අද අප ජීවත්වන්නේ තාක්ෂණික මෙවලම් වලින් ගහණ වටපිටාවක ය. පරිගණක, ජංගම දුරකථන,ඩිජිටල් ශබ්ද උපකරණ, ලේසර් උපකරණ, ආදී මෙකී නොකී තාක්ෂණික මෙවලම් අටෝරාසියකින් අපේ පරිසරය පිරී තිබේ. අපේ කුඩාවුන් බහ තෝරන්නේ මේ වටපිටාවේ ය. පරම්පරා පරතරය යනු කුමක්දැයි මම දැන් දැන් අත්දැකීමෙන්ම වටහා ගනිමින් සිටිමි. මෙයට වසර 25 කට පමණ පෙර , පාසැල් දරුවෙකු වශයෙන් සිටි කාලයේ මා කොළඹ නවාතැනට හැරලූ පසු මගේ දුක සැප දැන ගන්නට මගේ දෙමාපියනට සතියක් බලාපොරොත්තුවෙන් ඉන්නට සිදු විය. ඒ මා විසින් සිරිත් පරිදි සතිපතා යවන ලියමන ඔවුන් අතට පත් වන තුරු ය. මැදවච්චියෙනුත් සැතපුම් 12 ක් පමණ එපිටින් විසූ ඔවුනට කොළඹින් තැපැල් කරන ලිපියක් ලැබීමට ඒ කාලයේ සතියකට ආසන්න කාලයක් ගත වූ බැවිනි. මේ කතාව මගේ කුඩා පුතුට නම් සුරංගනා කතාවක් වැනි ය. දිනකට කිහිප වතාවක් ආච්චිටත් මාමලාටත් දුරකථනයෙන් කතා කරන ඔහු දුර බැහැර සිටින ඔවුන්ගේ පින්තූර දුරකථනයෙන් නරඹයි. විදේශයන්හි සිටින මිතුරන් හා මා පරිගණකයෙන් කතා කරනු දැක්ම ඔහුට අරුමයක් නොවේ. එබැවින් සුවදුක් දැනගන්නට සතියක් බලා සිටි අපේ අම්මලා තාත්තලාගේ කාලය ඔහුගේ සහ ඔහුගේ පරපුරේ සගයන්ගෙන් ඉතා දුරස්තර ය. තාත්තා බසයෙන් පාසැල් ගිය බව අදහා ගැනීමට ඔහුට තාමත් නොපුළුවන. තාත්තාට කාර් එකක් තිබුණේ නැද්දැයි ඔහු කිහිප වතාවක් විමසන්නේ එබැවිනි. ඔහුව හැරලීමට දිනපතා පාසැල අසලට යන මට ද ඒ කාලයේ මාර ගස් සෙවණේ එක පෙළට සීරුවට ගමන් කළ මගම පාසැල් බස් රිය පෙළ දැකීමට නොලැබේ. ඒ වෙනුවට පළල් පාර එක වාහන පෙළකට පමණක් සීමා කරමින් ඇඟිල්ලක් ගැසීමට ඉඩ නැතිවන අයුරින් මෝටර් රථ සහ පාසැල් වෑන් රථ නවතා ඇත.
පරිගණක සිය ගණනකින් සමන්විත ප්‍රාථමික අංශයේ පරිගණක විද්‍යාගාරය දකින විට එදා උසස්පෙළ සිසුන් ලෙස සින්ක්ලෙයාර් පරිගණක තුනකින් සහ අයි.බී.එම් පරිගණකයකින් පමණක් සමන්විත වූ එකම පරිගණක විද්‍යාගාරයේ පරිගණක "අ" යන්න කියැවූ හැටි සිහිනයක් සේ මතකයට නැගෙයි. කැසට් රෙකෝඩරයක ආධාරයෙන් "බූට්" කළ ඒ සින්ක්ලෙයාර් පරිගණකයක් දුටුවොත් මේ දරුවන් එය සෙල්ලම් කිරීමටවත් නොගන්නවා ඇත.
දෙවැනි ශ්‍රේණියේ උගන්නා මා පුතු මධු මාධව අරවින්දගේ "ළඹ සවන් රන් පටින්" ගීතයට ඉතා කැමති ය. යූ ටියුබ් හි තිබී මවිසින් බාගත් එම ගීතයේ දෘශ්‍ය පටයද ඔහුගේ සිත් ගෙන ඇත. (එහි දර්ශන "Little Buddha" චිත්‍රපටයෙන් උපුටාගෙන සංස්කරණය කළ ඒවා ය). මේ ගීතය ඔහු කියනු ඇසූ ඔහුගේ පන්තියේ හොඳම යහළුවා එහි සී.ඩී එක දෙන්න බැරිදැයි ඔහුගෙන් ඇසී ලු! නොබෝ දිනකින් ඔහු පෙන් එකක් ගෙනවුත් දී ගීතය ඊට කොපි කර දෙන්නැයි ඉල්ලන්නටත් බැරි නැත! අපේ ළමා ලෝකයත් අපේ දරුවන්ගේ ළමා ලෝකයත් අතර මේ පරතරය වටහා ගන්නා විට මම තිගැස්සෙමි. අප කුඩා කාලයේ සිරිපා සමය සමග සමනලුන් රෑන් රෑන් වැල නොකැඩී අප පසුකර පියඹා යනු අප බලා සිටියෙමු. එහෙත්, මගේ පුතුට පෙන්වීමට සමනළයෙකු සොයා ගැනීමට මට දැන් මහත් වෙහෙසක් ගැනීමට සිදුව ඇත. මේ දරුවන් වැඩෙන්නේ සමනලුන් මාලුපැටවුන් සමග අප ගත කළ ලෝකයට මහත් සේ වෙනස් වු ලෝකයක ය යන වැටහීම සමග ඔවුන්ගේ ඒ ලෝකයේ අප නොදකින අපට වටහා ගැනීමට බැරි දහසක් දේ තිබීමට හැකිය යන අදහස ඉහත තිගැස්මට හේතුව සේ මම දකිමි. අන්තර්ජාලයේ සැරිසරන විට දකින පාසැල් දරුවන්ගේ ඇතැම් වීඩියෝ පට ද ඒ තිගැස්මට පොහොරකි.
මා මේ අත්දකින්නේ මේ සදාකාලිකව පැවත එන පරම්පරා පරතරයේ මගේ යුගය ද? නැතිනම් අපි කලියුගයට පා තබමින් සිටින්නෙමු ද? හරි හැටි වටහා ගැනීමට නොහැකි ව මම අතරමං වෙමි.
1 comment:
ඕක සාමාන්‍යයි. ඉස්සරහට යන්නෙ නැතිව එකතැන හිටියනං අපි තාම ගස් උඩ!
ඒ අතිංනං අපේ වැඩිහිටි පරම්පරාවවල්, වඳුරන්ටත් වඩා ප්රතිගාමී. ගහෙං බැහැල පොළවෙ ඇවිදින්න වඳුරො බෑ නොකීවට, අවුරුදු 2500 බදාගෙන ආපස්සට යන්නනෙ අපේ කස්ටියගෙ ප්ලෑන් එක!
Post a Comment