• ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~නිදහසේ උපන් සිතුවිලි නිදහස්ව පළ කරනු සඳහා සයිබර් අවකාශයේ ඉදි කළ නිවහන~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Friday, May 8, 2020

නොකල් වැස්ස

තනිකම කරන සඳ සෝබර හද දැදුරූ

වටකොට මහද වූවා මුළු ලොව අඳුරූ

වී නම් යමක් ඒ මොහොතෙහි මට සොඳුරූ

වදනක් පමණි රහසින් ඔබ මට කෙඳූරූ


ජීවන ගගන නැඟ ආ සඳ අඳුරු වළා

වැළපුණි මහද, තනිකම හා එකතු වෙලා

දිරි දී, නැගෙන්නට ඒ දුක ඉවත හෙළා

සඳවත නුඔ මගේ ලොව යළි එකළු කළා


වියළී ඉරිතැලී කතරක් වී තිබුණූ

හදබිම තව වරක් නිල් උයනක් කෙරුණු

ජීවන දියෙන් පුරවාලන හද පොකුණූ

වැසි දිය ඔබය, නොකලක වුව ඇද හැලුණූ

Thursday, May 7, 2020

රජරට පාසැලේ මතකයන්

මාගේ ළමා වියේ අවුරුදු 6ක් පමණ මා ගත කළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙළවරක පිහිටි තම්මැන්නාකුලම ගම්මානය  පසුබිම් කොට මෙයට පෙර මා විසින්  “අත්තප්පා“ සහ “දෙමළ කලබලයට මැදි වීමි“ යන හිසින් පෝස්ට් දෙකක් පළ කළෙ මි. ඊටත් පෙර මවිසින් ලියන ලද "හරියට ඇලවූ වැරැදි ස්ටිකරය" පෝස්ටුවේ කියැවෙන පරිදි කොළඹ පාසැලට එන්නට පෙර මම අවුරුදු පහක් අ/තම්මැන්නාකුලම ප්‍රාථමික විදුහලේ එහි අනෙක් දරුවන් හා එක් ව අකුරු කෙරුවෙමි.

බිං කුරුල්ලන් අඳිමින් සිට පස්වන ශෙු්ණියෙන් හෝ සමහරවිට ඊටත් පෙර ම පාසැල හැර ගොස් හේන් කෙටීමට එක් වීම ඉරණම් කරගෙන සිටි ඒ පාසැලේ දරුවන්ට හය හතර කියා දීමට එහි සිටි ගුරු දෙපළ වූ මගේ මා පියන් ට මහත් වෙහෙසක් දැරීමට සිදු විය. ඒ සඳහා පාසැලේ තිබූ සම්පත් ද සීමිත විය. දෙමාපියන් දරුවන් පාසැල් එව්වේ හේන් වැඩ නැති කාලයට පමණි. හේන් කාලයට යන්තම් කැත්ත උදැල්ල එසැවිය හැකි පිරිමි දරුවෝ දෙමාපියන් සමග හේනට ගියහ. ඒ වයසේ දැරිවියෝ වැඩට පළට උදව්වට හෝ කුඩා නැගණියන් හෝ මළණුවන් බලා කියා ගැනීමට නිවසේ නතර කර ගැනුණි. මේ හේතුවෙන් හේන් කොටන, කුඹුරු වපුරන අස්වනු නෙළන කාලවල පාසැලේ පැමිණී ම පහත වැටුණු අතර පාසැල් ආවේ ඉහත කී රාජකාරි කිරීමට තරම් වයසින් නොවැඩුණු දරුවෙකු පමණි. මේ තත්ත්වය යටතේ පාසැලේ හෝ අධ්‍යාපනයේ අභිවෘද්ධියක් ගැන දෙමව්පියන් ගේ විශාල උනන්දුවක් නො වීය. තිබුණත් ඒ් සඳහා දායක වීමට තරම් ඉගෙනුමක් හෝ ආර්ථිකයක් ඒ් වැඩි දෙනෙකුට තිබුණේ ද නැත. එසේ වුව ද මගේ දෙමාපියන් ප්‍රදේශයේ ඒ කාලයේ සේවය කළ බොහෝ ගුරුවරුන් මෙන් හේන් ගොවියන් බවට පත් නො වූ නිසා පූර්ණ කාලීන ව පාසැලේ වැඩ කටයුතු වල නිරත වීමට ඔවුනට කාලය තිබුණි. ඔවුන් දෙදෙනාට වයස් කාණ්ඩ පහකට අයත් පන්ති පහකට එකවර ඉගැන්වීම ගැටළුවක් නොවූ යේ එක පන්තියක සිසුන් 10-15 කට වඩා නො වීම නිසා ය.

මා මේ කියන කාලය ලංකාවේ රූපවාහිනී සේවා ජංගම  දුරකථන සේවා නො තිබුණු අවධිය යි. ඒ අහල ගම් හතක විදුලිය හෝ රැහැන් දුරකථන හෝ නො තිබුණි. ළඟ ම පිහිටි විදුලිය සහිත ස්ථානය වූයේ මැදවච්චිය දුම්රිය පොළ අසල පිහිටි, ප්‍රදේශයේ ජනතාව "ඉස්ටේසන් මැදවච්චිය" නමින් හැඳින් වු කුඩා කඩ මණ්ඩිය ය. මන්නාරම ට විදුලිය ගෙන යන අධි වෝල්ටීය විදුලි කණු පෙළක් මැදවච්චිය මන්නාරම ඔස්සේ මාර්ගයට සමාන්තරව ඊට මඳක් ඈතින් පිහිටා තිබුණු බව මතක නමුත් එයින් සෙට්ටිකුලම කඩ මණ්ඩියට හෝ විදුලිය ලබා දී තිබුණේ නැත.

මේ තත්ත්වය යටතේ මගේ මවුපියෝ ඒ දරුවනට ලෝකය කියා දීමටත් දිවයිනේ දියුණු පළාත් වල දරුවන්ට ලැබෙන අධ්‍යාපනයෙන් අසක් හෝ ලබා දීමටත් යොදා ගත්තේ ගුවන් විදුලිය යි. අප සතුව තිබුණු ටෝච් බැටරි වලින් ක්‍රියා කරන යුනික් ගුවන් විදුලි යන්ත්‍රය යොදාගෙන, ගුරු නිවාසය ඉදිරියේ පෙළ සැදෙමින් රවුම් සැදෙමින් උදේ වරුවේ විකාශය වූ ගුවන් විදුලි අධ්‍යාපන සේවයේ වැඩ සටහන් වල ක්‍රියාකාරකම් කළ හැටි මට සිහි වේ. මෙම උනන්දුවේ ප්‍රතිඵලයක් හැටියට, ග්‍රාමීය පාසැල් වලට යුනිසෙෆ් ආයතනය විසින් සපයන ලද ඉගෙනුම් ආධාරක කට්ටලයක්, යුනිසෙෆ් ලාංඡනය යෙදූ ගුවන්විදුලි යන්ත්‍රයක් සහ අළුත් ම පා පැදියක් පසු කාලයක දී පාසැලට ලැබුණි. යුනිසෙෆ් ඉගෙනුම් කට්ටල වල අඩංගු වූ ජර්මනිය, නෙදර්ලන්තය වැනි රට වල නිෂ්පාදිත පාට කූරු, දිය සායම්, ප්‍රිස්ම, අත් කාච විවිධ හැඩ තල ආ දිය එවකට කොළඹ නගරයෙන් හෝ මිල ට ගත නො හැකි ව තිබූ, අප විශ්මයට පත් කළ උසස් තත්ත්වයේ නිෂ්පාදන බව කිව යුතු ය.


තවමත් මා සතුව තිබෙන 1970 මිලට ගත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත යුනික් ගුවන් විදුලි යන්ත්‍රය, එහි උපදෙස් අත්පොත සහ සේවා ටැගය - මුල දී ගුවන් විදුලි අධ්‍යාපන සේවයේ වැඩසටහන් ශ්‍රවණය කළේ මේ යන්ත්‍රයෙනි

මේ කාලයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන රජරට සේවය ආරම්භ කර තිබුණු අතර අද මෙන් ගුවන්විදුලි සේවා සුලභ නො වූ ඒ් කාලයේ ඒ් සඳහා භාවිත කරන ලද්දේ  මගේ මතකයේ හැටියට, එතෙක් නුවර කලාවියට සිංහල පළමුවන සේවය (අද හඳුන්වන ආකාරයට "ස්වදේශීය සේවය") විසුරුවා හැරීම පිණිස යො දා ගත් කැකිරාව විකාශන මධ්‍යස්ථානයේ මධ්‍යම තරංග  සංඛ්‍යාතය යි. මේ නිසා එතෙක් මධ්‍යම තරංග ඔස්සේ පළමුවන සේවය ට සවන් දුන් අනුරාධපුරය හා අවට ප්‍රදේශවල ජනතාවට ඒ් සේවයට සවන් දීමට නොහැකි ව ගිය අතර එය නිරන්තර ගුවන්විදුලි ශ්‍රාවිකාවක වූ මගේ මවගේ බලවත් නො සතුටට හේතු වී ය. කෙසේ වුවද අළුතින් ඇරඹුණ රජරට සේවයේ රජරට පාසැල නමින් පැය භාගයක වැඩ සටහනක් සති පතා සවස් භාගයේ විකාශය කරන ලදී. එක් එක් දින මෙය ට සහභාගි වූයේ තෝරා ගන්නා ලද රජරට කලාපයේ පාසැලක සිසුන් ය. අප මේ වැඩ සහනේ නිරන්තර ශ්‍රාවකයන් වූ අතර, මගේ දෙමාපියයෝ මේ වැඩ සටහනට සිය පාසැල ද සහභාගි කරවීමට සිහින මවන්නට වූ හ. මෙහි දී මා සඳහන් කළ යුත්තේ පොදුවේ රජරට ප්‍රදේශය ම ඒ් කාලයේ අදට වඩා බෙහෙවින් රටේ අන් ප්‍රදේශ වලින් දුරස්ථ දුෂ්කර ප්‍රදේශයක් සේ සැළකුණේ වුවද,  එහිත් උතුරු ම කොණේ උතුරුමැද සහ උතුරු පළාතට මායිම් ව හුදෙකලා ව පිහිටි සිංහල ගම්මානයක් වූ තම්මැන්නාකුලම සලකන ලද්දේ දුෂ්කර ප්‍රදේශ අතරිනුත් දුෂ්කර ප්‍රදේශයක් වශයෙන් බව ය. එබැවින් වැඩ සටහන පටිගත කිරීම සඳහා ගුවන් විදුලි සේවයේ කණ්ඩායමක් එහි ගෙන්වා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් වූයේ නැත. අවසානයේ අනුරාධපුරයට කළ යාම් ඊම් ගණනකින් සහ දීර්ඝ ව්‍යායාමයකින් පසුව ගුවන්විදුලි කණ්ඩායම පැමිණෙන දිනය ස්ථිර විය. වැඩ සටහනට පුහුණුවීම් ලහි ලහියේ කෙරුණු අතර දුරුකතර ගෙවාගෙන පැමිණෙන ගුවන්විදුලි කණ්ඩායමට ආගන්තුක සත්කාර කිරීමට ද යුහුසුළුව කටයුතු සම්පාදනය කරන ලදී. එහෙත් අපගේ බලාපොරොත්තු කඩ කරමින් නියමිත දිනය ආසන්න වත් ම විදුලි පණිවුඩයකින් දැනුම් දෙන ලද්දේ ගුවන්විදුලි කණ්ඩායම කිසියම් හේතුවක් නිසා (හේතුව දැන් මගේ මතකයේ නොමැත) එ දිනට නොපැමිණෙන බව යි. අද අපේ රටේ ඔ්නෑම කෙළවරක දරුවෙකුට රූපවාහිනියේ පෙනී සිටීම පවා එතරම් අරුමයක් නො වේ. එබැවින්, ගුවන් විදුලි යන්ත්‍රයක් හිමි කර ගැනීමත් සුඛෝපභෝගීත්වයක් වූ යුගයක, පෙදෙසක, විසූ අප එදා එයින් පත් වූ අපේක්ෂා භංගත්වය ඒ් වූ පරිද්දෙන් ම අවබෝධ කර ගැනීමට මෑත භාගයේ උපන් අයෙකුට  හැකි යැයි මම නො සිත මි. කෙසේ වුවද නැවත නැවතත් කෙරුණු ලිපි හුවමාරු ආදියෙන් පසු වැඩ සටහන අනුරාධපුරයේ සිය මැදිරියේ දී පටිගත කිරීමට ගුවන් විදුලි සේවය විසින් දිනයක් වෙන් කර දෙන ලදී. ඒ් අනුව මට මතක හැටියට 1980 අවුරුද්දේ දිනයක අනුරාධපුරයේ පිහිටි රජරට සේවයේ පටිගත කිීරීමේ මැදිරියේ දී අ/තම්මැන්නාකුලම ප්‍රාථමික විද්‍යාලය යේ රජරට පාසැල වැඩ සටහන පටිගත කරන ලදී.

වැඩ සටහන නියමිත දිනයේ දී ගුවන් විදුලියෙන් විකාශය වූ අතර ගුරු නිවාසයේ ගුවන් විදුලියෙන් අපත්, ගුවන් විදුලි යන්ත්‍ර නොමැති නිවෙස්වල දරුවෝත් එයට මහත් ප්‍රීතියෙන් සවන් දුනිමු. මේ මෙරටට කැසට් පටිගත කිරීමේ යන්ත්‍ර ප්‍රචලිත වෙමින් පැවති අවධිය වුවද අප සතුව හෝ ගමේ වෙන අයෙක් සතූව පටිගත කිරීමේ යන්ත්‍රයක් නො තිබුණු බැවින් වැඩ සටහන නැවත සවන් දීම සඳහා පටිගත කර ගන්නට අපට නොහැකි වීම අපගේ ඉමහත් දොම්නසට කරුණක් විය. මෙයට මාස කීපයකට පසු වරායේ සේවය කළ ලොකු මාමා (අම්මාගේ වැඩිමහල් සහෝදරයා) කැසට් රෙකෝඩරයක් අපට තෑගි කළ විට එදා වැඩ සටහන පටිගත කර ගැනීමට නො හැකි වීමේ අඩු පාඩුව අපට වඩා ත් තදින් දැනුණි.

මේ අතර අපට ආරංචි වූයේ අසල්වැසි ගම්මානයක් වූ ඉරට්ට පෙරියකුලමේ නිවෙසක  අපේ "රජරට පාසැල"වැඩ සටහනේ කොටසක් පටිගත කර ඇති බවයි. ගුවන් විදුලියට සවන් දෙමින් සිටිය දී අසල්වැසි ගමක නම කියවෙනු අසා විමසිලිමත් වූ ඔවුන් වැඩ සටහනේ මැද සිට ඉතිරි කොටස පටිගත කර ඇති බව කියන ලදී. මෙයින් අමන්දානන්දයට පත් මගේ මව කෙසේ හෝ පණිවුඩයක් යවා කැසට් පටය ගෙන්වා ගැනීමට සමත් වූවා ය. මෙයින් පිටපතක් ලබා ගත් අප එය සුරැකි ව තබා ගතිමු. ඒ පිටපත ලබා ගත් ආකාරය ද මෙහි දී සඳහන් කිරීම වටින්නේ යැයි සිතේ. ඒ කාලයේ පමණක් නොව ඉන් බොහෝ කාලයක් ගත වන තෙක් ද කැසට් පටයක පිටපත් ලබා ගැනීමට අවශ්‍ය වූ විට අප එය කළේ කැසට් පටය එක යන්ත්‍රයක වාදනය වන්නට සලස්වා, වෙනත් යන්ත්‍රයක් එහි ස්පීකරය අසලින් තබා පටිගත කිරීම ය. මෙහි දී බාහිර පරිසරයේ ශබ්ද, වාහන ශබ්ද, ළිං වලින් වතුර අදින ශබ්ද පමණක් නොව කැසට් යන්ත්‍ර දෙකේ මෝටර ශබ්ද ද පටිගත වීම නිසා පිටපතේ ගුණාත්මය විශාල වශයෙන් පහළ වැටුණි. අසූව දශකයෙන් පසු මේ කාර්යය සඳහා ඉලෙක්ට්‍රොනිකව කැසට් පිටපත් කිරීමේ පහසුකම ඇති රෙකෝඩ් බාර් බිහි වූ අතර ඊටත් පසුව කැසට් පට දෙකක් වාදනය කළ හැකි යන්ත්‍ර වෙළඳ පොළට ආ පසු කැසට් පිටපත් කිරීම නිවසේ දීම උසස් ගුණාත්මයෙන් කර ගත හැකි විය.

 2004 වසරේ දී පමණ මම මා සතුව තිබූ කැසට් පටයෙන් මගේ පරිගණකයට එම වැඩසටහනේ ඩිජිටල් පිටපතක් ලබා ගත් අතර කොරෝනා නිවාඩුවේ විවේක පාඩුව පරණ බැකප් ෆයිල් අවුස්සා බලන මට  අද යළි එම ඩිජිටල් පිටපත හමු විය.

මුල් කැසට් පිටපත ද මගේ කැසට් එකතුවේ තිබෙනවා විය හැකි වුවත්, දෛවයේ සරදමකට මෙන් එම කැසට් පට වාදනය කර බැලිය හැකි ක්‍රියාකාරී තත්ත්වයේ කැසට් වාදන යන්ත්‍රයක් එදා 1980 දී මෙන් අදද අප නිවස පැත්ත පළාතක නැත!


වසර කීපයකට පෙර යළි තම්මැන්නාකුලම ගමට ගිය ගමනේ ඡායාරූප සහ 1978-80 වකවානුවේ ඡායාරූප සමග වීඩියෝ මාධ්‍යයට පෙරළන ලද 1980 පටිගත කළ රජරට පාසැල වැඩ සටහන.

මගේ කැසට් එකතුව


 ගූගල් සිතියම මත තම්මැන්නාකුලම විද්‍යාලයය
ගූගල් ස්ට්‍රීට් වීව්හි පෙනෙන පරිදි නේරියකුලම් නෙළුකුලම් පාරෙන්තම්මැන්නාකුලම ගමට හැරෙන හන්දිය



බිඳුණ කොරියාව සහ එක්සත් කොරියාවක සිහිනය දකින දූරසාන් දුම්රිය ස්ථානය

(ඉතාම දිගු නිහැඬියාවකින් පසු පෝස්ට් ඒකක් දාන්නට සිතුවෙමි. ඇත්තෙන්ම මෙය පළමුවරට මෙහි පළ වන්නක් නොව, මගේ මුහුණු පොතේ කලින් පළ කරන ලද්දකි)

මේ දවස්වල කොරෝනා වසංගතය ඇරුණම විදේශ ප්‍රවෘත්තිවල නිතර කියවෙන ⁣දෙයක් තමයි උතුරු කොරියානු නායකයගෙ අතුරුදහන් වීම. උතුරු කොරියාව දකුණු කොරියාව කිව්වම එකම රටක් ද? එකම රටක් නම් මේ බෙදීම මොකක් ද?

අපි දන්න දෙයක් තමයි ජර්මනිය කාලෙකට පෙර නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය වශයෙන් රටවල් දෙකකට බෙදිල තිබුණු වග. එහෙම වුණේ දෙවන ලෝක යුද්ධෙදි ජර්මනිය ප්‍රමුඛ අක්ෂ පිළ පරාජය වීමත් සමග සෝවියට් රුසියාව සහ එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර ජාතීන් විසින් ඒ රට බෙදා වෙන් කර ගැනීම නිසා. එහෙනම් කොරියාව බෙදුවෙ කවුද? මොකටද? කලකට පෙර මට හමුවුණු දකුණු කොරියානු මහ බැංකු නිලධාරියෙක් ඒ ගැන කීවෙ මෙහෙමයි. "They were divided because they were powerful, we were divided because we were poor" ඔවුන් ව (ජර්මනිය) බෙදා වෙන් කළේ ඔවුන් බලවත් ව සිටි නිසා,අපව බෙදා වෙන් කළේ අප දුප්පත්ව සිටි නිසා. ඇත්තෙන්ම පසුගිය සියවසේ අවසාන කාර්තුව වන තෙක් ම කොරියාව සමෘද්ධිමත් රටක්ව තිබුණෙ නෑ. 1910 දි ජපාන අධිරාජ්‍යය විසින් යටත් කරගත් කොරියාව (අද උතුර සහ දකුණ ලෙස බෙදී ඇති කොටස් දෙකම එවකට තනි රටක්) 1945 දී දෙවන ලෝක යුද්ධයෙන් පරාජය වී ජපානය මිත්‍ර පක්ෂයට යටත් වන තෙක් ම ජපාන යටත් විජිතයක්වයි පැවතුණේ. ජපන් බස සහ ජපන් සංස්කෘතිය කොරියානුවන් මත බලෙන් පටවනු ලැබුවා. කොටින්ම කොරියාවේ තිබුණු ගහකොළ පවා විනාශ කර පිටින් ගෙනා ශාක එහි වැව්වා. මෙහි කූටප්‍රාප්තිය වුණේ දෙවන ලෝක මහා සංග්‍රාමයේදී කොරියානුවන් වහල් ⁣සේවකයන් මෙන් ජපානයේ වෙනත් විජිතයන්හි සේවයේ යෙදවීමත්, කොරියානු ළඳුන් පැහැරගෙන ජපාන සොල්දාදුවන්ගෙ "සැනසුම් ළඳුන්" (Comfort women) ලෙස හමුදා ගණිකා මඩම් වල සේවයට යෙදවීමත්.

දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන් වනවිට ජපානයට එතෙක් යටත්ව තිබූ කොරියාවේ උතුරු කොටසේ සෝවියට් හමුදාවත් දකුණු කොටසේ එක්සත් ජනපද හමුදාවනුත් රැඳී සිටියා. උත්තරාංශක 38ට උතුරින් වූ උතුරු කොටසේ කෙමියුනිස්ට් හිතවාදී පාලනයක් බිහි කරන්නට සෝවියට් හමුදා කටයුතු කරන අතරේ, දකුණේ දක්ෂිණාංශික හමුදා පාලනයක් එක්සත් ජනපද පාලනය යටතේ බිහිවෙමින් තිබුණා. පැවති තත්ත්වය අනුව උතුරේ ගොවීන් සහ කම්කරුවන්ගේ සහාය එහි කොමියුනිස්ට් පාලනයට පළ වන අතර මධ්‍යම පාන්තිකයන් හා ධනවතුන් දකුණට පළා ආවා. මේ අතර 1948දී එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් කොරියාවේ අනාගතය තීරණය කිරීම සඳහා කොරියානුවන් අතර ඡන්ද විමසීමක් පැවැත්වීමට කටයුතු යෙදුවත් උතුරු කොටසේ පාලනය එය වර්ජනය කළා. ඒ සමග දකුණු කොටසේ එක්සත් ජනපද පාලනය යටතේ කොරියානු ජනරජය පිහිටැවුණු අතර උතුරු කොටසේ සෝවියට් අනුග්‍රහය යටතේ හිටපු කොමියුනිස්ට් ගරිල්ලා නායක කිම් ඉල් සුන් ගේ ප්‍රධානත්වයෙන් කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය පිහිටවනු ලැබුණා.

 උතුරු කොරියාව විසින් 1950 දී දකුණු කොරියාව ආක්‍රමණය කළ අතර කොරියන් යුද්ධය වශයෙන් හඳුන්වන එය අවසන් වූයේ 1953 දී දෙපාර්ශ්වය කොරියානු සටන් විරාම ගිවිසුමට එළඹීමෙනුයි. මෙම යුද්ධයෙන් කොරියානු අර්ධද්වීපයේ එක් කොරියානු රාජ්‍යයක් බිහි කර ගැනීමේ කොරියානු සිහිනය බොඳ වී ගියා. ආසන්න වශයෙන් උත්තතරාංශක 38 ඔස්සේ දිවෙන දේශ සීමාවක් සහ එය දෙපස, එක පසකට කිලෝමීටර 2 බැගින් වන හමුදා ක්‍රියාකාරීත්වයෙන් තොර කලාපයක් (Demilitarized zone- DMZ) ප්‍රකාශයට පත් කෙරුණ අතර, රාජ්‍යයන් දෙක එකිනෙකට අතීශයින් වෙනස් සමාජ-දේශපාලන මාර්ග දෙකක ගමන් ඇරඹුවා. හමුදා පාලනයක් යටතේ විවිධ දේශපාලන හැල හැප්පීම් මැද ඉදිරියට ගිය දකුණු කොරියාව 1988 වන වට ප්‍රජාත්‍රන්තවාදී මාවතට පිවිසුණ අතර පසුගිය සියවසේ අවසන් දශක දෙක තුන තුළ කාර්මීකරණය තුළින් සීග්‍ර දියුණුවක් හා ඉහළ ජීවන තත්ත්වයක් ළඟා කරගැනීමට සමත් වුණා. සෝවියට් අනුග්‍රහය යටතේ නාමික කොමියුනිස්ට් පාලනයකට නතු වූ උතුරු කොරියාව සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමග ආර්ථික වශයෙන් බොහෝ දුරට පිරිහුණා. එහෙත් සෝවියට් පාලන සමයේ ගොඩ නැගුණ බලවත් යුද යාන්ත්‍රණය තවමත් පවත්වාගෙන යාමට සමත් වී ඇති එය ලෝකයෙන් බොහෝ දුරට හුදෙකලා වූ දැඩි මර්දනකාරී පාලනයක් ඇති රාජ්‍යයක් ලෙසයි සැළකෙන්නේ. එරට ජනතාවගේ ජීවන තත්ත්වය ඉතාම පහළ අඩියක පවතින බවත් වාර්තා වෙනවා. එසේ වුවද එරට හමුදාහරිත කලාපයේ දකුණු කොරියානු තීරයට පෙනෙන මානයේ අලංකාර නිවෙස්වලින් යුතු ගම්මාන ඉදි කර ඇත්තේ ලෝකයේ කොතැනත් මර්දනකාරී පාලකයින් අනුගමනය කරන ⁣ලෝකෙට පරකාසේ න්‍යාය අනුවයි.

මේ සියළු කලබැගෑනි වලින් පසුවද කොරියානුවන් තුළ එක්සත් කොරියාවක් පිළිබඳ සිහිනය වියැකී ගොස් නැහැ. ⁣අති නවීන දකුණු කොරියානු කෝරේල් දුම්රිය සේවයේ උතුරු කෙළවරේ අවසාන දුම්රිය ස්ථානය වන දූරසාන් දුම්රිය ස්ථානය ඒ නොවියැකුණ සිහිනයේ සිහිවටනයක්. එම දුම්රිය ස්ථානය ගොඩ නංවා ඇත්තේ උතුර දකුණ යා වන දිනයක දුම්රියෙන් එක්සත් කොරියාවක උතුරු දෙසට සහ දකුණු දෙසට ගමන් කරන මගීන්ට පහසුකම් සැලසීමට හැකි වන පරිදියි. දූරසාන් දුම්රිය ස්ථානයට සහ එයට කිලෝමීටරයකට අඩු දුරකින් පිහිටා ඇති හමුදා හරණ කලාප නැරඹුම් පෙදෙසට යන කෙනෙකුට බිඳුණ කොරියන් අර්ධද්වීපයේ කතාව දැක බලාගත හැකියි.

 හමුදාහරිත කලාප නැරඹුම් පෙදෙසට ඇතුළුවන ස්ථානය

දූරසාන් දුම්රියපොළ
 දූරසාන් දුම්රියපොළ අසළ ඇති ඒ ප්‍රදේශයේ සිතියමක් නරඹන සංචාරකයෝ
 දූරසාන් දුම්රියපොළ අසළ දී
 කොරියාවේ මෑත ඉතිහාසය ඇසි දිසි මාධ්‍යයෙන් පෙන්වන කුටියක්
 යකඩ තිරයෙන් එහා උතුරු කොරියාව
වෙන් කිරීම පහසු නමුත් එක්සත් කිරීම වැර වෑයමෙන් කළ යුත්ත කි. හමුදාහරිත කලාපයේ ඇති මූර්තියක්
උතුරු කොරියානුවන් දකුණු කොරියාවට රහසේ ඇතුළු වීමට කණින ලද උමගක්-‍ මෙම පෙදෙසට කැමරා ගෙන යාම තහනම් බැවින් මෙම ඡායාරූපය ලබා ගත්තේ අන්තර්ජාලයෙනි.

 (අවසන් ඡායාරූපය හැර අනෙක් ඡායාරූප මගේ කැමරාවෙන්)


Wednesday, May 11, 2011

නාලන්දාව අසල බෝඩිම - රෝමයේදී රෝමානුවෙකු වීමි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගම්මානයක් වූ තම්මැන්නාකුලම විදුහලේ සිට කොළඹ රාජකීය විද්‍යාලයයට ඇතුළත් වීම පිළිබඳ කතාව මම කලින් ලිපියක සඳහන් කළෙමි. හද්දා පිටිසර තම්මැන්නාකුලමේ සිට කොළඹ ආ මට විය යුතුව තිබූ පරිදිම නවාතැනක් පිළිබඳ ගැටළුව මතු ව ආයේය. රාජකීය විදුහල අවට සිසුන් නවාතැන් ගන්නා බෝඩිං තිබුණේ නැත. තිබුණත් ඒවා ගැන අපට දැන ගන්නට ක්‍රමයක්ද නොවීය. මෙහිදී පිහිටට ආයේ තාත්තාගේ විදුහල්පති සගයෙකි. චන්ද්‍රපාල අංකල් එවකට පූනෑව විදුහලේ විදුහල්පති වරයා වූ අතර, වෘත්තීය සගයෙකු වශයෙන් තාත්තා සමග ළඟින් ඇසුරු කළ අයෙකි. ඔහුගේ පුතා නාලන්දා විදුහලේ නවය පන්තියේ ඉගෙනුම ලැබූ අතර නාලන්දා විද්‍යාලය අසලම බෝඩිමක නවාතැන් ගෙන සිටියේ ය. චන්ද්‍රපාල අංකල් මේ බෝඩිම පිළිබඳ තාත්තාට සඳහන් කර එහි මා නැවැත්වීමට කටයුතු පිළියෙල කර දුන්නේ ය. ඒ බෝඩිම තිබුණේ මරදානේ පන්සල පාරට සමාන්තරව දිවෙන මරික්කාර් පෙදෙස නැමැති පටු මගෙහි ය. රාජකීය විදුහලට නොව නාලන්දයටම යන්නට පහේ පන්තිය වන තෙක්ම අදිටන් කරගෙන සිටි මම ඒ අනුව  නාලන්දාවේ මිදුලේ සිට දිනපතා රාජකීය විදුහලට යන්නට පටන් ගත්තෙමි.

මගේ බෝඩිමෙහි ඇන්ටිට පුත්තු හතර දෙනෙක්ද දුවක් ද සිටිය හ. මා එහි යන විට පුත්තු හතර දෙනාගෙන් බාලයා වූ චාමිකර මල්ලි නාලන්දා විදුහලේ, මට මතක හැටියට හතර වැනි පන්තියේ, සිසුවෙකි. අයියලා හතර දෙනාම ඔහුට වඩා බෙහෙවින් වැඩිමාල් වූ බැවින් පාසැල් ගමන අවසන් කර සිටිය හ. අද මෙන් නොව පාසැල අවට පදිංචි ළමයින්ට වැඩි අමාරුවකින් තොරව නීතියේ හැටියට පාසැල් දොර ඇරුණ යුගයක් වූ හෙයින්දෝ ඔවුන් තිදෙනාමත් අකුරු කර තිබුණේ නාලන්දාවෙහි ය.එහෙත් ඒ තිදෙනම අධ්‍යාපනය අතින් සාර්ථකත්වයක් ලබා නොතිබුණි. තෙවැනියා වූ ජානක අයියා මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහිව සිටි අතර දරුවන් කිසිවෙකුත් එවකට රැකියාවක යෙදී නොසිටිය හ. ඇන්ටිගේ එකම දුව වූ සුජිතා අක්කා එවකට ගෝතමී බාලිකාවෙහි 10 වසර ශිෂ්‍යාවකි. සාමාන්‍ය පෙළට පෙනී සිටීමෙන් අනතුරුව ඇගේ පාසැල් ගමන ද නැවතුණි.

බෝඩිමෙහි නේවාසිකයන් සංඛ්‍යාව කලින් කල වෙනස් වූ නමුත් මා එහි ගත කළ 81-85 වකවානුවේ එහි නවාතැන් ගත් සිසුන් අතරින් මාත් තව දෙදෙනෙකුත් හැර අන් සියල්ලෝම නාලන්දියයෝ වූ හ. නාලන්දියයන් නොවූ අනෙක් දෙදෙනා උසස්පෙළ සඳහා පාඩම් කිරීමට ටික කලකට එහි නැවතුණ ආනන්දයේ සිසුන් දෙදෙනෙකි.

ජානක අයියාගෙන් අපගේ සීමිත මුල්‍ය සම්පත් බේරා ගැනීම පිළිබඳ ගැටළු තිබුණේ වුවද බෝඩිමේ ජීවිතය විනෝදජනක විය. ඇතැම් දිනෙක නාලන්දා පිටියට ගොස් ක්‍රිකට් සෙල්ලම් කිරිමත් බොහෝ දිනවල සවසට කැරම් සෙල්ලම් කිරීමත් කළෙමු. මට බෝඩිමට මග පෙන්වූ චන්ද්‍රපාල අංකල්ගේ පුතා වූ ලාල් අයියා ‍එවකට වැඩිමල්ම සහ පැරණිම නේවාසිකයා වු අතර, නිරායාසයෙන්ම සියළු නේවාසිකයන්ගේ නායකයා විය. ඔහුත් සුජිතා අක්කාත් අතර පෙම් පළහිලව්වක් ද වූ නමුත් පොදු වෙබ් අඩවියක එයට අදාල රසකතාසඳහන් කිරීම සදාචාරාත්මක නොවන නිසාත්, සින්ඩි වලින් පන්නා දැමීමට පවා ඉඩ ඇති නිසාත් ඒවා ගැන කීමෙන් වැළකී සිටිමි!.

රාජකීය විදුහලේ සිසුවෙක්වූ බැවින් මට නිතරම නාලන්දියයන්ගේ වාචික අතවරයන්ට ලක්වන්නට සිදු වී තිබීම බෝඩිමේ ජීවිතය සිහිපත් කරන විට මට අමතක නොවේ. නාලන්දාවේ සිසුන් නිරන්තරවම රාජකීය විද්‍යාලය දෙස බැලුවේ ඊර්ෂ්‍යා පරවශ නෙතිනි. කෙතරම් පදනම් විරහිත ප්‍රකාශයකට වුවද පෙරළා ප්‍රතිචාර දැක්වීම කළ හැකි නොවූයේ "ජනවාර්ගික" අසමතුලිතතාවය නිසා ය. මහ ජාතිය නාලන්දීය වූ අතර මම සුළු ජාතිකයෙක් වීමි. දැන් බ්ලොග් අවකාශයෙන් අතුරුදන්ව සිටින "ටැබූ" ඔහුගේ ලිපියක සඳහන් කළ පරිදි අද රාජකීය විද්‍යාලය කොළඹ නගරයේ තවත් එක් පාසැලක් පමණක් වී ඇතත් අප පාසැල් යන කාලයේ දී රාජකීය විදුහලෙහි තත්ත්වය ඊට වෙනස් වූ බව කිව යුතු ය. එයට හේතුව යම් කාලයක රටේ දේශපාලන සහ ආර්ථික බලය හෙබවූ පන්තියක නියෝජනයක් වශයෙන් එයට හිමි ව තිබූ සංකේතාත්මක වැදගත් කමම නොවේ (රාජකීය විද්‍යාලයේ ඒ භූමිකාව වෙනම සාකච්ඡා කළ යුතු විෂයකි). ඒ කාලය වන විටත් ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ  අන් සියළුම පාසැල් තිබුණේ භෞතික සහ මානව සම්පත් අතින් රාජකීය විදුහලට පිටුපසිනි. කොළඹ ජාත්‍යාන්තර විදුහල හැරුණ කොට තවත් ජාත්‍යාන්තර පාසැල් විවෘත වෙමින් තිබූ නමුත් ඒවාට අද තිබෙන පහසුකම්වත් පිළිගැනීමවත් තිබුණේ නැත. එබැවින් ඉහළ පන්තියේ දරුවන් තවදුරටත් රාජකීය විද්‍යාලයේ පළමු වසරට ඇතුළත් කරවීමට උත්සාහ දැරුණු අතර ශිෂ්‍යත්වය සමත් සිසුන් බහුතරයකගේ පළමු තේරීම වූයේද රාජකීයයයි. එබැවින් බෝඩිමේදී මා වෙත එල්ල කෙරුණේ ලකුණු මදි වීම නිසා රාජකීය විදුහලට යන්නට බැරිව නාලන්දයට යන්නට සිදු වීම නිසා ඇති වූ ඊර්ෂ්‍යාවයැයි මම කල්පනා කරමි. නැතිනම් තමා උගන්නා පාසැල අන් විදුහල් සියල්ලට වඩා උසස්යැයි අවංකව විශ්වාස කරන කෙනෙකුට ඒ අනෙක් විදුහල්වලට ගරහන්නට හේතුවක් තිබිය නොහේ.

පාසැල් නිවාඩු  දුන් දින රාත්‍රියේ බෝඩිමෙහි "සංගීත රාත්‍රියයක්" පැවැත්වීම අපේ සම්ප්‍රදායක් ව තිබුණි. කොහු ටින් කබල් ආදියෙන් සංගීතවක් වූ අපගේ සංගීත රාත්‍රිය අවට පේළි ගෙවල්වල නේවාසිකයන්ට කර්ණ රසායනයක් වූවාට සැක නැත. එකලද අද මෙන් දුරකථන සුලබ වී නම් ඇතැම් විට පොලීසියද සංගීතය නරඹන්නට එන්නට ඉඩ තිබුණි!. අපේ මේ සංගීත රාත්‍රිය මෙන්ම අප විසින් බෝඩිමේ සංවිධානය කළ වෙනත් අවස්ථාවන්හිදී ද  අප ඒවා ආරම්භ කළේ පාසැල් ගීය ගැයීමෙනි. අවසන් කළේ ජාතික ගීයෙනි. නේවාසිකයන් බහුතරය නාලන්දීය වීම නිසා පාසැල් ගීය වශයෙන් ගැයුණේ නාලන්දා ගීයයි. ආනන්දියයන් දෙදෙනා සිටින කාලයේ ආනන්ද ගීයද ගැයු බව මතකය. මේ නිසා මට "පුන් සඳේ සිරි දිනූ රන් පුතුන්" හෝ " The School of our farthers" හෝ තරමටම ඒ දෙවිදුහලේ විදුහල් ගීද කටපාඩම් විය. එහිදී ද මට රඟ දැක්වීමට සිදු වූයේ සුළු ජාතික භූමිකාවය ! මමද ඔවුන්ගේ ගීය ඔවුන් හා එක්ව ගැයූවෙමි.

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු මම ඒ බෝඩිමෙන් සමු ගත්තෙමි. ඒ, ජානක අයියාගේ මත්ද්‍රව්‍ය භාවිතය එන්න එන්නම වැඩි වූ බැවින්, උසස්පෙළ වැනි විභාගයකට සූදානම් වීමට සුදුසු පරිසරයක් එවකට එහි නොවූ නිසාය. මෑතකදී මම වෙනත් අවශ්‍යතාවයකට නාලන්දාව අසලට ගිය විටෙක බෝඩිම ගැන විපරම් කළත් ඒ පවුල ගැන සොයා ගන්නට බැරි විය. ඒ පෙදෙස එදාට වඩා බොහෝ වෙනස් ව ඇත. ඒ බෝඩිම අද එහි නැතත්, එහිදී නාලන්දියයන් හා එක්ව සිටගෙන නාලන්දා ගීය ගැයූ හැටි උත්සවයක ගැයෙන ජාතික ගීයට සීරුවෙන් සිට ගෞරව කරන ඇතැම් අවස්ථාවක අදද මගේ සිහියට නැගේ.

Thursday, March 10, 2011

ඔබ මා හමු වුණ මේ ඉර හඳ යට

ඔබ මා හමු වුණ මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
තනියට මගෙ ළඟ ඉනු මැනවි
තනියට මගෙ ළග ඉනු මැනවි

ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ළය පිබිදී පර වූ පෙම් මල//
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවි


කදුළ සුසුම නොහෙළා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කළ හැටි//
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවි


ඔබ මා හමු වුණ....


අප හමු වූ දා මගේ සිතෙහි ඔබ කෙරෙහි ඇති වූ ආදරය කිසිවෙකුට හෙළි නොකර සිතෙහි සඟවා ගෙන සිටියා. අපේ ආදරය නිසා හෙළන්නට වු කඳුළු, සුසුම් අපි නොහෙළා සිර කරගෙන සිටියා. කිසි දිනෙක හමු නොවන මිරිඟු සයුරක් බව දැන දැනත් අපි අපේ ආදරය සො‍යා පිය මැන්නා. සැබෑ භෞතික ලෝකයේ අපට ගතින් එක්ව ඉන්නට නොහැකි වුණත් මා මිය ගිය දින හෝ ඔබ මගේ තනියට මා ළඟට එන්න.

සුනිල් ආර්. ගමගේ ගේ මේ සංවේදී පද රචනය ගුණදාස කපුගේගේ අපුර්ව සංගීත සංයෝජනයෙන් ගැයුවේ කරුණාරත්න දිවුල්ගනේ

(පද රචනය සහිත jpeg ගොනුව උපුටා ගැනුණේ "අනං මනං" වෙබ් අඩවියෙන්)