තත් නොකියා සිටීම බවයි මට නම් පේන්නේ. මෙතනදී මම "මට නම් පේන්නේ" කියල කියන්නේ එහි සැබෑ අර්ථයෙන් මයි. මේ අතවර විරුද්ධ ලිංගික පාර්ශ්වයන්ගෙන් වගේම සම ලිංගික පාර්ශ්වයන් වෙතින්ද සිදුවිය හැකි බව නීතිමය අර්ථකතනයන්හි සඳහන් වුවත්, වැඩිය සිදුවන්නේ පුරුෂ පාර්ශ්වය අතින් කාන්තා පාර්ශ්වයට වන හිංසන බව,එසේ කීමට තහවුරු කළ දත්ත නැතිව වුවත් අපේ සමාජයීය පරිසරය අනුව පිළිගැනීම වැරදි සහගත නොවන බවයි මගේ අදහස.

ලිංගික හිංසනයක් ලෙස හඳුනා ගැනීමටනම් භෞතික වශයෙන් සිදුවන ස්පර්ශයක් තිබිය යුතු බව අපේ සමාජයේ උගත්යැයි සම්මත පිරිස් පවා සිතා සිටිනවා. ඒ අනුව කාර්යාලයේ ප්‍රධානියා තමා වෙත කැඳවන කාන්තා සේවිකාවකගෙන් ඔයාට බබාල ඉන්නවද? කී දෙනෙක් ඉන්නවද? තව හදන්න කැමති නැද්ද? බබා තාම ඔයාගෙන් කිරි බොනවද? ආදී වශයෙන් තමන් කරන්න ගිය රාජකාරියට අදාල නැති ප්‍රශ්න වැලක් ඇසුවොත් ඒක ලිංගික හිංසනයක් නොවෙයි ද? (මේ මම හිතල ලියපු ප්‍රශ්න වැලක්වත්, නාරිවේද වෛද්‍යවරයෙක් තමාවෙත එන රෝගියකුගෙන් අහන ප්‍රශ්න මාලාවක්වත් නොවෙයි, ලංකාවෙ රාජ්‍ය ආයතනයක දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් තමාගෙ නිල කාමරයට නැඳවන කාන්තා සේවිකාවන්ගෙන් නිතර අසන ප්‍රශ්න මාලා කීපයකින් එකක්). මේක ලිංගික හිංසනයක්ද නැද්ද කිය එක ඇත්තටම විෂය මූලික කාරණයක්. මේ ප්‍රශ්න අහන්නෙ ඒ ප්‍රශ්න මාලාව කැමැත්තෙන් අහගෙන ඉන්න, පැනලා උත්තර දෙන සේවිකාවකගෙන් නම් එයින් ඇය මානසික පීඩාවකට පත් වෙන එකක් නැහැ, හිංසනයකුත් විය නොහැකියි. නමුත් මේ ප්‍රශ්න කිරීමට ගොදුරු වන්නෙ ඔහු සමග ඒ ප්‍රශ්න සාකච්ඡා කිරීමට අකමැති එයින් මානසිකව පීඩාවට පත්වන සේවිකාවක නම් එතැන හිංසනයක් පවතිනවා. ඇත්තෙන්ම එතැන භෞතික සාධකයක් ඇතත් නැතත් එය සේවා ස්ථානයේ සිදුවන ලිංගික ස්වභාවයේ අතවරයක් ලෙසයි අර්ථ දැක්වෙන්නේ.

මේ අතවරයන් සම්බන්ධව නීතිමය තත්ත්වය ගැඹුරින් විග්‍රහ කරන්න නෙවෙයි මම අදහස් කරන්නේ. ඒ සම්බන්ධව දැන ගැනීමට කැමති ‍අයට ගුගල් සෙවීමකින් බොහෝ තොරතුරු දැන ගත හැකියි. මෙයට පෙරත් සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ මේ කාරණය පිළිබඳ ශක්තිමත් නීති පද්ධතියක් තිබේනම් එහි ප්‍රායෝගික භාවිතය කෙසේද කියන එක සොයා බැලීමයි වැදගත්. මේ නීති රීති යටතේ කොපමණ දෙනෙක් නීතියේ පිළිසරණ පතනවාද? එසේ නොපතනවානම් ඒ එවැනි ගැටළු රටේ නැති නිසාද නැති නම් වෙනත් හේතුවක් නිසා ද? මේ ගැන කළ අධ්‍යයනයන් වලදී පෙනී ගොස් ඇත්තේ සංස්කෘතිකමය කරුණු නිසා මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් වාරතා වීම අවම වන බව. මෙය පිළි ගත හකි සත්‍යයක්. මා මෙහි ඉහත කී ආයතන ප්‍රධානියාගේ වාචික අතවරයන්ට නිරන්තරව ලක් වන සේවිකාවන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි නොකරන්නේ එය අවසානයේ තමාටම පාරාවලල්ලක් වේය යන බිය නිසා යි. එක් අවස්ථාවක ඉහත ප්‍රධානියාට ආයතනයේ පැවැත්වෙන බෞද්ධ ධර්ම දේශනයක් ශ්‍රවණය කිරීමටයන සිය සේවිකාවක් ආතනය තුළ කොරිඩෝවකදී මුණ ගැසුණා. ඇසීම අනවශ්‍ය වුවත් ඔහු සිරත් පරිදි මේ සේවිකාවගෙන් යන්නේ කොහේදැයි ඇසූ විට ඇය කීවේ "බණ අහන්න යනවා" කියා. එයට ඔහු දුන් ක්ෂණික පිළිතුර වුණේ "අහන්නද යන්නෙ" යන්නයි. මෙම ප්‍රශ්නය ඔහු ඇසුවේ ස්වාමීන්වහන්සේ නමකගෙන් නම් එසේ ඇසීම තේරුම්ගත හැකියි. මන්ද ස්වාමීන්වහන්සේ නමකට බණ ඇසීමට වගේම කීමටත් හැකි නිසා. මෙහිදී මේ අවිනීත පුද්ගලයා අදහස් කළේ කුමක්ද කියා සිංහල මව්බස ලෙස භාවිත කරන සියළු දෙනාටම වැටහුණත් එම අවිනීත වාග් ප්‍රහාරයට ලක් වූ සේවිකාවට ඒ සම්බන්ධව කළ හැක්කේ කුමක්ද? තවත් අවස්ථාවක මේ පුද්ගලයා බැංකොක් නගරයේ පුද්ගලික සංචාරයක නිරත වීමට සිටි සිය දියණියකගේ වයසේ වූ සේවිකාවක් කැඳවා නොයෙකුත් පුද්ගලික ප්‍රශ්න වැලක් අවසානයේ ඇයට දුන් උපදෙස වූයේ ගිය විට "රෙඩ් ලයිට් ඒරියා" නරඹන ලෙසත් එම "එක්ස්පීරියන්ස්" එක ඉතා වැදගත් බවත්. තමා බැංකාක් ගිය විට නතර වූයේ හිල්ටන් හෝටලයේ බවත් තමා රෙඩ් ලයිට් ඒරියා බැලූ බව හා එහි වර්ණනාවත් ඇයට කීමට ඔහු ‍පැකිළුනේ නැහැ. පාසැල් හැර ගිය අළුතම සේවයට එක් ව සිටි ඒ ලාබාල යුවතිය කාමරයෙන් එළියට පැමිණ සිය සහෝදර සේවිකාවන් කීප දෙනෙකුට මෙය කියූ බැවින් මෙම කාරණය බාහිරයට අනාවරණය වුණේ. මෙම පුද්ගලයා සම්බන්ධ විශේෂම කරුණනම් ඔහු එම ප්‍රමුඛ රාජ්‍ය ආයතනයේ මානව සම්පත් භාර ප්‍රධානම පුද්ගලයා වීමයි.

දැන් මා මෙහිදී සඳහන් කළ සිද්ධි සම්බන්ධයෙන් "ඕක මොකක්ද ඔච්චර දෙයක්ද" කියා ඔබට හිතුණානම් සේවා ස්ථානවල කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන තවදුරටත් පවත්වාගෙන යාමට ඔබගෙනුත් අක්‍රිය දායකත්වයක් ලැබෙන බව කිව හැකියි. මා මෙහි සඳහන් කළේ එක් ආයතනයක එක් පුද්ගලයෙකු සම්බන්ධ සිද්ධි විශාල සංඛ්‍යාවකින් තුනක් පමණයි. ඒ සිද්ධි සියල්ලම සඳහන් කළොත් වෙනමම වෙබ් අඩවියක් ඔහුගේ අශ්ලීල කතා සහ ක්‍රියා වලින්ම තැනිය හැකියි. නමුත් මේ අසහනකාරී ක්‍රියාවට දිනපතා ගොදුරුවන සේවිකාවන් එයින් ලබන මානසික අසහනය කොපමණද? ඔබේත් ඔබ මෙන්ම තවත් දහසක් දෙනාගේත් "ඕක මොකක්ද" ආකල්පය නිසා දහසකුත් එකක් බලසම්පන්න නීති වල්ගය නැති ගොනුන්ගේ තත්ත්වයට පත්ව ඇති විට ඔවුන්ට ඇති පිළිසරණ කුමක්ද? මෙම හිංසනයට ලක්වන සහෝදරියන්ගේ මානසික වේදනාවට සංවේදී වී එවැනි ක්‍රියා වලින් වැලකී සිටින ලෙස සහ, මේ සම්බන්ධව දැනුම්වත් වීමේ සහ දැනුම්වත් කිරීමේ ක්‍රියාවලියක් තුළින් එවැනි දහසක් දෙනාගේ දුක්වේදනා තුරන් කිරීමට කිසියම් හෝ දායකත්වයක් දෙන ලෙසයි මා ඉල්ලා සිටින්නේ.

Sunday, April 11, 2010

හමුවීම

ජීවිතයේ බොහෝ දුර කතර ගෙවා යන මග අතරමග

හමුවුණා ඔබ

තවත් සිය දහස් දෙන අතර

ඔබ තවත් එක් කෙනෙක් නොව

මා පැතූ, මා සිත රැඳි රුව ම විය

ඔබ ද ඔබේ නොව - මා ද මගේ නොව

අන් සතුව සිටි විට

තුමක් කරමුද අප

ජීවිතයේ බොහෝ දුර දිනයක අපේ මං පෙත්

බෙදී වෙන් වී ඇත

එක මගක නොගියද

එක සෙවණක නොසිටියද

සිතින්,

ඔබ මගේ මය

මම ඔබේ ම ය