• ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~නිදහසේ උපන් සිතුවිලි නිදහස්ව පළ කරනු සඳහා සයිබර් අවකාශයේ ඉදි කළ නිවහන~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Thursday, May 7, 2020

බිඳුණ කොරියාව සහ එක්සත් කොරියාවක සිහිනය දකින දූරසාන් දුම්රිය ස්ථානය

(ඉතාම දිගු නිහැඬියාවකින් පසු පෝස්ට් ඒකක් දාන්නට සිතුවෙමි. ඇත්තෙන්ම මෙය පළමුවරට මෙහි පළ වන්නක් නොව, මගේ මුහුණු පොතේ කලින් පළ කරන ලද්දකි)

මේ දවස්වල කොරෝනා වසංගතය ඇරුණම විදේශ ප්‍රවෘත්තිවල නිතර කියවෙන ⁣දෙයක් තමයි උතුරු කොරියානු නායකයගෙ අතුරුදහන් වීම. උතුරු කොරියාව දකුණු කොරියාව කිව්වම එකම රටක් ද? එකම රටක් නම් මේ බෙදීම මොකක් ද?

අපි දන්න දෙයක් තමයි ජර්මනිය කාලෙකට පෙර නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය වශයෙන් රටවල් දෙකකට බෙදිල තිබුණු වග. එහෙම වුණේ දෙවන ලෝක යුද්ධෙදි ජර්මනිය ප්‍රමුඛ අක්ෂ පිළ පරාජය වීමත් සමග සෝවියට් රුසියාව සහ එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර ජාතීන් විසින් ඒ රට බෙදා වෙන් කර ගැනීම නිසා. එහෙනම් කොරියාව බෙදුවෙ කවුද? මොකටද? කලකට පෙර මට හමුවුණු දකුණු කොරියානු මහ බැංකු නිලධාරියෙක් ඒ ගැන කීවෙ මෙහෙමයි. "They were divided because they were powerful, we were divided because we were poor" ඔවුන් ව (ජර්මනිය) බෙදා වෙන් කළේ ඔවුන් බලවත් ව සිටි නිසා,අපව බෙදා වෙන් කළේ අප දුප්පත්ව සිටි නිසා. ඇත්තෙන්ම පසුගිය සියවසේ අවසාන කාර්තුව වන තෙක් ම කොරියාව සමෘද්ධිමත් රටක්ව තිබුණෙ නෑ. 1910 දි ජපාන අධිරාජ්‍යය විසින් යටත් කරගත් කොරියාව (අද උතුර සහ දකුණ ලෙස බෙදී ඇති කොටස් දෙකම එවකට තනි රටක්) 1945 දී දෙවන ලෝක යුද්ධයෙන් පරාජය වී ජපානය මිත්‍ර පක්ෂයට යටත් වන තෙක් ම ජපාන යටත් විජිතයක්වයි පැවතුණේ. ජපන් බස සහ ජපන් සංස්කෘතිය කොරියානුවන් මත බලෙන් පටවනු ලැබුවා. කොටින්ම කොරියාවේ තිබුණු ගහකොළ පවා විනාශ කර පිටින් ගෙනා ශාක එහි වැව්වා. මෙහි කූටප්‍රාප්තිය වුණේ දෙවන ලෝක මහා සංග්‍රාමයේදී කොරියානුවන් වහල් ⁣සේවකයන් මෙන් ජපානයේ වෙනත් විජිතයන්හි සේවයේ යෙදවීමත්, කොරියානු ළඳුන් පැහැරගෙන ජපාන සොල්දාදුවන්ගෙ "සැනසුම් ළඳුන්" (Comfort women) ලෙස හමුදා ගණිකා මඩම් වල සේවයට යෙදවීමත්.

දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන් වනවිට ජපානයට එතෙක් යටත්ව තිබූ කොරියාවේ උතුරු කොටසේ සෝවියට් හමුදාවත් දකුණු කොටසේ එක්සත් ජනපද හමුදාවනුත් රැඳී සිටියා. උත්තරාංශක 38ට උතුරින් වූ උතුරු කොටසේ කෙමියුනිස්ට් හිතවාදී පාලනයක් බිහි කරන්නට සෝවියට් හමුදා කටයුතු කරන අතරේ, දකුණේ දක්ෂිණාංශික හමුදා පාලනයක් එක්සත් ජනපද පාලනය යටතේ බිහිවෙමින් තිබුණා. පැවති තත්ත්වය අනුව උතුරේ ගොවීන් සහ කම්කරුවන්ගේ සහාය එහි කොමියුනිස්ට් පාලනයට පළ වන අතර මධ්‍යම පාන්තිකයන් හා ධනවතුන් දකුණට පළා ආවා. මේ අතර 1948දී එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් කොරියාවේ අනාගතය තීරණය කිරීම සඳහා කොරියානුවන් අතර ඡන්ද විමසීමක් පැවැත්වීමට කටයුතු යෙදුවත් උතුරු කොටසේ පාලනය එය වර්ජනය කළා. ඒ සමග දකුණු කොටසේ එක්සත් ජනපද පාලනය යටතේ කොරියානු ජනරජය පිහිටැවුණු අතර උතුරු කොටසේ සෝවියට් අනුග්‍රහය යටතේ හිටපු කොමියුනිස්ට් ගරිල්ලා නායක කිම් ඉල් සුන් ගේ ප්‍රධානත්වයෙන් කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය පිහිටවනු ලැබුණා.

 උතුරු කොරියාව විසින් 1950 දී දකුණු කොරියාව ආක්‍රමණය කළ අතර කොරියන් යුද්ධය වශයෙන් හඳුන්වන එය අවසන් වූයේ 1953 දී දෙපාර්ශ්වය කොරියානු සටන් විරාම ගිවිසුමට එළඹීමෙනුයි. මෙම යුද්ධයෙන් කොරියානු අර්ධද්වීපයේ එක් කොරියානු රාජ්‍යයක් බිහි කර ගැනීමේ කොරියානු සිහිනය බොඳ වී ගියා. ආසන්න වශයෙන් උත්තතරාංශක 38 ඔස්සේ දිවෙන දේශ සීමාවක් සහ එය දෙපස, එක පසකට කිලෝමීටර 2 බැගින් වන හමුදා ක්‍රියාකාරීත්වයෙන් තොර කලාපයක් (Demilitarized zone- DMZ) ප්‍රකාශයට පත් කෙරුණ අතර, රාජ්‍යයන් දෙක එකිනෙකට අතීශයින් වෙනස් සමාජ-දේශපාලන මාර්ග දෙකක ගමන් ඇරඹුවා. හමුදා පාලනයක් යටතේ විවිධ දේශපාලන හැල හැප්පීම් මැද ඉදිරියට ගිය දකුණු කොරියාව 1988 වන වට ප්‍රජාත්‍රන්තවාදී මාවතට පිවිසුණ අතර පසුගිය සියවසේ අවසන් දශක දෙක තුන තුළ කාර්මීකරණය තුළින් සීග්‍ර දියුණුවක් හා ඉහළ ජීවන තත්ත්වයක් ළඟා කරගැනීමට සමත් වුණා. සෝවියට් අනුග්‍රහය යටතේ නාමික කොමියුනිස්ට් පාලනයකට නතු වූ උතුරු කොරියාව සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමග ආර්ථික වශයෙන් බොහෝ දුරට පිරිහුණා. එහෙත් සෝවියට් පාලන සමයේ ගොඩ නැගුණ බලවත් යුද යාන්ත්‍රණය තවමත් පවත්වාගෙන යාමට සමත් වී ඇති එය ලෝකයෙන් බොහෝ දුරට හුදෙකලා වූ දැඩි මර්දනකාරී පාලනයක් ඇති රාජ්‍යයක් ලෙසයි සැළකෙන්නේ. එරට ජනතාවගේ ජීවන තත්ත්වය ඉතාම පහළ අඩියක පවතින බවත් වාර්තා වෙනවා. එසේ වුවද එරට හමුදාහරිත කලාපයේ දකුණු කොරියානු තීරයට පෙනෙන මානයේ අලංකාර නිවෙස්වලින් යුතු ගම්මාන ඉදි කර ඇත්තේ ලෝකයේ කොතැනත් මර්දනකාරී පාලකයින් අනුගමනය කරන ⁣ලෝකෙට පරකාසේ න්‍යාය අනුවයි.

මේ සියළු කලබැගෑනි වලින් පසුවද කොරියානුවන් තුළ එක්සත් කොරියාවක් පිළිබඳ සිහිනය වියැකී ගොස් නැහැ. ⁣අති නවීන දකුණු කොරියානු කෝරේල් දුම්රිය සේවයේ උතුරු කෙළවරේ අවසාන දුම්රිය ස්ථානය වන දූරසාන් දුම්රිය ස්ථානය ඒ නොවියැකුණ සිහිනයේ සිහිවටනයක්. එම දුම්රිය ස්ථානය ගොඩ නංවා ඇත්තේ උතුර දකුණ යා වන දිනයක දුම්රියෙන් එක්සත් කොරියාවක උතුරු දෙසට සහ දකුණු දෙසට ගමන් කරන මගීන්ට පහසුකම් සැලසීමට හැකි වන පරිදියි. දූරසාන් දුම්රිය ස්ථානයට සහ එයට කිලෝමීටරයකට අඩු දුරකින් පිහිටා ඇති හමුදා හරණ කලාප නැරඹුම් පෙදෙසට යන කෙනෙකුට බිඳුණ කොරියන් අර්ධද්වීපයේ කතාව දැක බලාගත හැකියි.

 හමුදාහරිත කලාප නැරඹුම් පෙදෙසට ඇතුළුවන ස්ථානය

දූරසාන් දුම්රියපොළ
 දූරසාන් දුම්රියපොළ අසළ ඇති ඒ ප්‍රදේශයේ සිතියමක් නරඹන සංචාරකයෝ
 දූරසාන් දුම්රියපොළ අසළ දී
 කොරියාවේ මෑත ඉතිහාසය ඇසි දිසි මාධ්‍යයෙන් පෙන්වන කුටියක්
 යකඩ තිරයෙන් එහා උතුරු කොරියාව
වෙන් කිරීම පහසු නමුත් එක්සත් කිරීම වැර වෑයමෙන් කළ යුත්ත කි. හමුදාහරිත කලාපයේ ඇති මූර්තියක්
උතුරු කොරියානුවන් දකුණු කොරියාවට රහසේ ඇතුළු වීමට කණින ලද උමගක්-‍ මෙම පෙදෙසට කැමරා ගෙන යාම තහනම් බැවින් මෙම ඡායාරූපය ලබා ගත්තේ අන්තර්ජාලයෙනි.

 (අවසන් ඡායාරූපය හැර අනෙක් ඡායාරූප මගේ කැමරාවෙන්)


No comments: