• ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~නිදහසේ උපන් සිතුවිලි නිදහස්ව පළ කරනු සඳහා සයිබර් අවකාශයේ ඉදි කළ නිවහන~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Friday, May 8, 2020

නොකල් වැස්ස

තනිකම කරන සඳ සෝබර හද දැදුරූ

වටකොට මහද වූවා මුළු ලොව අඳුරූ

වී නම් යමක් ඒ මොහොතෙහි මට සොඳුරූ

වදනක් පමණි රහසින් ඔබ මට කෙඳූරූ


ජීවන ගගන නැඟ ආ සඳ අඳුරු වළා

වැළපුණි මහද, තනිකම හා එකතු වෙලා

දිරි දී, නැගෙන්නට ඒ දුක ඉවත හෙළා

සඳවත නුඔ මගේ ලොව යළි එකළු කළා


වියළී ඉරිතැලී කතරක් වී තිබුණූ

හදබිම තව වරක් නිල් උයනක් කෙරුණු

ජීවන දියෙන් පුරවාලන හද පොකුණූ

වැසි දිය ඔබය, නොකලක වුව ඇද හැලුණූ

Thursday, May 7, 2020

රජරට පාසැලේ මතකයන්

මාගේ ළමා වියේ අවුරුදු 6ක් පමණ මා ගත කළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙළවරක පිහිටි තම්මැන්නාකුලම ගම්මානය  පසුබිම් කොට මෙයට පෙර මා විසින්  “අත්තප්පා“ සහ “දෙමළ කලබලයට මැදි වීමි“ යන හිසින් පෝස්ට් දෙකක් පළ කළෙ මි. ඊටත් පෙර මවිසින් ලියන ලද "හරියට ඇලවූ වැරැදි ස්ටිකරය" පෝස්ටුවේ කියැවෙන පරිදි කොළඹ පාසැලට එන්නට පෙර මම අවුරුදු පහක් අ/තම්මැන්නාකුලම ප්‍රාථමික විදුහලේ එහි අනෙක් දරුවන් හා එක් ව අකුරු කෙරුවෙමි.

බිං කුරුල්ලන් අඳිමින් සිට පස්වන ශෙු්ණියෙන් හෝ සමහරවිට ඊටත් පෙර ම පාසැල හැර ගොස් හේන් කෙටීමට එක් වීම ඉරණම් කරගෙන සිටි ඒ පාසැලේ දරුවන්ට හය හතර කියා දීමට එහි සිටි ගුරු දෙපළ වූ මගේ මා පියන් ට මහත් වෙහෙසක් දැරීමට සිදු විය. ඒ සඳහා පාසැලේ තිබූ සම්පත් ද සීමිත විය. දෙමාපියන් දරුවන් පාසැල් එව්වේ හේන් වැඩ නැති කාලයට පමණි. හේන් කාලයට යන්තම් කැත්ත උදැල්ල එසැවිය හැකි පිරිමි දරුවෝ දෙමාපියන් සමග හේනට ගියහ. ඒ වයසේ දැරිවියෝ වැඩට පළට උදව්වට හෝ කුඩා නැගණියන් හෝ මළණුවන් බලා කියා ගැනීමට නිවසේ නතර කර ගැනුණි. මේ හේතුවෙන් හේන් කොටන, කුඹුරු වපුරන අස්වනු නෙළන කාලවල පාසැලේ පැමිණී ම පහත වැටුණු අතර පාසැල් ආවේ ඉහත කී රාජකාරි කිරීමට තරම් වයසින් නොවැඩුණු දරුවෙකු පමණි. මේ තත්ත්වය යටතේ පාසැලේ හෝ අධ්‍යාපනයේ අභිවෘද්ධියක් ගැන දෙමව්පියන් ගේ විශාල උනන්දුවක් නො වීය. තිබුණත් ඒ් සඳහා දායක වීමට තරම් ඉගෙනුමක් හෝ ආර්ථිකයක් ඒ් වැඩි දෙනෙකුට තිබුණේ ද නැත. එසේ වුව ද මගේ දෙමාපියන් ප්‍රදේශයේ ඒ කාලයේ සේවය කළ බොහෝ ගුරුවරුන් මෙන් හේන් ගොවියන් බවට පත් නො වූ නිසා පූර්ණ කාලීන ව පාසැලේ වැඩ කටයුතු වල නිරත වීමට ඔවුනට කාලය තිබුණි. ඔවුන් දෙදෙනාට වයස් කාණ්ඩ පහකට අයත් පන්ති පහකට එකවර ඉගැන්වීම ගැටළුවක් නොවූ යේ එක පන්තියක සිසුන් 10-15 කට වඩා නො වීම නිසා ය.

මා මේ කියන කාලය ලංකාවේ රූපවාහිනී සේවා ජංගම  දුරකථන සේවා නො තිබුණු අවධිය යි. ඒ අහල ගම් හතක විදුලිය හෝ රැහැන් දුරකථන හෝ නො තිබුණි. ළඟ ම පිහිටි විදුලිය සහිත ස්ථානය වූයේ මැදවච්චිය දුම්රිය පොළ අසල පිහිටි, ප්‍රදේශයේ ජනතාව "ඉස්ටේසන් මැදවච්චිය" නමින් හැඳින් වු කුඩා කඩ මණ්ඩිය ය. මන්නාරම ට විදුලිය ගෙන යන අධි වෝල්ටීය විදුලි කණු පෙළක් මැදවච්චිය මන්නාරම ඔස්සේ මාර්ගයට සමාන්තරව ඊට මඳක් ඈතින් පිහිටා තිබුණු බව මතක නමුත් එයින් සෙට්ටිකුලම කඩ මණ්ඩියට හෝ විදුලිය ලබා දී තිබුණේ නැත.

මේ තත්ත්වය යටතේ මගේ මවුපියෝ ඒ දරුවනට ලෝකය කියා දීමටත් දිවයිනේ දියුණු පළාත් වල දරුවන්ට ලැබෙන අධ්‍යාපනයෙන් අසක් හෝ ලබා දීමටත් යොදා ගත්තේ ගුවන් විදුලිය යි. අප සතුව තිබුණු ටෝච් බැටරි වලින් ක්‍රියා කරන යුනික් ගුවන් විදුලි යන්ත්‍රය යොදාගෙන, ගුරු නිවාසය ඉදිරියේ පෙළ සැදෙමින් රවුම් සැදෙමින් උදේ වරුවේ විකාශය වූ ගුවන් විදුලි අධ්‍යාපන සේවයේ වැඩ සටහන් වල ක්‍රියාකාරකම් කළ හැටි මට සිහි වේ. මෙම උනන්දුවේ ප්‍රතිඵලයක් හැටියට, ග්‍රාමීය පාසැල් වලට යුනිසෙෆ් ආයතනය විසින් සපයන ලද ඉගෙනුම් ආධාරක කට්ටලයක්, යුනිසෙෆ් ලාංඡනය යෙදූ ගුවන්විදුලි යන්ත්‍රයක් සහ අළුත් ම පා පැදියක් පසු කාලයක දී පාසැලට ලැබුණි. යුනිසෙෆ් ඉගෙනුම් කට්ටල වල අඩංගු වූ ජර්මනිය, නෙදර්ලන්තය වැනි රට වල නිෂ්පාදිත පාට කූරු, දිය සායම්, ප්‍රිස්ම, අත් කාච විවිධ හැඩ තල ආ දිය එවකට කොළඹ නගරයෙන් හෝ මිල ට ගත නො හැකි ව තිබූ, අප විශ්මයට පත් කළ උසස් තත්ත්වයේ නිෂ්පාදන බව කිව යුතු ය.


තවමත් මා සතුව තිබෙන 1970 මිලට ගත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත යුනික් ගුවන් විදුලි යන්ත්‍රය, එහි උපදෙස් අත්පොත සහ සේවා ටැගය - මුල දී ගුවන් විදුලි අධ්‍යාපන සේවයේ වැඩසටහන් ශ්‍රවණය කළේ මේ යන්ත්‍රයෙනි

මේ කාලයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන රජරට සේවය ආරම්භ කර තිබුණු අතර අද මෙන් ගුවන්විදුලි සේවා සුලභ නො වූ ඒ් කාලයේ ඒ් සඳහා භාවිත කරන ලද්දේ  මගේ මතකයේ හැටියට, එතෙක් නුවර කලාවියට සිංහල පළමුවන සේවය (අද හඳුන්වන ආකාරයට "ස්වදේශීය සේවය") විසුරුවා හැරීම පිණිස යො දා ගත් කැකිරාව විකාශන මධ්‍යස්ථානයේ මධ්‍යම තරංග  සංඛ්‍යාතය යි. මේ නිසා එතෙක් මධ්‍යම තරංග ඔස්සේ පළමුවන සේවය ට සවන් දුන් අනුරාධපුරය හා අවට ප්‍රදේශවල ජනතාවට ඒ් සේවයට සවන් දීමට නොහැකි ව ගිය අතර එය නිරන්තර ගුවන්විදුලි ශ්‍රාවිකාවක වූ මගේ මවගේ බලවත් නො සතුටට හේතු වී ය. කෙසේ වුවද අළුතින් ඇරඹුණ රජරට සේවයේ රජරට පාසැල නමින් පැය භාගයක වැඩ සටහනක් සති පතා සවස් භාගයේ විකාශය කරන ලදී. එක් එක් දින මෙය ට සහභාගි වූයේ තෝරා ගන්නා ලද රජරට කලාපයේ පාසැලක සිසුන් ය. අප මේ වැඩ සහනේ නිරන්තර ශ්‍රාවකයන් වූ අතර, මගේ දෙමාපියයෝ මේ වැඩ සටහනට සිය පාසැල ද සහභාගි කරවීමට සිහින මවන්නට වූ හ. මෙහි දී මා සඳහන් කළ යුත්තේ පොදුවේ රජරට ප්‍රදේශය ම ඒ් කාලයේ අදට වඩා බෙහෙවින් රටේ අන් ප්‍රදේශ වලින් දුරස්ථ දුෂ්කර ප්‍රදේශයක් සේ සැළකුණේ වුවද,  එහිත් උතුරු ම කොණේ උතුරුමැද සහ උතුරු පළාතට මායිම් ව හුදෙකලා ව පිහිටි සිංහල ගම්මානයක් වූ තම්මැන්නාකුලම සලකන ලද්දේ දුෂ්කර ප්‍රදේශ අතරිනුත් දුෂ්කර ප්‍රදේශයක් වශයෙන් බව ය. එබැවින් වැඩ සටහන පටිගත කිරීම සඳහා ගුවන් විදුලි සේවයේ කණ්ඩායමක් එහි ගෙන්වා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් වූයේ නැත. අවසානයේ අනුරාධපුරයට කළ යාම් ඊම් ගණනකින් සහ දීර්ඝ ව්‍යායාමයකින් පසුව ගුවන්විදුලි කණ්ඩායම පැමිණෙන දිනය ස්ථිර විය. වැඩ සටහනට පුහුණුවීම් ලහි ලහියේ කෙරුණු අතර දුරුකතර ගෙවාගෙන පැමිණෙන ගුවන්විදුලි කණ්ඩායමට ආගන්තුක සත්කාර කිරීමට ද යුහුසුළුව කටයුතු සම්පාදනය කරන ලදී. එහෙත් අපගේ බලාපොරොත්තු කඩ කරමින් නියමිත දිනය ආසන්න වත් ම විදුලි පණිවුඩයකින් දැනුම් දෙන ලද්දේ ගුවන්විදුලි කණ්ඩායම කිසියම් හේතුවක් නිසා (හේතුව දැන් මගේ මතකයේ නොමැත) එ දිනට නොපැමිණෙන බව යි. අද අපේ රටේ ඔ්නෑම කෙළවරක දරුවෙකුට රූපවාහිනියේ පෙනී සිටීම පවා එතරම් අරුමයක් නො වේ. එබැවින්, ගුවන් විදුලි යන්ත්‍රයක් හිමි කර ගැනීමත් සුඛෝපභෝගීත්වයක් වූ යුගයක, පෙදෙසක, විසූ අප එදා එයින් පත් වූ අපේක්ෂා භංගත්වය ඒ් වූ පරිද්දෙන් ම අවබෝධ කර ගැනීමට මෑත භාගයේ උපන් අයෙකුට  හැකි යැයි මම නො සිත මි. කෙසේ වුවද නැවත නැවතත් කෙරුණු ලිපි හුවමාරු ආදියෙන් පසු වැඩ සටහන අනුරාධපුරයේ සිය මැදිරියේ දී පටිගත කිරීමට ගුවන් විදුලි සේවය විසින් දිනයක් වෙන් කර දෙන ලදී. ඒ් අනුව මට මතක හැටියට 1980 අවුරුද්දේ දිනයක අනුරාධපුරයේ පිහිටි රජරට සේවයේ පටිගත කිීරීමේ මැදිරියේ දී අ/තම්මැන්නාකුලම ප්‍රාථමික විද්‍යාලය යේ රජරට පාසැල වැඩ සටහන පටිගත කරන ලදී.

වැඩ සටහන නියමිත දිනයේ දී ගුවන් විදුලියෙන් විකාශය වූ අතර ගුරු නිවාසයේ ගුවන් විදුලියෙන් අපත්, ගුවන් විදුලි යන්ත්‍ර නොමැති නිවෙස්වල දරුවෝත් එයට මහත් ප්‍රීතියෙන් සවන් දුනිමු. මේ මෙරටට කැසට් පටිගත කිරීමේ යන්ත්‍ර ප්‍රචලිත වෙමින් පැවති අවධිය වුවද අප සතුව හෝ ගමේ වෙන අයෙක් සතූව පටිගත කිරීමේ යන්ත්‍රයක් නො තිබුණු බැවින් වැඩ සටහන නැවත සවන් දීම සඳහා පටිගත කර ගන්නට අපට නොහැකි වීම අපගේ ඉමහත් දොම්නසට කරුණක් විය. මෙයට මාස කීපයකට පසු වරායේ සේවය කළ ලොකු මාමා (අම්මාගේ වැඩිමහල් සහෝදරයා) කැසට් රෙකෝඩරයක් අපට තෑගි කළ විට එදා වැඩ සටහන පටිගත කර ගැනීමට නො හැකි වීමේ අඩු පාඩුව අපට වඩා ත් තදින් දැනුණි.

මේ අතර අපට ආරංචි වූයේ අසල්වැසි ගම්මානයක් වූ ඉරට්ට පෙරියකුලමේ නිවෙසක  අපේ "රජරට පාසැල"වැඩ සටහනේ කොටසක් පටිගත කර ඇති බවයි. ගුවන් විදුලියට සවන් දෙමින් සිටිය දී අසල්වැසි ගමක නම කියවෙනු අසා විමසිලිමත් වූ ඔවුන් වැඩ සටහනේ මැද සිට ඉතිරි කොටස පටිගත කර ඇති බව කියන ලදී. මෙයින් අමන්දානන්දයට පත් මගේ මව කෙසේ හෝ පණිවුඩයක් යවා කැසට් පටය ගෙන්වා ගැනීමට සමත් වූවා ය. මෙයින් පිටපතක් ලබා ගත් අප එය සුරැකි ව තබා ගතිමු. ඒ පිටපත ලබා ගත් ආකාරය ද මෙහි දී සඳහන් කිරීම වටින්නේ යැයි සිතේ. ඒ කාලයේ පමණක් නොව ඉන් බොහෝ කාලයක් ගත වන තෙක් ද කැසට් පටයක පිටපත් ලබා ගැනීමට අවශ්‍ය වූ විට අප එය කළේ කැසට් පටය එක යන්ත්‍රයක වාදනය වන්නට සලස්වා, වෙනත් යන්ත්‍රයක් එහි ස්පීකරය අසලින් තබා පටිගත කිරීම ය. මෙහි දී බාහිර පරිසරයේ ශබ්ද, වාහන ශබ්ද, ළිං වලින් වතුර අදින ශබ්ද පමණක් නොව කැසට් යන්ත්‍ර දෙකේ මෝටර ශබ්ද ද පටිගත වීම නිසා පිටපතේ ගුණාත්මය විශාල වශයෙන් පහළ වැටුණි. අසූව දශකයෙන් පසු මේ කාර්යය සඳහා ඉලෙක්ට්‍රොනිකව කැසට් පිටපත් කිරීමේ පහසුකම ඇති රෙකෝඩ් බාර් බිහි වූ අතර ඊටත් පසුව කැසට් පට දෙකක් වාදනය කළ හැකි යන්ත්‍ර වෙළඳ පොළට ආ පසු කැසට් පිටපත් කිරීම නිවසේ දීම උසස් ගුණාත්මයෙන් කර ගත හැකි විය.

 2004 වසරේ දී පමණ මම මා සතුව තිබූ කැසට් පටයෙන් මගේ පරිගණකයට එම වැඩසටහනේ ඩිජිටල් පිටපතක් ලබා ගත් අතර කොරෝනා නිවාඩුවේ විවේක පාඩුව පරණ බැකප් ෆයිල් අවුස්සා බලන මට  අද යළි එම ඩිජිටල් පිටපත හමු විය.

මුල් කැසට් පිටපත ද මගේ කැසට් එකතුවේ තිබෙනවා විය හැකි වුවත්, දෛවයේ සරදමකට මෙන් එම කැසට් පට වාදනය කර බැලිය හැකි ක්‍රියාකාරී තත්ත්වයේ කැසට් වාදන යන්ත්‍රයක් එදා 1980 දී මෙන් අදද අප නිවස පැත්ත පළාතක නැත!


වසර කීපයකට පෙර යළි තම්මැන්නාකුලම ගමට ගිය ගමනේ ඡායාරූප සහ 1978-80 වකවානුවේ ඡායාරූප සමග වීඩියෝ මාධ්‍යයට පෙරළන ලද 1980 පටිගත කළ රජරට පාසැල වැඩ සටහන.

මගේ කැසට් එකතුව


 ගූගල් සිතියම මත තම්මැන්නාකුලම විද්‍යාලයය
ගූගල් ස්ට්‍රීට් වීව්හි පෙනෙන පරිදි නේරියකුලම් නෙළුකුලම් පාරෙන්තම්මැන්නාකුලම ගමට හැරෙන හන්දිය



බිඳුණ කොරියාව සහ එක්සත් කොරියාවක සිහිනය දකින දූරසාන් දුම්රිය ස්ථානය

(ඉතාම දිගු නිහැඬියාවකින් පසු පෝස්ට් ඒකක් දාන්නට සිතුවෙමි. ඇත්තෙන්ම මෙය පළමුවරට මෙහි පළ වන්නක් නොව, මගේ මුහුණු පොතේ කලින් පළ කරන ලද්දකි)

මේ දවස්වල කොරෝනා වසංගතය ඇරුණම විදේශ ප්‍රවෘත්තිවල නිතර කියවෙන ⁣දෙයක් තමයි උතුරු කොරියානු නායකයගෙ අතුරුදහන් වීම. උතුරු කොරියාව දකුණු කොරියාව කිව්වම එකම රටක් ද? එකම රටක් නම් මේ බෙදීම මොකක් ද?

අපි දන්න දෙයක් තමයි ජර්මනිය කාලෙකට පෙර නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය වශයෙන් රටවල් දෙකකට බෙදිල තිබුණු වග. එහෙම වුණේ දෙවන ලෝක යුද්ධෙදි ජර්මනිය ප්‍රමුඛ අක්ෂ පිළ පරාජය වීමත් සමග සෝවියට් රුසියාව සහ එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර ජාතීන් විසින් ඒ රට බෙදා වෙන් කර ගැනීම නිසා. එහෙනම් කොරියාව බෙදුවෙ කවුද? මොකටද? කලකට පෙර මට හමුවුණු දකුණු කොරියානු මහ බැංකු නිලධාරියෙක් ඒ ගැන කීවෙ මෙහෙමයි. "They were divided because they were powerful, we were divided because we were poor" ඔවුන් ව (ජර්මනිය) බෙදා වෙන් කළේ ඔවුන් බලවත් ව සිටි නිසා,අපව බෙදා වෙන් කළේ අප දුප්පත්ව සිටි නිසා. ඇත්තෙන්ම පසුගිය සියවසේ අවසාන කාර්තුව වන තෙක් ම කොරියාව සමෘද්ධිමත් රටක්ව තිබුණෙ නෑ. 1910 දි ජපාන අධිරාජ්‍යය විසින් යටත් කරගත් කොරියාව (අද උතුර සහ දකුණ ලෙස බෙදී ඇති කොටස් දෙකම එවකට තනි රටක්) 1945 දී දෙවන ලෝක යුද්ධයෙන් පරාජය වී ජපානය මිත්‍ර පක්ෂයට යටත් වන තෙක් ම ජපාන යටත් විජිතයක්වයි පැවතුණේ. ජපන් බස සහ ජපන් සංස්කෘතිය කොරියානුවන් මත බලෙන් පටවනු ලැබුවා. කොටින්ම කොරියාවේ තිබුණු ගහකොළ පවා විනාශ කර පිටින් ගෙනා ශාක එහි වැව්වා. මෙහි කූටප්‍රාප්තිය වුණේ දෙවන ලෝක මහා සංග්‍රාමයේදී කොරියානුවන් වහල් ⁣සේවකයන් මෙන් ජපානයේ වෙනත් විජිතයන්හි සේවයේ යෙදවීමත්, කොරියානු ළඳුන් පැහැරගෙන ජපාන සොල්දාදුවන්ගෙ "සැනසුම් ළඳුන්" (Comfort women) ලෙස හමුදා ගණිකා මඩම් වල සේවයට යෙදවීමත්.

දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන් වනවිට ජපානයට එතෙක් යටත්ව තිබූ කොරියාවේ උතුරු කොටසේ සෝවියට් හමුදාවත් දකුණු කොටසේ එක්සත් ජනපද හමුදාවනුත් රැඳී සිටියා. උත්තරාංශක 38ට උතුරින් වූ උතුරු කොටසේ කෙමියුනිස්ට් හිතවාදී පාලනයක් බිහි කරන්නට සෝවියට් හමුදා කටයුතු කරන අතරේ, දකුණේ දක්ෂිණාංශික හමුදා පාලනයක් එක්සත් ජනපද පාලනය යටතේ බිහිවෙමින් තිබුණා. පැවති තත්ත්වය අනුව උතුරේ ගොවීන් සහ කම්කරුවන්ගේ සහාය එහි කොමියුනිස්ට් පාලනයට පළ වන අතර මධ්‍යම පාන්තිකයන් හා ධනවතුන් දකුණට පළා ආවා. මේ අතර 1948දී එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් කොරියාවේ අනාගතය තීරණය කිරීම සඳහා කොරියානුවන් අතර ඡන්ද විමසීමක් පැවැත්වීමට කටයුතු යෙදුවත් උතුරු කොටසේ පාලනය එය වර්ජනය කළා. ඒ සමග දකුණු කොටසේ එක්සත් ජනපද පාලනය යටතේ කොරියානු ජනරජය පිහිටැවුණු අතර උතුරු කොටසේ සෝවියට් අනුග්‍රහය යටතේ හිටපු කොමියුනිස්ට් ගරිල්ලා නායක කිම් ඉල් සුන් ගේ ප්‍රධානත්වයෙන් කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය පිහිටවනු ලැබුණා.

 උතුරු කොරියාව විසින් 1950 දී දකුණු කොරියාව ආක්‍රමණය කළ අතර කොරියන් යුද්ධය වශයෙන් හඳුන්වන එය අවසන් වූයේ 1953 දී දෙපාර්ශ්වය කොරියානු සටන් විරාම ගිවිසුමට එළඹීමෙනුයි. මෙම යුද්ධයෙන් කොරියානු අර්ධද්වීපයේ එක් කොරියානු රාජ්‍යයක් බිහි කර ගැනීමේ කොරියානු සිහිනය බොඳ වී ගියා. ආසන්න වශයෙන් උත්තතරාංශක 38 ඔස්සේ දිවෙන දේශ සීමාවක් සහ එය දෙපස, එක පසකට කිලෝමීටර 2 බැගින් වන හමුදා ක්‍රියාකාරීත්වයෙන් තොර කලාපයක් (Demilitarized zone- DMZ) ප්‍රකාශයට පත් කෙරුණ අතර, රාජ්‍යයන් දෙක එකිනෙකට අතීශයින් වෙනස් සමාජ-දේශපාලන මාර්ග දෙකක ගමන් ඇරඹුවා. හමුදා පාලනයක් යටතේ විවිධ දේශපාලන හැල හැප්පීම් මැද ඉදිරියට ගිය දකුණු කොරියාව 1988 වන වට ප්‍රජාත්‍රන්තවාදී මාවතට පිවිසුණ අතර පසුගිය සියවසේ අවසන් දශක දෙක තුන තුළ කාර්මීකරණය තුළින් සීග්‍ර දියුණුවක් හා ඉහළ ජීවන තත්ත්වයක් ළඟා කරගැනීමට සමත් වුණා. සෝවියට් අනුග්‍රහය යටතේ නාමික කොමියුනිස්ට් පාලනයකට නතු වූ උතුරු කොරියාව සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමග ආර්ථික වශයෙන් බොහෝ දුරට පිරිහුණා. එහෙත් සෝවියට් පාලන සමයේ ගොඩ නැගුණ බලවත් යුද යාන්ත්‍රණය තවමත් පවත්වාගෙන යාමට සමත් වී ඇති එය ලෝකයෙන් බොහෝ දුරට හුදෙකලා වූ දැඩි මර්දනකාරී පාලනයක් ඇති රාජ්‍යයක් ලෙසයි සැළකෙන්නේ. එරට ජනතාවගේ ජීවන තත්ත්වය ඉතාම පහළ අඩියක පවතින බවත් වාර්තා වෙනවා. එසේ වුවද එරට හමුදාහරිත කලාපයේ දකුණු කොරියානු තීරයට පෙනෙන මානයේ අලංකාර නිවෙස්වලින් යුතු ගම්මාන ඉදි කර ඇත්තේ ලෝකයේ කොතැනත් මර්දනකාරී පාලකයින් අනුගමනය කරන ⁣ලෝකෙට පරකාසේ න්‍යාය අනුවයි.

මේ සියළු කලබැගෑනි වලින් පසුවද කොරියානුවන් තුළ එක්සත් කොරියාවක් පිළිබඳ සිහිනය වියැකී ගොස් නැහැ. ⁣අති නවීන දකුණු කොරියානු කෝරේල් දුම්රිය සේවයේ උතුරු කෙළවරේ අවසාන දුම්රිය ස්ථානය වන දූරසාන් දුම්රිය ස්ථානය ඒ නොවියැකුණ සිහිනයේ සිහිවටනයක්. එම දුම්රිය ස්ථානය ගොඩ නංවා ඇත්තේ උතුර දකුණ යා වන දිනයක දුම්රියෙන් එක්සත් කොරියාවක උතුරු දෙසට සහ දකුණු දෙසට ගමන් කරන මගීන්ට පහසුකම් සැලසීමට හැකි වන පරිදියි. දූරසාන් දුම්රිය ස්ථානයට සහ එයට කිලෝමීටරයකට අඩු දුරකින් පිහිටා ඇති හමුදා හරණ කලාප නැරඹුම් පෙදෙසට යන කෙනෙකුට බිඳුණ කොරියන් අර්ධද්වීපයේ කතාව දැක බලාගත හැකියි.

 හමුදාහරිත කලාප නැරඹුම් පෙදෙසට ඇතුළුවන ස්ථානය

දූරසාන් දුම්රියපොළ
 දූරසාන් දුම්රියපොළ අසළ ඇති ඒ ප්‍රදේශයේ සිතියමක් නරඹන සංචාරකයෝ
 දූරසාන් දුම්රියපොළ අසළ දී
 කොරියාවේ මෑත ඉතිහාසය ඇසි දිසි මාධ්‍යයෙන් පෙන්වන කුටියක්
 යකඩ තිරයෙන් එහා උතුරු කොරියාව
වෙන් කිරීම පහසු නමුත් එක්සත් කිරීම වැර වෑයමෙන් කළ යුත්ත කි. හමුදාහරිත කලාපයේ ඇති මූර්තියක්
උතුරු කොරියානුවන් දකුණු කොරියාවට රහසේ ඇතුළු වීමට කණින ලද උමගක්-‍ මෙම පෙදෙසට කැමරා ගෙන යාම තහනම් බැවින් මෙම ඡායාරූපය ලබා ගත්තේ අන්තර්ජාලයෙනි.

 (අවසන් ඡායාරූපය හැර අනෙක් ඡායාරූප මගේ කැමරාවෙන්)


Wednesday, May 11, 2011

නාලන්දාව අසල බෝඩිම - රෝමයේදී රෝමානුවෙකු වීමි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගම්මානයක් වූ තම්මැන්නාකුලම විදුහලේ සිට කොළඹ රාජකීය විද්‍යාලයයට ඇතුළත් වීම පිළිබඳ කතාව මම කලින් ලිපියක සඳහන් කළෙමි. හද්දා පිටිසර තම්මැන්නාකුලමේ සිට කොළඹ ආ මට විය යුතුව තිබූ පරිදිම නවාතැනක් පිළිබඳ ගැටළුව මතු ව ආයේය. රාජකීය විදුහල අවට සිසුන් නවාතැන් ගන්නා බෝඩිං තිබුණේ නැත. තිබුණත් ඒවා ගැන අපට දැන ගන්නට ක්‍රමයක්ද නොවීය. මෙහිදී පිහිටට ආයේ තාත්තාගේ විදුහල්පති සගයෙකි. චන්ද්‍රපාල අංකල් එවකට පූනෑව විදුහලේ විදුහල්පති වරයා වූ අතර, වෘත්තීය සගයෙකු වශයෙන් තාත්තා සමග ළඟින් ඇසුරු කළ අයෙකි. ඔහුගේ පුතා නාලන්දා විදුහලේ නවය පන්තියේ ඉගෙනුම ලැබූ අතර නාලන්දා විද්‍යාලය අසලම බෝඩිමක නවාතැන් ගෙන සිටියේ ය. චන්ද්‍රපාල අංකල් මේ බෝඩිම පිළිබඳ තාත්තාට සඳහන් කර එහි මා නැවැත්වීමට කටයුතු පිළියෙල කර දුන්නේ ය. ඒ බෝඩිම තිබුණේ මරදානේ පන්සල පාරට සමාන්තරව දිවෙන මරික්කාර් පෙදෙස නැමැති පටු මගෙහි ය. රාජකීය විදුහලට නොව නාලන්දයටම යන්නට පහේ පන්තිය වන තෙක්ම අදිටන් කරගෙන සිටි මම ඒ අනුව  නාලන්දාවේ මිදුලේ සිට දිනපතා රාජකීය විදුහලට යන්නට පටන් ගත්තෙමි.

මගේ බෝඩිමෙහි ඇන්ටිට පුත්තු හතර දෙනෙක්ද දුවක් ද සිටිය හ. මා එහි යන විට පුත්තු හතර දෙනාගෙන් බාලයා වූ චාමිකර මල්ලි නාලන්දා විදුහලේ, මට මතක හැටියට හතර වැනි පන්තියේ, සිසුවෙකි. අයියලා හතර දෙනාම ඔහුට වඩා බෙහෙවින් වැඩිමාල් වූ බැවින් පාසැල් ගමන අවසන් කර සිටිය හ. අද මෙන් නොව පාසැල අවට පදිංචි ළමයින්ට වැඩි අමාරුවකින් තොරව නීතියේ හැටියට පාසැල් දොර ඇරුණ යුගයක් වූ හෙයින්දෝ ඔවුන් තිදෙනාමත් අකුරු කර තිබුණේ නාලන්දාවෙහි ය.එහෙත් ඒ තිදෙනම අධ්‍යාපනය අතින් සාර්ථකත්වයක් ලබා නොතිබුණි. තෙවැනියා වූ ජානක අයියා මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහිව සිටි අතර දරුවන් කිසිවෙකුත් එවකට රැකියාවක යෙදී නොසිටිය හ. ඇන්ටිගේ එකම දුව වූ සුජිතා අක්කා එවකට ගෝතමී බාලිකාවෙහි 10 වසර ශිෂ්‍යාවකි. සාමාන්‍ය පෙළට පෙනී සිටීමෙන් අනතුරුව ඇගේ පාසැල් ගමන ද නැවතුණි.

බෝඩිමෙහි නේවාසිකයන් සංඛ්‍යාව කලින් කල වෙනස් වූ නමුත් මා එහි ගත කළ 81-85 වකවානුවේ එහි නවාතැන් ගත් සිසුන් අතරින් මාත් තව දෙදෙනෙකුත් හැර අන් සියල්ලෝම නාලන්දියයෝ වූ හ. නාලන්දියයන් නොවූ අනෙක් දෙදෙනා උසස්පෙළ සඳහා පාඩම් කිරීමට ටික කලකට එහි නැවතුණ ආනන්දයේ සිසුන් දෙදෙනෙකි.

ජානක අයියාගෙන් අපගේ සීමිත මුල්‍ය සම්පත් බේරා ගැනීම පිළිබඳ ගැටළු තිබුණේ වුවද බෝඩිමේ ජීවිතය විනෝදජනක විය. ඇතැම් දිනෙක නාලන්දා පිටියට ගොස් ක්‍රිකට් සෙල්ලම් කිරිමත් බොහෝ දිනවල සවසට කැරම් සෙල්ලම් කිරීමත් කළෙමු. මට බෝඩිමට මග පෙන්වූ චන්ද්‍රපාල අංකල්ගේ පුතා වූ ලාල් අයියා ‍එවකට වැඩිමල්ම සහ පැරණිම නේවාසිකයා වු අතර, නිරායාසයෙන්ම සියළු නේවාසිකයන්ගේ නායකයා විය. ඔහුත් සුජිතා අක්කාත් අතර පෙම් පළහිලව්වක් ද වූ නමුත් පොදු වෙබ් අඩවියක එයට අදාල රසකතාසඳහන් කිරීම සදාචාරාත්මක නොවන නිසාත්, සින්ඩි වලින් පන්නා දැමීමට පවා ඉඩ ඇති නිසාත් ඒවා ගැන කීමෙන් වැළකී සිටිමි!.

රාජකීය විදුහලේ සිසුවෙක්වූ බැවින් මට නිතරම නාලන්දියයන්ගේ වාචික අතවරයන්ට ලක්වන්නට සිදු වී තිබීම බෝඩිමේ ජීවිතය සිහිපත් කරන විට මට අමතක නොවේ. නාලන්දාවේ සිසුන් නිරන්තරවම රාජකීය විද්‍යාලය දෙස බැලුවේ ඊර්ෂ්‍යා පරවශ නෙතිනි. කෙතරම් පදනම් විරහිත ප්‍රකාශයකට වුවද පෙරළා ප්‍රතිචාර දැක්වීම කළ හැකි නොවූයේ "ජනවාර්ගික" අසමතුලිතතාවය නිසා ය. මහ ජාතිය නාලන්දීය වූ අතර මම සුළු ජාතිකයෙක් වීමි. දැන් බ්ලොග් අවකාශයෙන් අතුරුදන්ව සිටින "ටැබූ" ඔහුගේ ලිපියක සඳහන් කළ පරිදි අද රාජකීය විද්‍යාලය කොළඹ නගරයේ තවත් එක් පාසැලක් පමණක් වී ඇතත් අප පාසැල් යන කාලයේ දී රාජකීය විදුහලෙහි තත්ත්වය ඊට වෙනස් වූ බව කිව යුතු ය. එයට හේතුව යම් කාලයක රටේ දේශපාලන සහ ආර්ථික බලය හෙබවූ පන්තියක නියෝජනයක් වශයෙන් එයට හිමි ව තිබූ සංකේතාත්මක වැදගත් කමම නොවේ (රාජකීය විද්‍යාලයේ ඒ භූමිකාව වෙනම සාකච්ඡා කළ යුතු විෂයකි). ඒ කාලය වන විටත් ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ  අන් සියළුම පාසැල් තිබුණේ භෞතික සහ මානව සම්පත් අතින් රාජකීය විදුහලට පිටුපසිනි. කොළඹ ජාත්‍යාන්තර විදුහල හැරුණ කොට තවත් ජාත්‍යාන්තර පාසැල් විවෘත වෙමින් තිබූ නමුත් ඒවාට අද තිබෙන පහසුකම්වත් පිළිගැනීමවත් තිබුණේ නැත. එබැවින් ඉහළ පන්තියේ දරුවන් තවදුරටත් රාජකීය විද්‍යාලයේ පළමු වසරට ඇතුළත් කරවීමට උත්සාහ දැරුණු අතර ශිෂ්‍යත්වය සමත් සිසුන් බහුතරයකගේ පළමු තේරීම වූයේද රාජකීයයයි. එබැවින් බෝඩිමේදී මා වෙත එල්ල කෙරුණේ ලකුණු මදි වීම නිසා රාජකීය විදුහලට යන්නට බැරිව නාලන්දයට යන්නට සිදු වීම නිසා ඇති වූ ඊර්ෂ්‍යාවයැයි මම කල්පනා කරමි. නැතිනම් තමා උගන්නා පාසැල අන් විදුහල් සියල්ලට වඩා උසස්යැයි අවංකව විශ්වාස කරන කෙනෙකුට ඒ අනෙක් විදුහල්වලට ගරහන්නට හේතුවක් තිබිය නොහේ.

පාසැල් නිවාඩු  දුන් දින රාත්‍රියේ බෝඩිමෙහි "සංගීත රාත්‍රියයක්" පැවැත්වීම අපේ සම්ප්‍රදායක් ව තිබුණි. කොහු ටින් කබල් ආදියෙන් සංගීතවක් වූ අපගේ සංගීත රාත්‍රිය අවට පේළි ගෙවල්වල නේවාසිකයන්ට කර්ණ රසායනයක් වූවාට සැක නැත. එකලද අද මෙන් දුරකථන සුලබ වී නම් ඇතැම් විට පොලීසියද සංගීතය නරඹන්නට එන්නට ඉඩ තිබුණි!. අපේ මේ සංගීත රාත්‍රිය මෙන්ම අප විසින් බෝඩිමේ සංවිධානය කළ වෙනත් අවස්ථාවන්හිදී ද  අප ඒවා ආරම්භ කළේ පාසැල් ගීය ගැයීමෙනි. අවසන් කළේ ජාතික ගීයෙනි. නේවාසිකයන් බහුතරය නාලන්දීය වීම නිසා පාසැල් ගීය වශයෙන් ගැයුණේ නාලන්දා ගීයයි. ආනන්දියයන් දෙදෙනා සිටින කාලයේ ආනන්ද ගීයද ගැයු බව මතකය. මේ නිසා මට "පුන් සඳේ සිරි දිනූ රන් පුතුන්" හෝ " The School of our farthers" හෝ තරමටම ඒ දෙවිදුහලේ විදුහල් ගීද කටපාඩම් විය. එහිදී ද මට රඟ දැක්වීමට සිදු වූයේ සුළු ජාතික භූමිකාවය ! මමද ඔවුන්ගේ ගීය ඔවුන් හා එක්ව ගැයූවෙමි.

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු මම ඒ බෝඩිමෙන් සමු ගත්තෙමි. ඒ, ජානක අයියාගේ මත්ද්‍රව්‍ය භාවිතය එන්න එන්නම වැඩි වූ බැවින්, උසස්පෙළ වැනි විභාගයකට සූදානම් වීමට සුදුසු පරිසරයක් එවකට එහි නොවූ නිසාය. මෑතකදී මම වෙනත් අවශ්‍යතාවයකට නාලන්දාව අසලට ගිය විටෙක බෝඩිම ගැන විපරම් කළත් ඒ පවුල ගැන සොයා ගන්නට බැරි විය. ඒ පෙදෙස එදාට වඩා බොහෝ වෙනස් ව ඇත. ඒ බෝඩිම අද එහි නැතත්, එහිදී නාලන්දියයන් හා එක්ව සිටගෙන නාලන්දා ගීය ගැයූ හැටි උත්සවයක ගැයෙන ජාතික ගීයට සීරුවෙන් සිට ගෞරව කරන ඇතැම් අවස්ථාවක අදද මගේ සිහියට නැගේ.

Thursday, March 10, 2011

ඔබ මා හමු වුණ මේ ඉර හඳ යට

ඔබ මා හමු වුණ මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
තනියට මගෙ ළඟ ඉනු මැනවි
තනියට මගෙ ළග ඉනු මැනවි

ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ළය පිබිදී පර වූ පෙම් මල//
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවි


කදුළ සුසුම නොහෙළා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කළ හැටි//
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවි


ඔබ මා හමු වුණ....


අප හමු වූ දා මගේ සිතෙහි ඔබ කෙරෙහි ඇති වූ ආදරය කිසිවෙකුට හෙළි නොකර සිතෙහි සඟවා ගෙන සිටියා. අපේ ආදරය නිසා හෙළන්නට වු කඳුළු, සුසුම් අපි නොහෙළා සිර කරගෙන සිටියා. කිසි දිනෙක හමු නොවන මිරිඟු සයුරක් බව දැන දැනත් අපි අපේ ආදරය සො‍යා පිය මැන්නා. සැබෑ භෞතික ලෝකයේ අපට ගතින් එක්ව ඉන්නට නොහැකි වුණත් මා මිය ගිය දින හෝ ඔබ මගේ තනියට මා ළඟට එන්න.

සුනිල් ආර්. ගමගේ ගේ මේ සංවේදී පද රචනය ගුණදාස කපුගේගේ අපුර්ව සංගීත සංයෝජනයෙන් ගැයුවේ කරුණාරත්න දිවුල්ගනේ

(පද රචනය සහිත jpeg ගොනුව උපුටා ගැනුණේ "අනං මනං" වෙබ් අඩවියෙන්)

Tuesday, February 1, 2011

අත්තප්පා

තම්මැන්නාකුලම විදුහලේ මා ගෙවූ බාල කාලය හා සබැඳී මට කිසි දින අමතක නොවී සිටින චරිතයක් වෙයි. ඒ එවකට අනූ විය ඉක්මවා සිටි "අත්තප්පා" ය. අත්තප්පාගේ නම මට මතක හැටියට නම් උක්කු බණ්ඩා ය. එහෙත් එනමින් ඔහු ඇමතීමට ඔහුගේ සමකාලීනයෙක් එවකට නොසිටි බැවින් හැම දෙනෙක්ම ඔහු ඇමතුවේ අත්තප්පා යන නමිනි. අත්තප්පා ගමෙහි සිටි වයෝවෘද්ධතම වැඩිහිටියා බව කිව යුතු නොවේ. ඔහු සුවිශේෂී ගතිගුණ තිබූ පුද්ගලයෙකි. කතා පොත් වල සිටින, බාල දරුවන්ට කවි කතා කියා දෙන පෝයට පන්සල් යන දර්ශීය සීයා කෙනෙකුගේ චරිතයට ඔහු කිසි ලෙසකත් නොපෑහුණේය. සංඝයා වහන්සේ සමග ඔහුට කිසිදු ඇයි හොඳයියක් නොවී ය. මගේ පියා විදුහල්පති ලෙස පත්ව යාමට පෙර ඒ පාසැලේ සිටි සියළුම ගුරුවරුන් සමග ඔහු අරෝ ඇති කරගෙන තිබුණේ ය. එහෙත්, තාත්තා විදුහලට පත්ව ආ පසු දිනක් ඔහු හා කතාවට වැටුණු ඔහු, ඉන් පසු සෑම දිනකම සැන්දෑවේ ඔහු හා සල්ලාපයේ යෙදී සිටීමට අප ගුරු නිවාසයට ආවේ ය. එවකට ළමා වියේ සිටි මට වැටහුණු පමණින් බුද්ධ ධර්මය ගැන අත්තප්පාට යම් අවබෝධයක් තිබුණි. බොහෝ කොටම ඔහු හා ම'පියා අතර කතා බහට විෂය වූයේ බුද්ධ ධර්මයයි. මුල් කාලයේ උග්‍ර ධර්ම විරෝධියකුව සිටි ඔහු පසු කාලීනව ඒ දැඩි මතයෙන් බැහැරව ආගම කෙරෙහි නම්‍යතාවයක් ඇති කර ගත්තේ මේ සාකච්ඡාවන් තුළිනි. මහා විහාරිකයන් හා අභයගිරි විහාර වාසී භික්ෂුන් අතර වූ හබ ගැනත් වෛතුල්‍යවාදය ගැනත් මා පළමු වරට ඇසුවේ ඔවුන් ‍දෙදෙන අතර වූ මේ සාකච්ඡා වලට කන් දීමෙනි. කෙසේ වුවත් අත්තප්පා කී නොයෙකුත් දේ අතරින් මට වැඩි කොටම මතක ඇත්තේ බුද්ධ ධර්මය ගැන ඔහු කළ විවේචන නොව තම්මැන්නාකුලම ගම සහ ප්‍රදේශය ගැන ඔහු නොයෙක් අවස්ථාවන්හි කී රසවත් කතා කීපයකි.

අත්තප්පා කී හැටියට තම්මැන්නාකුලම ගමේ වර්තමාන පදිංචි කරුවන් සියල්ලන් පැවත එන්නේ අත්තප්පාද ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකුගෙනි. එම ප්‍රදේශයේම වෙනත් ගමක (එහි නම දැන් මට අමතකය) විසූ ඔවුන් තරුණ කාලයේදී තම්මැන්නාකුලම ගමට සංක්‍රමණය වී ඇත්තේ එගම මිලට ගැනීමෙනි. අත්තප්පාට සහ ඔහුගේ සගයන්ට තම්මැන්නාකුලම ගම මිලට ගන්නට හැකිව ඇත්තේ මෙයට පෙර සටහනක මා කී එහි වැව අසල තිබී යැයි කියන නිධානය නිසා ය. ඔහු කී හැටියට තම්මැන්නාකුලමේ කලින් විසූ මිනිස්සු මේ නිධානය හාරා ගොඩ ගත් හ. එහිදී කළු දෙබරුන් මතු වී ගම් වැස්සන්ට පහර දී ඇත. මෙයින් පසු ගමේ වැසියන් දිගින් දිගටම රෝගී වන්නටත් මිය යන්නටත් වූ අතර, ඉන් බියට පත් වූ ඒ මිනිස්සු ගම අත්තප්පාට සහ ඔහුගේ සගයන් හය දෙනාට විකුණා වෙනත් පෙදෙසක පදිංචියට ගිය හ.
අත්තප්පාගේ මේ ඡායාරූපය 1979 දී පමණ ගන්නා ලද එකකි. පසුබිමෙහි ඇත්තේ ගුරුනිවාසයයි. වාහනය  නිවාඩු කාලයේ අප බලන්නට එන මිත්‍ර පවුලකට අයත් මෝටර් රියකි

තරුණ කාලයේ අත්තප්පා මන්ත්‍රකරුවෙකු වශයෙන් ප්‍රසිද්ධියක් ඉසුලූ අයෙකි. එසේම දක්ෂ දඩයක්කරුවෙකි. අත්තප්පාගේ බිරිඳ, කවුරුත් ඇමතූ පරිදි "අත්තම්මා", ඔහුගේ හය වැනි බිරියයි. කලින් බිරින්දෑවරු එක්කෝ මිය ගොස්, නැතහොත් අත්තප්පා විසින් එළවා දමා තිබුණි.අත්තප්පාගේ මේ දරුණු ගතිගුණ නිසා කවුරුත් ඔහුට බිය මුසු ගෞරවයක් දැක් වූ හ. ස්වාමීන්වහන්සේලා දුටු තැන ඔවුන් හා වාදයට එළැඹී ඔවුන් පළවා හරින ආගම දහමට ගර්හා කරන පුද්ගලයෙකු සේ දුටු නිසා දෝ මෙයට පෙර පාසැලේ සේවය කළ ගුරු මහතුන් හා අත්තප්පා අතර ඇයි හොඳයියක් තිබී නැත. එහෙත්, ආගම කරෙහි වූ අත්තප්පාගේ කර්කශ විවේචන සිනහ මුවෙන් ඉවසමින්, කෝපයට පත් නොවෙමින්, පොත් පත් ඇසුරින් තර්කානුකූලව කරුණු පෙන්වා දුන් නිසාදෝ අත්තප්පා මගේ පියා හා දැඩි ලෙස කුළුපග වූ අතර, ගමේ මිනිසුන් කීවේ අත්තප්පා සමග යහළු වීමට පුළුවන් වූයේ "මහත්තයාට" පමණක් බවයි.

කොළඹ සිට යාපනය තෙක් දුම්රිය මාර්ගය ඉදි කlර එහි පළමු දුම්රිය ධාවනය  වන විට ප්‍රදේශයේ වැසියන් එය බලන්නට රැස්ව සිටි අකාරය වරක් අත්තප්පා අප හා කීවේ ය. දුම්රිය හඬ නඟා ගෙන කළු දුම් රොටු අහසට විදිමින් එනු දුටු මිනිස්සු පණ එපා කියා දිව ගියේයැයි ඔහු සිනහ මුසුව කීවේ ය. ඒ අත්දැකීම ඔහු කීවේ ඔහුගේම අත්දැකීමක් වශයෙන්දැයි යන්න නම් මට දැන් මතක නැත. අත්තප්පා තවත් දිනක් කී පරිදි අතීතයේ ඔවුන් අතර සීනි භාවිතයක් තිබී නැත. වරක් ප්‍රදේශයේ ප්‍රභූ වරයෙකුගේ නිවසක කයියකට (පිරිස රැස් ව ගොයම් කැපීමාදිය සිදු කරන විට එය "කයිය" නමින් හැඳින්වුණි) ගිය පිරිසට මී කිරි කෑම පිණිස සීනි බෙදුවේ ලු. තමන් රැවටීමට කිරි වලට වැලි දැමුයේ යැයි සිතු ඔවුහු කිරි කෑම පුතික්ෂේප කළ කල්හි ඒ වැලි නොව සීනි බව ඒත්තු ගැන්වීම ඉතා අපහසු වූ බව ඔහු කී තවත් කතාවකි. මෙය හා බැඳී මගේ මතකයට එන මගේම අත්දැකීමක් ඇත. අප නිවසේ යම් විශේෂ කෑමක් සෑදුවොත් හෝ අපට පිටතින් එවැන්නක් ලැබුණොත් එයින් කොටසක් පාසැලේ දරුවන්ටත් දීම අම්මාගේ සිරිතකි. පාසැලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 50-60 ක් වූ බැවින් මෙය අපහසු කරුණක් නො වීය. (මා ශිෂ්‍යත්වය සමත් වූ 80 වසරේ මේ සංඛ්‍යාව වූයේ 66 කි). හේන් වැඩ කාලයට මින් අඩක්වත් පාසැල් ආවේ නැත. කෙසේ වෙතත් වරක් අපට ලැබුණු  චීස් කැබැල්ලක් කැපූ අම්මා ඒ අවස්ථවේ පාසැලට පැමිණ සිට ළමයිනට ඉන් කුඩා කැබැල්ල බැගින් බෙදා දෙන මෙන් මට භාර කළා ය. මා චීස් බෙදා දුන් විට ඔවුන් ඒවා භාර ගත්තේ අදි මදියෙනි. ඔවුන් චීස් නොකා විමතියෙන් සිටින විට මම මවට ඒ බව කීවෙමි. ඇය පැමිණ එයට හේතුව විපරම් කළ විට ඔවුන්ගෙන් කෙනෙක් ලැජ්ජාවෙන් මෙන් කීවේ "ලොකු බබා" (ඒ ඔවුන් මා ඇමතූ ආකාරයයි, නංගී ඇමතුවේ "කුඩා බබා" ලෙසිනි) ඔවුන් රැවටීමට කෑමක් කියා සබන් කෑලි දුන් බවය! ඒ සබන් කෑලි නොව චීස් බවත්, කන දෙයක් බවත් අම්මා කී පසුවය ඔවුන් එය කෑවේ.(මා මෙය මෙහි සඳහන් කළේ ඒ දරුවනට කිසිදු අපහාසයක් පිණිස නොවන බව සැළකිය යුතු ය. ඒ විසිවන සියවසේ අග දීත් එහි පැවති සැබෑ තත්ත්වය ය).

නොයෙක් කෑම ජාති සාදා අත්හදා බැලීම අම්මාගේ විනෝදාංශයක් විය. අප නිවසේ කිසියම් විශේෂ කෑමක් සෑදූ විට අත්තප්පාටත් අත්තම්මාටත් එහි කොටසක් නොවරදවාම ලැබේ. එවැනි විටෙක අම්මා ඒ කෑම රසදැයි සැන්දෑ යාමයේ මපියා හා සල්ලාපයේ යෙදීමට එන අත්තප්පාගෙන් අසයි. එවිට ඔහු දත් නැති මුව විදහා සිනාසෙමින් දෙන පිළිතුර මගේ මතකයේ නොමැකී තිබේ. "සීනියි පොලුයි ති‍යෙනවනම් මොන කෑමද නෝනමහත්තයා රස නැත්තේ?"

සතියකට වරක් මැදචච්චිය ටවුමට යන මගේ පියා සතියේම දිනමිණ පත්තර ගලප්පත්ති ස්ටෝර්ස් එකෙන් රැගෙන ඒම සිරිතකි. මවත් පියත් පාසැල් වත්තේ කිසියම් වැඩක යෙදී සිටීනම් ඔවුනට බාධා නොකරන අත්තප්පා පුටුවක් ඒ කිට්ටුවෙන් තබාගෙන ඒ පුවත්පත් යවයි. සුදු සරම හැඳ උඩුකය නොවසා කරෙහි සාලුවක් දමාගෙන එන අත්තප්පා, නිතර හැරමිටියක් අතේ තබාගෙන සිටි නමුත් අනූ වියේදීත් උපැස් යුවලක ආධාරයෙන් තොරව සැඳෑ එළියේ පුවත්පත් කියැවූ හැටි සිහිපත් වන විට දැන් මට මහත් පුදුමයක් ඇති වේ.

සවි ශක්තියෙන් යුතුව සිටි කාලයේ නිතර අඩ දබරයන්ට එළැඹුණු දඩබ්බරයෙක්ව සිටි අත්තප්පා සතුව තිබූ මන්ත්‍ර පොත් ඔහුගේ නිවසට කිසිවකු විසින් ගිනි තැබූ විටෙක පිළිස්සුණු බව ඔහු කීවේ ය.එසේ වුවද මටත් නංගීටත් හදිසියේ උණක් වැළඳුණොත් ඔහු එහි එයි, මන්ත්‍ර ජප කොට නූලක් දමයි. නැතහොත් දෙහි කපයි. අත්තප්පා කී ලෙසට ඒ වන විට ඔහු "නපුරු අතේ වැඩ" කිරීම අත හැර තිබුණි.යන්ත්‍ර මන්ත්‍ර වැඩ පමණක් නොව ඔහුගේ ගති ගුණ වලද නපුරු ගති ගුණ කාලයත් සමග වියැකෙමින් තිබූ බව සියයක් ඉක්මවා සිටි දරු මුණුපුරු කැළ ගේ අදහස විය.

මගේ මවුපියන් තම්මැන්නාකුලම ගමෙන් ආ පසුවද වරක් දෙකක් අත්තප්පා හා සමග ලිපි ගනුදෙනු සිදු වූ නමුත්, ත්‍රස්ත ක්‍රියා උත්සන්න වීමත් සමග ඒ ද නැවතිණි.ඔහු සඳෑ වරුවල ඇඳිරි වැටෙන තෙක් ගුරු නිවසේ දී කී රසවත් කතා පටිගත කරගෙන තිබුණි නම් වෙනමම බ්ලොග් අඩවියක් තැනීමට හැකි විය හැකිව තිබුණියැයි දැන් මට කල්පනා වේ. අවාසනාවකට ඒ කාලයේ පටිගත කිරීම අද මෙන් නොව වියදම් අධික කාර්යයක් විය. ඔහු කී කතා බොහොමයක් මතක ඇතිව සිටි මගේ පියාද අද ජීවතුන් අතර නැත. එසේ වුවත් මට අත්තප්පාගේ මතකය කිසි දිනෙක සිතින් බැහැර කරනු නොහැකි ය. ඔහු නිවන විශ්වාස නොකළද මම ඔහුට නිවන් සුව පතමි.

Monday, January 31, 2011

දිවි ගං දියෙහි තොටියා

ගඟ ගලයි සැඩ පහර හරි සැරයි
උඩු ගං බලා පදවනු නොහැකිය ඔරුව
කිමද පල වෙහෙසීයැයි කියා
අත්හරිනු නොහැකිය හබල
රිදී දෙඅත් නැතිව වාරුව දෙපය
හබල අත්හැරුණු මොහොතෙහි
හසුව සැඩ පහරට ගසාගෙන ගොස්
ගං පතුලේ සැඟව යනු ඇත මෙපවත
එතෙකුදු වුවත් අත්හළ නොහේ දිරිය,
‍කුමන සැඩ පහරකිනුත්
මැඩලිය නොහැකියෙන් සෙනෙහස

Friday, January 28, 2011

"දෙමළ කලබලය" ට මැදි වීමි

මා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත කෙළවරක පිහිටි අ/තම්මැන්නාකුලම විදුහලේ සිට කොළඹ රාජකීය විදුහලට පැමිණි කතාව මීට පෙර මම ලියුවෙමි. ඒ කියවූ පිටත්තරයා2 තවත් එවැනි මතකයන් ලියා තබන ලෙස ඉල්ලීමක් කර තිබුණි. විවේකය හිඟකම නිසාත්, දිගින් දිගට ඒ පරිසරය පිළිබඳවම ලිවීම මගේ කැමැත්ත නොවූ නිසාත් ඒ ඉල්ලීම මෙතෙක් ඉටු නොවී ය. එහෙත් උතුරු නැගෙනහිර පැවති වාර්ගික අර්බුදය සහ යුද්ධය නිමා ව ඇති මේ මොහොතේ සියල්ල හොඳින් සිදුවන්නේය යන කල්පනාවෙන් යුතුව සැනසුම් සුසුම් හෙළා සැහැල්ලුවෙන් සිටින වැඩි දෙනෙක් ඒ යුද්ධයේ ආරම්භක අවදියේ පැවති තත්ත්වයන් සහ එහි විකාශය ගැන එහි සිට ලද අත්දැකීම් නැත්තවුන් බැවින්, අර්බුදයේ මුල උපුටා නොදැමුවහොත් එය යළි ලියලා වැඩෙන්නට ඇති අවකාශය ඔවුන් විසින් සුළු කොට තකනු දකින විට, 1977 දී පමණ මා ඒ ගැන ලත් අත්දැකීම් සටහන් කර තැබීම වටී යැයි මම සිතීමි.

මගේ මා පියන් තම්මැන්නාකුලම විදුහලට මාරුවිම් ලැබ ගියේ මට මතක හැටියට 1975 වසරේ දී ය. නාම ලේඛනයේ නම සටහන් කොට නිල වශයෙන් මා පාසැලට ඇතුළත් කෙරුණේ 1976 දී ය.එසේ  කියන ලද්දේ නොනිල වශයෙන්නම් උපන් දා පටන්ම වාගේ මා පාසැල් ගොස් තිබුණ බැවිනි.  1977 දී පැවති මැතිවරණයට පෙර සහ පසු සිදුවීම් ගැන මට ඇත්තේ මතකයන් කිහිපයකි. එවකට මැදවච්චිය මන්ත්‍රී සහ වාරිමාර්ග ඇමතිවරයා ද වූ අභාවප්‍රාප්ත මෛත්‍රීපාල සේනානායක මහතා වෙනුවෙන් ගමේ පැවැත්වූ ඡන්ද රැස්වීම පාසැල් ශාලාවේ පැවැත්වීම ඉන් එක් මතකයකි. ඒ වෙනුවෙන් විදුලි ජනක යන්ත්‍රයක් සහ ශබ්ද විකාශන යන්ත්‍රයක්ද ගෙන ආ බව මට මතක ඇත්තේ එවැන්නක් එවකට එහි ඉතා දුලබ වූ බැවිනි. පසු කලෙක රාජකීය විදුහලේ සිසුවෙක් වූ ඉක්බිති නිතර දෙවේලේදුටු ආන්ටිලා ගේ පන්නයේ කාන්තාවක් මා පළමු වරට දුටුවේද එදා යැයි සිතමි. ඒ මෛත්‍රීපාල සේනානනායක මහතාගේ බිරිඳ ය. රැස්වීම විදුහලේ පැවැත්වීම ගැන මගේ දෙමවුපියන් කැළඹී සිටිය හ. ඒ, රජයේ දේපලක් මැතිවරණ කාර්යයක් සඳහා යොදා ගැනීම නීති විරෝධී බව ඔවුන් දැන සිටි නිසා විය යුතු ය. ඊටත් වඩා, මැතිවරණයෙන් පැවති ආණ්ඩුව නියත වශයෙන්ම පරාජය වන බව ඔවුන් දැන සිටියා ද විය හැක. මැතිවරණයෙන් පසු මාරුවීමක් ලැබෙන්නට ඉඩ ඇතැයි  ඔවුන් රහසින් කතා කළ බව මගේ මතකයේ තිබේ. විදුහල්පතිවරයා වශයෙන් තාත්තාට රැස්වීමේ කතාවක් ද කිරීමට සිදු වීම එවැනි අදහසක් ඇති වීමට වැඩිකොට ම හේතු වන්නට ඇත.රැස්වීම් වලට තිබූ  ජනතා සහභාගීත්වය කෙසේ වුවත් පැවති රජය ඒ මැතිවරණයේදී අන්ත පරාජයකට පත් වූ බව කවුරුත් දන්නා කරුණකි. පැවති රජයට උදව් කර තිබූ දහසක් දෙනාට මැතිවරණයෙන් පසු අත් වූ ඉරණමේ හැටියට සැලකූ විට තබා මොනම හැටියකට සැලකූ විටවත් අපටනම් කරදරයක්  සිදු වූයේ නැත. කුඩා කල ඇසු දුටු දේ අතර තිබුණු ඉතා සුළු දෙයක් අපේ මතකයේ ගැඹුරට  කිඳා බැස රැඳී තිබෙන අයුරු සමහර විට ඔබත් අත් දැක තිබෙනු ඇත. මැතිවරණයෙන් පසු මැරයන් විසින් ගිනි තබනු ලැබූ මැදවච්චිය මන්නාරම් පාරේ යකාවැව  විදුහල ඉදිරිපිට වූ නිවසක වහලයේ ලී දඩු බාගෙට පිළිස්සී වැටී තිබූ අයුරුත් පිළිස්සුණු සිංගර් මහන මැෂිමක යකඩ රාමුව ඒ මැද තිබූ අයුරුත් වසර 35 කට පසු අදත් මගේ මතකයේ නොමැකී පවතී.

කෙසේ වෙතත්, 77 වසර ලංකා ඉතිහාසයේ සුවිශේෂ වසරක් බවට පත් වූයේ ඒ මැතිවරණය නිසා ය. ඒ සුවිශේෂත්වයට හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කර ගත් වාමාංශික රජය මැතිවරණයෙන් අන්ත ලෙස පරාජයට පත් වීමවත්, ධර්මිෂ්ට සමාජයක් ඇති කරන්නට කැට තබා විවෘත ආර්ථිකය හඳුන්වා දුන් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එක්සත් ජාතික පක්ෂ රජයේ කුප්‍රකට 2/3 ජයග්‍රහණය නිසාවත් නොව, ඉතිහාසයේ පළමු වරට දෙමළ පක්ෂයක් රටේ ප්‍රධාන විපක්ෂය බවට පත්ව, එහි නායක අමිර්තලිංගම් මහතා විපක්ෂ නායක ධුරයට පත් වීම නිසා ය. මේ වන විටත් ප්‍රභාකරන්ගේ එල්.ටී.ටීය ඇතුඵ දෙමළ සන්නද්ධ කණ්ඩායම් බිහි වී තිබූ අතර, යාපනය පුරපති දුරෙයිඅප්පා මහතා ඔවුන් අතින් ඝාතනය වී තිබුණි.

ප්‍රදේශයේ කැළඹීම් සවභාවයක් දිගින් දිගටම පැවති බව මතක ය. විවිධ කටකතා පියාපත් ලැබ පියාඹන්නට පටන්ගෙන තිබුණි. වකවානුව හරියටම මතක නැතත්, දෙමළ සන්නද්ධ කල්ලි ගැන සෙවීමට ගිය රහස් පොලිස් නිලධාරීන් පිරිසක් මන්නාරමේ දී ඝාතනය වූයේද මේ ආසන්න කාලයේ ය. කැලයක මරා දමා සිටි ඒ නිලධාරීන්ගේ මළ සිරුරු මන්නාරමේ සිට රැගෙන යන දිනයේ තාත්තා කිසියම් කරුණකට මාන්කුලම කඩ මණ්ඩියට ගොස් සිට, ඒ සිරුරු ගෙන යන විට මාර්ගය අවට දුර්ගන්ධය පැතිර ගිය අයුරු ගැනඅම්මාට කියනු මම අසා සිටියෙමි.

වවුනියාවේ පැවති රැස්වීමකදී අමිර්තලිංගම් මහතාගේ බිරිය කතා කරමින් සිංහලයන්ගේ ලේ මත පිහිනන බව කී බවත්, සිංහලයන්ගේ සමින් සෙරෙප්පු සාදා පළඳින තුරු  ඇයට නින්ද නොයන බව කී බවත් වැඩිහිටියන් කතා කරනු මට මතක ය. තුන් පැත්තකින් දෙමළ ගම්මාන වලිනුත් එක් පැත්තකින් ඝන කැලයෙනුත් වට වී තිබූ තම්මැන්නාකුලම ගම් වැසියන් අතර මේ නිසා භීතිය පැතිර ගියේ ය.ගමට පහරදෙන්නට දෙමළ වැසියන් එන බවට වරින් වර කට කතා පැතිර  ගිය අතර, ගම් වැසියන් රෑ එළි කළේ නිදි වර්ජිතව ය. කිහිප වරක්ම ගමේ දෙමළ ගම් වලට ආසන්නව පිහිටි ප්‍රදේශයේ වැසියෝ කට කතා වලින් කැළඹී ගම තුළට දිව ආහ.අනාරක්ෂිත බව සහ බිය සැක මුසුව කුඩා මා අත්විඳි මානසික ස්වභාවය වචන වලට පෙරළීමට මම අපොහොසත් මි. මේ අතර ඒ දිනය එළඹුණේ ය. උදෑසනක ගමේ ගැහැණු පිරිමි ළමා ලපටින් වඩා ගෙන ගම ඉහත්තාවට දිව ආහ. විදුහල පිහිටියේ වැව අසල බව මම කියා ඇත්තෙමි. වැවු තාවුල්ලෙන් ඇරඹී පැතිර පැවතියේ ඝණ වනය ය. දෙමළ ගම් වලින් තොරව පැවතියේ ඒ දිශාව පමණක් බැවින් ගම් වැසියන් ආරක්ෂාව පතා දිව ආවේ එදෙසට ය. ගමේ වැඩිහිටි පිරිමි කීප දෙනෙකු පාසැලට පැමිණ, පාසැලෙහි සිටීම අනාරක්ෂිත බැවින් බබාලාත් සමග කැලයට යාමට එන මෙන් අම්මාගෙනුත් තාත්තාගෙනුත් ඉල්ලා සිටිය හ. දෙමළ වැසියන් ගම් ආක්‍රමණය කළහොත් නිවෙස් වලට ගිනි තබන බවට අදහසක් එකල අප තුළ පැවතුණි. එබැවින්දෝ අම්මා නිවසේ වූ ගෙන යා හැකි වටිනා දෑ සමහරක් ඔතා ගෙන අනෙක් දෑ කඩිමුඩියේම පාසැල් වත්තේ තැනින් තැන සැඟවූවා ය. අප සතුව පැවති යුනික් වර්ගයේ රේඩියෝවද එසේ පඳුරක් තුළ සැඟවූ බව මට මතක ඇත. (මේ ගුවන් විදුලි යන්ත්‍රය මා ළඟ තවමත් සුරැකිව තිබේ. එහෙත් මගේ වයසට වඩා වසරකින් පමණක් බාල එය දැන් අක්‍රිය ව ඇත). ගමේ තිබු ට්‍රැක්ටර් කිහිපය ඉදිරියෙන් ගමන් කරන අතර, ඒවායින් තැලී සකස් වූ තාවකාලික මග ඔස්සේ අනෙකුත් ගම් වැසියන් ද සමග අපි කැලයට ගමන් කළෙමු. කෙතරම් දුරක් යන්නේ ද කෙතරම් කලක් ඉන්නට වේද යන කරුණු ගැන කවරෙක්වත් සිතන්නට ඇතැයි නොසිත මි. කැලයේ සැහෙන දුරක් ගිය පසු මිනිස්සු නතර වූහ. ඒ වන විට මද්දහන වී තිබුණි. අද මෙන් පැකට් කළ වෛවාරණ කැම බීම සුලබ නොවූ එකළ එවැනි හදිසි අවස්ථාවක රැගෙන යාමට කෑමක් හෝ බීමක් නොවී ය. තිබුණත් ගෙන යන්නට තරම් ඉස්පාසුවක් ද නොවන්නට ඇත. අපි කුඩාවෝ ගමන් වෙහෙසින් ද කුසගින්නෙන් ද පිපාසයෙන් ද කිව නොහැකි තරමට හෙම්බත්ව සිටියෙමු. සවස 3 පමණ වන විටත් ගම දෙසින් කිසිදු අනතුරක සංඥාවක් නම් නොවී ය. අවසානයේ, පිරිමි කිහිප දෙනෙකු ආපසු ගමට ගොස් විපරම් කර බැලිය යුතුයැයි තීරණය කරන ලදී. ඒ අනුව ගමට ගිය පිරිමි ගමේ කිසිම අනතුරක සේයාවක් නොවු බව දැක ආපසු අවුත් ඒ බව පවසන තෙක් අපි මහ වනයේ ගස් යට වාඩි වී තෙහෙට්ටුවෙන් අඩපණව බලා සිටියෙමු. අවසානයේ ට්‍රැක්ටර් වල පහන් එළියේ මග පෙන්වීමෙන් රාත්‍රි අඳුරේ අපි ආපසු ගමට ආවෙමු.

වාර්ගික ගැටුමට මැදි වීම පිළිබඳ මගේ මේ අත්දැකීම පසු කලෙක ඒ ප්‍රදේශයේ ජනතාව අත්විඳි බිහිසුණු අත්දැකීම් හා සසඳන විට නොසැළකිය හැකි තරම් වූ එකකි. කාලයත් සමගකැළඹිලි ස්වභාවය අඩුවී සැක බිය මඳක් පහව ගිය නමුත් ප්‍රදේශය කලින් තිබූ තත්ත්වයට නම්සම්පූර්ණයෙන්ම පත් වූයේ නැත. එසේ වුව ද, මගේ කලින් සටහනේ කී සුහදශීලී තත්ත්වය පැවතියේ එවන් වාතාවරණයක් තුළ බව විශේෂයෙන්ම කිව යුතු ය.

කොළඹ පාසැලට ඇතුළත් වීමෙන් පසු මුල් අවුරුදු දෙකේ මා පාසැල් නිවාඩුවට තම්මැන්නාකුලමට ගිය නමුත් 1983 දී ඒ ගමන නැවතුණි. ඒ අවුරුද්දේ ඇති වූ කළු ජූලි සිද්ධීන් සමග ප්‍රදේශයේ තත්ත්වය ඉතාම අයහපත් අතට හැරුණි. ප්‍රතිකාර ගැනීම පිණිස ට්‍රැක්ටරයෙන් සෙට්ටිකුලමට ගිය ගමන් ගැන පෙර සටහනේ කීවෙමි. එහි සිටි, අප සමග ඉතා සුහද වූ දෙමළ ජාතික වෛද්‍යවරයා ප්‍රතිකාර පිණිස ගිය මගේ දෙමාපියන්ට කාරුණිකව කතා කරමින් ප්‍රදේශයේ තත්ත්වය ඉතා නරක අතට හැරී ඇති බැවින් ප්‍රතිකාර ගැනීම පිණිසවත් එහි යළි නොපැමිණෙන ලෙස ඉල්ලා තිබුණේ මේ කාලයේ ය. තාත්තා සමග සුහදව සිටි නේරියකුලමේ දෙමළ ප්‍රභූවරයෙක් ද ඇති වී තිබෙන තත්ත්වය මත "මහත්තයලා ගමට යන්නේ නම් හොඳ" බව කියා තිබුණි. ඔවුන් එසේ කියන්නට ඇත්තේ සිංහලයන් වූ මගේ මාපියන් එම ප්‍රදේශයෙන් ඉවත්කොට පසු කලෙක ප්‍රභාකරන් එහි සිදු කළ "වාර්ගික විශුද්ධිකරණය"ට උපකාර කිරීමේ කූට අදහසින් නොව, මගේ පියා සමග ඔවුන් තුළ තිබූ අවංක සුහද බව නිසාත් වැඩිහිටියන් වූ ඔවුන් ඇතිවෙමින් එවකට පැවති තත්ත්වය ගැන දැක්වූ නොසතුට නිසාත් යැයි මම විශ්වාස කරමි. අප වටහා නොගත් එක් කරුණක් නම් දෙමළ වූ පමණින් සියළුම දෙමළ මිනිසුන් ප්‍රචණ්ඩත්වයට කැමැති නොවූ බව ය.

මගේ දෙමාපියන් ඒ වසරේ මාරුවීම් ලැබ ගමට ආ හෙයින් එයින් පසු ප්‍රදේශය සමග අපේ සම්බන්ධය නැතිව ගියේ ය. එහෙත්, ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර ගැනත්, ගම් වැසියන්ට ගම හැර යන්නට වීම ගැනත් ආරංචි ලැබුණි.

තම්මැන්නාකුලම හා ආශ්‍රිතව අත්විඳි මේ සිද්ධින් සිහිපත් කරන විට මගේ පියා කීවේ 77 මැතිවරණයේ දී ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් විපක්ෂය නොවී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රධාන විපක්ෂය බවට පත් වීම මේ රටේ වාර්ගික ගැටුම උත්සන්න වීමට හේතු වූ බව ය. එහෙත් එයටත් වඩා ඊට හේතු වූයේ දෙමළ සහ සිංහල දේශපාලන නායකයින් කෙටි කාලීන දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය උසිගැන්වීම  බව මම සිතමි. අමිර්තලිංගම් මහතා විපක්ෂ නායක වශයෙන් තමා ලත් තත්ත්වය ඊට යොදාගත් අතර පසුව ඒමහතාම එහි ගොදුරක් බවට පත් විය.

මගේ මව "දෙමළ කලබලය" වශයෙන් හඳුන්වන, මෙහි සඳහන් කළ මගේ අත්දැකීම් ජනවාර්ගික ගැටුමට පසු කාලීනව මැදි වූ අන් බොහෝ අය ලැබූ අත්දැකීම් වලට වඩා සරල  වුව ද එයින් මට ඇති වූ මානසික බලපෑම කවර ආකාරයකින්වත් එවැනි ගැටුම්කාරී තත්ත්වයක් වැඩි දියුණු කිරීමට උල්පන්දම් නො‍දිය යුතු බව ඒත්තු ගැනීමට තරම් ප්‍රබල වී ය. එහෙත්, දෙමළ ජනයා සමග කිසිදු ආශ්‍රයක් නැතිව යුද ගැටුම් රූපවාහිනියෙන් ආශ්වාදය කරන්නෙකුට එවැන්නක් අති නොවනු ඇතැයි සිතීම සාධාරණ ය. වාර්ගික අසහනය පමණක් නොව බෙදීම් මත පදනම් වූ සියළු ගැටුම් ඇති වන්නේ එකිනෙකා අතර අන්‍යොන්‍ය අවිශ්වාසය නිසා ය. ඒ අවිශ්වාසය තුරන් කර, අනෙකාගේ සමෙන් සෙරෙප්පු සාදන්නට සිතෙන ආකාරයේ සිතිවිලි සියලු සිත්වලින් අතු ගා නොදැමුවොත් පවත්නා සාමය කල් පවත්නා සාමයක් විමේ ඉඩකඩ අඩු යැයි මම සිතමි.




Sunday, November 14, 2010

ඔයා මට ආදරෙයි

අම්මි බබාට ආදරෙයි...
බබා ටීචට ආදරෙයි....
අරයා එයා‍ට ආදරෙයි...
මම ඔයාට ආදරෙයි...
.....ආදරෙයි..
....

හැමෝම කාට හරි ආදරෙයි. හැමෝටම කවුරුහරි ආදරෙයි...එහෙමද? එහෙම නෙවෙයි නේද?
කාටවත් ආදරේ නැති අයත් ඉන්නවා... කවුරුන්ගෙන්වත් ආදරේ නොලබන අයත් ඉන්නවා.
ආදරේවගෙ පෙන්නුවාට ආදරේ නැති අයත් ඉන්නවා...ආදරේ නෑ වගෙ පෙනුනාට ඇත්තටම ආදරේ කරන අයත් ඉන්නවා. ආදරේ නැති වුණාට ආදරේ වගේ පෙන්නන්න වෙලා තියෙන අය...ආදරේ වුණාට ඒ බව පෙන්නන්න බැරි අය.. ඒ ගොල්ලත් ඔය අතරෙ ඉන්නවා..

බබා තාත්තිට ද අම්මිට ද වැඩිය ආදරේ?....අම්මිට..
අම්මිට?... අම්මිට කොච්චර ආදරේද?...
ම්..ම්.............
ආදරේ මනින්න මිමි හොයන්න ගිහින් පොඩි එකා පොඩි කාලෙදිම අමාරුවෙ වැටෙනවා..

අම්මිට මෙන්න මෙච්චරාක් ආදරේ....පුලුවන් තරම් අත් දෙක විහිදුවලා ගොඩාක් ආදරේ බව පෙන්නන්න පොඩි එකා හදන්නේ..

ලොකු වුණාමත් ආදරේ මනින්න ඒ මිම්ම හරි යයි ද? බැලුමක් පුලුවන් තරම් පුම්බලා මෙන්න මෙච්චරාක් කියල පෙන්නුවොත් කොහොමද? ඒ වුණාට වැඩියෙන් පිම්බුණාම බැලුම් ඉක්මනට පිපිරෙනවා... කොච්චර තදින් කට ගැටගැහුවත් ටික දවසක් යන කොට හුළං බහිනවා... විකාර... බැලුම් වලින් කොහොමද ආදරේ මනින්නේ? මගේ ආදරේ නම් මහා මේරුව වගේ..

මහා මේරුව ඒක කොහෙද තියෙන්නේ.. ඒක මොන වගේ එකක්ද?..

ආ.. ඇත්ත තමයි.. එහෙම එකක් නැහැනේ.. ඒක තියෙන්නේ පොත් වල විතරයි.. එතකොට ආදරේ තියෙන්නෙත් පොතේ විතරද?

නෑ.. නෑ ආදරේ ඇත්තටම තියෙනවා... මේ මා ළඟ තියෙන්නේ...

කෝ.. පෙන්නන්න ඔයා ළඟ තියෙන ආදරේ...

ඔයාට පෙනෙන්නෙ නැහැ ආදරේ... බලන්න ඉල්ලන්න එපා ආදරේ.. මනින්න හදන්න එපා ආදරේ...

ආදරේ දැනෙන දෙයක්... ආදරේ සුවඳ.. ආදරේ දිග..පළල..ආදරේ බර.. හදවතටයි දැනෙන්නේ..

ඉල්ලන්න එපා ආදරේ... ඉල්ලුවාට ලැබෙන්නෙ නහැ ආදරේ.. ආදරේ දුන්නම ආදරේ ලැබෙයි..මනින්න බැරි, හදවතට බර දැනෙන ආදරේ..

ආදරේ... ලොව හඬවන ආදරේ...
ආදරේ ... ලොව නලවන ආදරේ...

ඉතින්... බොරුවක් නොවෙයි..

බබා..අම්මිට ආදරෙයි...
ටීච බබාට ආදරෙයි....
එයා අරයට ආදරෙයි...
ඔයා....මට ආදරෙයි...

Friday, August 20, 2010

අනුන්ගේ සීනි තමන්ගේ තරාදියෙන් කිරා දීම

වරක් මගේ මිත්‍රයෙක් පුහුණුවක් සඳහා ජර්මනියට ගියේ ය. එහිදී , පුහුණුව දුන් ආයතනයෙන් පිරිනැමූ භෝජන සංග්‍රහයකට සහභාගිවන අතරතුර, මගේ මිත්‍රයා ලංකාවෙන්  පැමිණි අයකු බව දැන ගත් ඒ ජර්මානු ආයතනයේ සේවය කරන අයෙක් තමාත් ලාංකිකයකුව උපත ලද බවත්, කුඩා කල ජර්මන් ජාතික යුවලක් විසින් හදා වඩා ගැනීමට ජර්මනියට ගෙන එනු ලැබූ බවත් මා මිත්‍රයාට පැවසීලු.  ඔහු එසේ පවසන තෙක් ඔහු හා භෝජන සංග්‍රහයට සහභාගි ව සිටි, දිගු කලක් තිස්සේ එකම කාර්යාලයේ වැඩ කළ ඔහුගේ සගයන්වත් ඒ බැව් දැන සිට නැත. මේ කතාව මා හා පැවසූ මගේ මිත්‍රයා කීවේ ලංකාවෙ එහෙම වුනානම් කොහොමද මචං කියා ය. ඇත්තටම ලංකාවේ කාර්යාලයක වැඩට අද අළුතෙන් කෙනෙක් ආවොත් හෙට වෙන විට ඔහුගේ නම- ගම, ඉගෙනගත් ඉස්කෝලය, අම්මාගේ තාත්තාගේ නම් ගම්, රැකියාව, කුලය, අයියලා නංගිලා ඉන්නවද, ඔවුන් විවාහක ද, දරුවන් සිටීද ආදී එකී නොකී හැම විස්තරයක්ම කාර්යාලයේ අනික් අය සොයා දැනගෙන අවසන් ය. ඉනුත් නොනැවතී කලින් වැඩ කළ තැන් වල අය සහ දන්නා අඳුනන අය මගින් ඒ විස්තර වල සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගන්නට තරම් උනන්දු වන අය ද හිඟ නො වේ.

අපේ මිනිස්සු අනුන්ගේ කටයුතු ගැන සොයා බැලීමට සූරයෝ ය. තමන්ගේ කටයුතු තිබියදී  අනුන්ගේ කටයුතු ගැන ගැන සොයා  බැලීමට ඔවුනට ඇති තරම් කාලය ඇත. තමන් නොපිළිපදින වැදි බණ අනුන්ට දෙසීමට ද, අනුන්ගේ පවුල් ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න ගැන අනාරාධිතව සොයා බැලීමටද ඔවුනට එපමණම කාලය තිබේ.

කාර්යාලයක තරුණියක විවාහ නොවී සිටින්නේ නම් ඇය විවාහ වන තෙක් ඔවුනට  ඇයගේ අම්මාට හා තාත්තාටවත් නැති කැක්කුමක් ඇත. උදේටත්, දවාලටත්, හවසටත්, බස්එකේ දී මුණ ගැහුණත් ඇගෙන් අහන්නේ දැන් ඉතින් කාලෙ හරි නේද? කවදද අපිට කේක් දෙන්නේ කියා ය. මේ මළ කරදරයෙන් මිදෙන්නට නම් තමන් කැමති වුණත් නැතත් ඈ මොකෙක් හරි මි‍නිහෙක් එක්ක විවාහ විය යුතුම වේ. එහෙම නො‍කළොත් ඇයට වුරුදු 35 -40 ලබන විට අර මුලදී මූණටප්‍රශ්න ඇසූ කාණ්ඩය  මුළු මුළු වල, දී කැන්ටිමේ දී රැස්  වූ විට ඇයට රහසින් මේ බරපතල අන්තර්ජාතික ගැටළුව සාකච්ඡාවට භාජනය කරන්නට පටන් ගනිති.

කොහොමින් කොහොම හෝ ඒ තරුණිය විවාහ වූවොත්එ යින් අවුරුද්දක් ගත වන විට ම මේ අසල්වැසි කොමියුනිටියේ දැවෙන ප්‍රශ්නය වන්නේ ඇගේ පළමු බබා පිළිසිඳගැනීමයි. "තාම නැද්ද...." කියා උදේත්, දවලුත්,  හවසත් අහන්නට පටන් ගනිති. දැන් ඉතින් තමන් කැමති වුණත් නැතත්, තමනට කෙතරම් පෞද්ගලික දුෂ්කරතා තිබුණත් මොවුන්ගේ කරදරයෙන් ගැලවීමට කොහොම හරි දරුවෙක් හදා ගත යුතු වේ. ඊට පසු දරුවා බලා ගැනීමට, ලෙඩට දුකට බැලීමට, මොන්ටිසෝරි යැවීමට, ඉස්කෝලෙ දැමීමට ආදී වශයෙන් මිලියනයකුත් එකක් ප්‍රශ්න ඇති වුණත් බබා පිළිසිඳගන්නකම් ඇලපතට ඇන ඇන දින ගනිමින් සිටි අර උන්දැලාගෙන් කවරෙක්වත් අබ මල් රේණුවක තරමින් හෝ ඒවාට පිහිටක්  වුණොත් නම් ඒ ලෝක පුදුමයකි. ඔවුන්කළොත් කරන එකම දෙයනම්, බබාට මාස තුනක් පමණ වන විට කීයක් හෝ කලෙක්ෂන් එකක් දා ගෙන බේබ් සෝප්, පවුඩර් පැක් එකක් මිලට ගෙන කට්ටියම බබා බැලීමට යාමය. ඉපදී ටික කලක් යන තෙක් කොයි ළදරුවාත් පෙනුමින් බොහෝදුරට එක වගේ වුණත් තොටිල්ලේ නිදන පොඩි එකාගේ මූණ හරියට දකින්නත් කලින්ම හානේ තාත්තා වගේමයි කියමින් කාමරයට ඇතුළු වන ඒ නඩය දරුවාගේ නහය, ඇස් දෙක, කන් දෙක සහ කට අම්මාටත් තාත්තාටත් බෙදා දී පසුදා කාර්යාලයට ඇව්ත් රහස්‍ය යාකච්ඡාවක් තබා ප්‍රසිද්ධියට පත් කරන්නේ අපොයි පොඩි එකා කලුම කලුයි මිනිහගේ පාටක්නම් ගෑවිලාවත් නෑ කියා ය.

කාර්යාලයේ පිරිමියෙක් ගෑනියෙක් එක්ක ටිකක් වැඩිපුර කතා කළොත් අසල්වැසි කොමියුනිටියට වැඩ වැඩි වේ. කතා කරන වෙලාව වාර ගණන ගැන ලොග් සටහන් තැබීමටත් හොරෙන් කන් දික් කරගෙන අහන් ඉඳීමටත්, තම තමන් අතර අප්‍රමාදව ඒ තොරතුරු හුවමාරු කර ගැනීමටත් සිය රාජකාරි කටයුතු පසෙක ලා වහා කැප වෙති. ඒ දෙදෙනා විවාහකයන් නම් ඔවුන් අතර නොමනා සම්බන්ධයක් ඇති වුණොත් දරුමල්ලන්ට යන කල දසාව ගැන ඔවුන්ගේ විවාහක කලත්‍රයන්ටත් වඩා මේ කොමියුනිටිය දැඩි ලෙස අකම්පාල වෙති. සැබෑවටම පිහිටක් අවශ්‍ය කෙනෙකුට රුපියල් සියයකින්වත් උදවුවක් දීමට සිදු වුණොත් ඇඟිලි ඇට කඩමින් පැත්තකට වන නමුත් මේ වන්නට යන මහා සමාජ අපචාරය වළකාලීම  පිණිස වූ සත් කාර්යයයේ දී නම් අතින් හාෆ් ඩේ දාගෙන, පෙට්‍රල් පුච්චගෙන, ටෙලිෆෝන් බිල් දරාගෙන  ඉදිරිපත් වෙති. එහෙත්, මේ සමාජ ශෝධකයන් සියල්ලන්ගේමත් කිල්ලෝට ඇර බැලුවොත් ටික ටික නොව සමහර විට කට ළඟට පිරෙන්නට ම හුණු තිබේ. බොහෝ විට මොවුන්ගේ හවුල් ව්‍යාපාරයේ අවසාන ප්‍රතිඵලය වන්නේ ඇත්තටම නොතිබූ ප්‍රශ්නයක් ඇති වී ජීවිත ගණනක් අඳුරට වැටීම පමණි.

අපේ සමාජයේ පවත්නා මේ අනුන්ගේ වැඩ වලට බුලත් නොලබාම හොට දැමීමේ ගුණය නිසා අවුල් වු ජීවිත ගැන කවුරුන් හෝ සංගණනයක් කර තිබේ දැයි නොදනිමි. කළොත් ප්‍රතිඵල වන සංඛ්‍යාව නම් සුළු විය නොහැක. වඩාත් කණගාටුවට කරුණ නම් මේ හොට දමන්නන්ගෙන් බහුතරය අනුන් කළ නොකළ දේ සෙවීම නොව තමා කළ නොකළ දේ සෙවීම ම වඩා වැදගත් බව දේශනා කළ ශ්‍රේෂ්ට ශාස්තෘවරයෙකුගේ අනුගාමිකයන්යැයි කියාගන්නා උදවිය වීමයි. අපේ සමාජයේ සුලබව සිටින මෙවැන්නන් උපහාසයට ලක් කරමින් ෆ්‍රෙඩී සිල්වා ගැයූ ගීයෙහි දී, තමන්ගේ නැටුමට අනවශ්‍ය ලෙස හොට දැමූ කෑඳැත්තාගේ බෙල්ලෙන් අල්ලා සෙලවූ පාන්කිරිත්තා ඌට පවසන ‍වැකියෙන් මේ  කෙටි සටහන අවසන් කරමි. "අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර කර ඉන්නවට වඩා - තමන් දන්නදේ හරියට කරපන් කියලා කීය හඩා"

එසේම, .සමාජයේ ප්‍රගමනය උදෙසා අපගේ සමාජයේ කෑඳැති ප්‍රතිපත්තිය පිළිබඳ කතිකාවතක් ඇති වීම කාලෝචිත යැයි ද සිතමි.

Tuesday, July 27, 2010

පරම්පරා පරතරය

අද අප ජීවත්වන්නේ තාක්ෂණික මෙවලම් වලින් ගහණ වටපිටාවක ය. පරිගණක, ජංගම දුරකථන,ඩිජිටල් ශබ්ද උපකරණ, ලේසර් උපකරණ, ආදී මෙකී නොකී තාක්ෂණික මෙවලම් අටෝරාසියකින් අපේ පරිසරය පිරී තිබේ. අපේ කුඩාවුන් බ‍හ තෝරන්නේ මේ වටපිටාවේ ය. පරම්පරා පරතරය යනු කුමක්දැයි මම දැන් දැන් අත්දැකීමෙන්ම වටහා ගනිමින් සිටිමි. මෙයට වසර 25 කට පමණ පෙර , පාසැල් දරුවෙකු වශයෙන් සිටි කාලයේ මා කොළඹ  නවාතැනට හැරලූ පසු මගේ දුක සැප දැන ගන්නට මගේ දෙමාපියනට සතියක් බලාපොරොත්තුවෙන් ඉන්නට සිදු විය. ඒ මා විසින් සිරිත් පරිදි සතිපතා යවන ලියමන ඔවුන් අතට පත් වන තුරු ය. මැදවච්චියෙනුත් සැතපුම් 12 ක් පමණ එපිටින් විසූ ඔවුනට කොළඹින් තැපැල් කරන ලිපියක් ලැබීමට ඒ කාලයේ සතියකට ආසන්න කාලයක් ගත වූ බැවිනි. මේ කතාව මගේ කුඩා පුතුට නම් සුරංගනා කතාවක් වැනි ය. දිනකට කිහිප වතාවක් ආච්චිටත් මාමලාටත් දුරකථනයෙන් කතා කරන ඔහු දුර බැහැර සිටින ඔවුන්ගේ පින්තූර දුරකථනයෙන් නරඹයි. විදේශයන්හි සිටින මිතුරන් හා මා පරිගණකයෙන් කතා කරනු දැක්ම ඔහුට අරුමයක් නොවේ. එබැවින් සුවදුක් දැනගන්නට සතියක් බලා සිටි අපේ අම්මලා තාත්තලාගේ කාලය ඔහුගේ සහ ඔහුගේ පරපුරේ සගයන්ගෙන් ඉතා දුරස්තර ය. තාත්තා බසයෙන් පාසැල් ගිය බව අදහා ගැනීමට ඔහුට තාමත් නොපුළුවන. තාත්තාට කාර් එකක් තිබුණේ නැද්දැයි ඔහු කිහිප වතාවක් විමසන්නේ එබැවිනි. ඔහුව හැරලීමට දිනපතා පාසැල අසලට යන මට ද ඒ කාලයේ මාර ගස් සෙවණේ එක පෙළට සීරුවට ගමන් කළ මගම පාසැල් බස් රිය පෙළ දැකීමට නොලැබේ. ඒ වෙනුවට පළල් පාර එක වාහන පෙළකට පමණක් සීමා කරමින් ඇඟිල්ලක් ගැසීමට ඉඩ නැතිවන අයුරින් මෝටර් රථ සහ පාසැල් වෑන් රථ නවතා ඇත.

පරිගණක සිය ගණනකින් සමන්විත ප්‍රාථමික අංශයේ පරිගණක විද්‍යාගාරය දකින විට එදා උසස්පෙළ සිසුන් ලෙස සින්ක්ලෙයාර් පරිගණක තුනකින් සහ අයි.බී.එම් පරිගණකයකින් පමණක් සමන්විත වූ එකම පරිගණක විද්‍යාගාරයේ පරිගණක "අ" යන්න කියැවූ හැටි සිහිනයක් සේ මතකයට නැගෙයි. කැසට් රෙකෝඩරයක ආධාරයෙන් "බූට්" කළ ඒ සින්ක්ලෙයාර් පරිගණකයක් දුටුවොත් මේ දරුවන් එය සෙල්ලම් කිරීමටවත් නොගන්නවා ඇත.

දෙවැනි ශ්‍රේණියේ උගන්නා මා පුතු මධු මාධව අරවින්දගේ "ළඹ සවන් රන් පටින්" ගීතයට ඉතා කැමති ය. යූ ටියුබ් හි තිබී මවිසින් බාගත් එම ගීතයේ දෘශ්‍ය පටයද ඔහුගේ සිත් ගෙන ඇත. (එහි දර්ශන "Little Buddha" චිත්‍රපටයෙන් උපුටාගෙන සංස්කරණය කළ ඒවා ය). මේ ගීතය ඔහු කියනු ඇසූ ඔහුගේ පන්තියේ හොඳම යහළුවා එහි සී.ඩී එක දෙන්න බැරිදැයි ඔහුගෙන් ඇසී ලු! නොබෝ දිනකින් ඔහු පෙන් එකක් ගෙනවුත් දී ගීතය ඊට කොපි කර දෙන්නැයි ඉල්ලන්නටත් බැරි නැත! අපේ ළමා ලෝකයත් අපේ දරුවන්ගේ ළමා ලෝකයත් අතර මේ පරතරය වටහා ගන්නා විට මම තිගැස්සෙමි. අප කුඩා කාලයේ සිරිපා සමය සමග සමනලුන් රෑන් රෑන් වැල නොකැඩී අප පසුකර පියඹා යනු අප බලා සිටියෙමු. එහෙත්, මගේ පුතුට පෙන්වීමට සමනළයෙකු  සොයා ගැනීමට මට දැන් මහත් වෙහෙසක් ගැනීමට සිදුව ඇත. මේ දරුවන් වැඩෙන්නේ සමනලුන් මාලුපැටවුන් සමග අප ගත කළ ලෝකයට මහත් සේ වෙනස් වු ලෝකයක ය යන වැටහීම සමග ඔවුන්ගේ ඒ ලෝකයේ අප නොදකින අපට වටහා ගැනීමට බැරි දහසක් දේ තිබීමට හැකිය යන අදහස ඉහත තිගැස්මට හේතුව සේ මම දකිමි. අන්තර්ජාලයේ සැරිසරන විට දකින පාසැල් දරුවන්ගේ ඇතැම් වීඩියෝ පට ද ඒ තිගැස්මට පොහොරකි.

මා මේ අත්දකින්නේ මේ සදාකාලිකව පැවත එන පරම්පරා පරතරයේ මගේ යුගය ද? නැතිනම් අපි කලියුගයට පා තබමින් සිටින්නෙමු ද? හරි හැටි වටහා ගැනීමට නොහැකි ව මම අතරමං වෙමි.

Sunday, July 18, 2010

මගේ ආලය

(මෙය අන්තර්ජාලයේ සංසරණය වන කවියක සිංහල අනුවාදයයි )

පළමුවරට,
සිටි තැනම මා සිරකළේ,
ඔබේ දෙනයන යි

මගේ දිවියම එළි කළේ ,
හිරුත් මුසපත්කළා වූ,
ඔබේ සිනහවයි

කඳු අතරින් ගලන දිදුලන දියදහරක් සේ,
මගේ හදට ඇදහැළුනේ,
ඔබේ කටහඬයි

ඔබේ ඇවිදිනවිට,
ගමනෙහි ලාලිත්‍යයට,
මට හුස්ම හෙළන්නත් අමතක විය

ඔබ මවෙත නැඹුරු වූ කල,
මගේ මුහුණ වැසුණි,
මා සිහින දුටු,
ඔබේ වරලසින්

ඔබේ අතැඟිලි අග,
මුදු පහස,
මගේ මුහුණෙහි දැනෙන්නට,
ඉතා ආශා කළෙමි මම

ඔබේ උණුසුමට මා ඇදගනිද්දී,
ඔබේ දෑත්,
මගේ ගෙල වට එතෙනු දැක්මට,
මම පුල පුලා සිටියෙමි

එ  හැමට වැඩියෙන්,
ඔබේ ඒ හැම දේ,
ම‍ගේ දිවි මඟ වෙනස් කර ඇත

මම, ඔබට ආලය කරමි
මම, නිතොරවම ඔබ ගැන සිතමි

කරුණාවන්ත මිහිරිය,
ඔබත් සිහි කරන්නේ ද මා,
මොහොතකටවත්?

ඔබ වත මා සිත තුළය,
ඔබෙ හඬ මා සවනත ය,
මේ වසර කීපයේ දී වත්,
මම ඔබ හඳුනාගත්තෙමැයි මම සිතමි

නින්ද නොම එයි මවෙත,
හැම රැයෙකම මට ඇති පැනයනම්,
මගේ සිත සිටින පළමුවැන්නා ඔබ ද?
එය එසේ නොවෙයිනම්, ඔබ දෙවැන්නා මය

මනෙතට ඔබ පෙනෙයි,
කවදා හෝ විකසිත වෙතැයි,
මා පතන ආලයක් වෙනුවෙන්,
මහද රිදුම් දෙයි

මිතුරන්ට පෙම්වතුන් විය හැකියැයි කීවෝ කවරහු ද?
කුමක් සිතුවෝද ඔවුන්?
මගේ පෙම් හද පොබයාද,බි‍ඳේවි ද?
එය බිඳෙයි

මම පසුබාමි,
මම බිය වෙමි,
මගේ මුළු දිවියම දැන්,
එකම රඟමඬලකි

එහි ආඛෘනයෙන් ආඛ්‍යානයට,
දැක්මෙන් දැක්මට,
මා ඔබට ආලය කරන්නේ ඇයි?
කියන්නෙමි මම ඔබට

ඔබ මවෙත සිටින විට,
ඇය ගැන ද සිහිවෙයි මට,
ඔබ සමග ඇයද නොවීනම් යැයි,
මට දැඩි ලෙස සිතෙයි

යුවලකගේ සුන්දර ලොවට,
ගරු කරමි මම,
එහෙත් ඔබට යන්තම්වත් නොපෙනෙන,
මා වැනි නොවැදගතුනට එහි මොන ඉඩ ද?

ඔබ මගේ මිතුරිය නම්,
මා ඔබේ ය
කල් යත් යත්ම
ඔබේ ඇසුරින් මම පිරිපුන් වෙමි

ඔබට එවදන් තෙපළන්නට,
ඒ සිව් වදන තෙපළන්නට,
මහත් සේ දුෂ්කර ය මට

සන්සුන් වේද ඔබ?
වෛර කරන්නේද ඔබ මට?
මිතුරිය වේද ඔබ මට?

ආලය සමඟ රාගයද ඇත,
මම ඔබට ලොල් වෙමි,
මමඔබට ආලය කරමි

ඔබත් සිතාවිද එසේ?

(මෙය අන්තර්ජාලයේ සංසරණය වන කවියක සිංහල අනුවාදයයි )

Sunday, April 18, 2010

නායකත්වයේ ලක්ෂණ-බුදුන් වහන්සේ ඇසුරින් විමසීමක්

නායකයෙකු සතු විය යුතු ගුණාංග මොනවාද? මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ අදහස් දරනවා නොඅනුමානයි. එහෙත් ඒ පිළිබඳ පරිසමාප්ත අර්ථකතනයක් ඇතිකර ගැනීම ඉදිරි ඉලක්කයක් ලෙස තබාගෙන සියළු දෙනාට පිළිගත හැකි මූලික කාරණා ගැන සළකා බැලීමක් කිරීමටයි මේ අවස්ථාවේ මා අදහස් කරනුයේ. ඒ තුළින් අප එදිනෙදා දකින නායකයන් ගැන අපට යම් මිණුමක් ඇති කර ගන්නට හැකි වනවා වගේම, අපත් අපේ මට්ටමේදී කෙතරම් දුරකට නායකත්වය දැරීමට සුදුසුකම් දරන්නේද යන්න ගැන ස්වයං ඇගයුමක් ඇති කර ගැනීමටත් එය ඉවහල් වනවා ඇති.

මෙහිදී මාගේ අවධානය යොමු කරන්නේඅපේ සංස්කෘතිය තුළ ඉමහත් ගෞරවයට පත් නායකයකු වන්නේ ගෞතම බුදුන් වහන්යේ කෙරෙහියි. උන්වහන්සේ ඉතා දීර්ඝ කාලයක් නොනැසී පැවතීමට සමත් දර්ශනයක් බිහි කළාක් මෙන්ම එය පවත්වාගෙන යාමට අති විශාල අනුගාමිකයන් සංඛ්‍යාවකුත් බිහි කළා. අතීත ඉන්දියාවේ කුඩා ප්‍රාන්ත රාජ්‍යක පාලකයකුගේ පුතකු ලෙස උපන් බුදුන්වහන්සේ ට, ලොව පුරා මිලියන ගණනක් ජනතාවගේ හදවත් දිනා ගනිමින් ශත වර්ශ 25 කට අධික කාලයක් පැවතීමට සමත් ව ඇති මෙවැනි සංස්ථාවක් බිහි කිරීමට උපකාරී වූවා වූ උන්වහන්සේ සතු ව පැවති නායකත්ත්ව ලක්ෂණ කවරේද?

පළමුකොටම බුදුන්වහන්සේ සතු වූ දර්ශනය; උන්වහන්සේ සතුව පැහැදිළි, අව්‍යාකූල දර්ශනයක් පැවතුණි.කරුණාව සහ අහිංසාව පදනම් කර ගෙන ගොඩ නැගුණ ඒ දර්ශනය තුළට සියළු දෙනා ආකර්ශනය කර ගැනීමට බුදුන් වහන්සේ සමත් වුණා. තමන් සතු පැහැදිළි දර්ශනයක් තිබීම මෙන්ම එය තමා‍ගේ අනුගාමිකයන්ගේ සුබසිද්ධියට හේතු නොවන එකක් නොවීම ඒ අනුව නායකයකු සතු විය යුතු ලක්ෂණයක්. එසේම සිය දර්ශනය සම්බන්ධයෙන් තමන් තුළ නිරාකූල අවබෝධයක් ඇති නායකයා ඒ මත පදනම්ව ඉලක්කයක් කරා සිය අනුගාමිකයන් මෙහෙය වීමට සමත් වනවා ඇති.

දෙවනුව බුදුන්වහන්සේ සතුව ආදර්ශවත් චරිතයක් තිබුණි. තම අනුගාමිකයන්ට දේශනා කළ ධර්මය තුළ උන්වහන්සේද හැම විටම හැසුරුණ නිසා අනුගාමිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට උන්වහන්සේට හැකි වුණා. මෙම විශ්වාසය පළුදු කිරීමට විරුද්ධවාදීන් ඇතැම් විට කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කළ අවස්ථාවන්හිදීත්, එම උත්සායන් අසාර්ථක වූයේ උන්වහන්සේ සිය ආදර්ශවත් භාවය නිකැළැල්ව පවත්වාගත් හෙයින්. මෙයද නායකයකුට පිහිටිය යුතු ලක්ෂණයක් ලෙස දැක්විය හැකියි. වැදි බණ දෙසන නායකයකුගේ ඒ වැදි බණ යම් මොහොතක හෙළිදරව් වූ විට ඔහු පිළිබඳ විශ්වාසය අනුගාමිකයන් තුළින් ගිලිහෙනවා පමණක් නොව ඔවුන්ගේ ගෞරවය ඔහුට ඉන් පසු හිමි නොවීම නිසා අනුගාමිකයන් පාලනය කිරීමද අසීරු වනු ඇති.

තෙවනුව උන්වහන්සේ සතුව පැවති අපක්ෂපාතී බව උන්වහන්සේට සියළු දෙනාගේ විශ්වාසය සහ ගෞරවය දිනා දීමට සමත් වුණා. ඒ අපක්ෂපාතබව නිසාම සිය අනුගාමිකයන් අතර ගැටළුවක් ඇති වූ විට එයට මැදහත්ව එය විසඳීමට උන්වහන්සේට හැකියාව පැවතුණා. නායකයා සිය අනුගාමිකයන් අතරින් යම් කෙනෙකුට හෝ පිරිසකට වඩා පක්ෂපාත බවක් ඇල්මක් දැක්වීම අනුගාමිකයන් අතර බෙදීම් සහ නොසන්සුන්තාවයන් ඇති වීමට හේතු වනවා පමණක් නොව, නායකයා කෙරෙහි ඔවුන්ගේ ගෞරවය නැතිව යාමට ද එය හේතු වනවා. ඇතැම් විට ඔහුගේපක්ෂපාතීත්වය හිමිවන්නන් අතර පවා ඔහුගේ ප්‍රතිරූපය පිරිහෙන්නට එය හේතු විය හැකියි.

සිව්වනුව බුදුන්වහන්සේ හොඳ මානව සම්පත් කළමනාකරුවක් වුණා. සිය අනුගාමිකයන් ඔවුන්ගේ චරිත ලක්ෂණ අනුව වර්ග කළ උන්වහන්සේ ඒ ඒ පුද්ගලයාට කාර්යයන් පැවරුවේ ඔහුගේ චරිත ස්වභාවයට ගැලපෙන ලෙසයි. සිය අනුගාමිකයන්ගේ චරිත ලක්ෂණ මෙන්ම ඔවුන්ගේ දක්ෂතා සහ අදක්ෂතා නිසිලෙස හඳුනා‍ගැනීමට නායකයකුට හැකි විය යුතුමයි. එසේ කළ යුත්තේ අදක්ෂතා ඉස්මතු කොට ඔවුන්ට ගැරහීමට නොව හඳුනාගත් දක්ෂතා මත සුදුස්සාට සුදුසු කාර්යය පැවරීමටත්, දක්ෂතා ඇගයීම තුළින් දිරිගැන්වීමටත් නිසි මග පෙන්වීම තුළින් හඳුනාගත් දුර්වලතා මග හරවා ගැනීමටත් එයින් හැකියාව ලද හැකි බැවින්.

පස්වනුව, බුදුන්වහන්සේ සිය අනුගාමිකයන්ට මනා ආරක්ෂකයෙක් වුණා. අනුගාමිකයන් අනතුරකට හෙළනු වෙනුවට අනතුර ඉදිරියට තමාම වැඩම කිරිම උන්වහන්සේ කළා. මෙයද හොඳ නායකයකු සතු විය යුතු වැදගත් ගුණාංගයක්. අනුගාමිකයන් විසින් යමක් මනා කොට ඉටු වූ විට එහි ගෞරවය ලබා ගැනීමට තමා ඉදිරිපත්ව, ඔවුන් අතින් යමක් වැරදී ගිය විට මම නොවෙයි එය කළේ මොවුන්යැයි සිය අනුගාමිකයන් බිල්ලට දී ඇඟ බේරා ගන්නා තැනැත්තාට අනුගාමිකයන්ගේ පමණක් නොව ඉහළ බලධාරීන්ගේද පිළිකුළ ‍හිමි විය හැකියි.

අවසාන වශයෙන් බුදුන්වහන්සේ සිය අනුගාමිකවයනට පෙන්වූයේ නිවැරදි මාර්ගයයි. සිය අනුගාමිකයන්ට නිවැරදි මාර්ගය පෙන්වා දීමට සමත් නොවන නායකයෙක් එමගින් සිය අනුගාමිකයන් අනතුරට හෙළනවා පමණක් නොව අවසානයේ තමාමත් අනතුරට හෙළා ගන්නවා ඇති.

බුදුන්වහන්සේ සතු වූ එම නායකත්ව ලක්ෂණ නිසායි උනවහන්සේ ශත වර්ෂ 25කට පසුව අදටත් මිලියන ගණනාවක් ජනතාවගේ ගෞරවාදරයට පත්ව සිටින්නේ.

ඉතින්, අප සහ අපගේ ආයතනයන්හි අපේ නායකයන් තුළත් කොපමණ දුරට මේ නායකත්ව ලක්ෂණ තිබෙනවාද? ඒ ඒ පුද්ගලයන් සතුව පවතින ජනප්‍රියතාව සහ ඉහත කී නායකත්ව ලක්ෂණ ඔවුන්තුළ විද්‍යමාන වන ප්‍රමාණය සසඳා බැලීම එක් අතකට සිත්ගන්නාසුළු ව්‍යායාමයක් ද විය හැකියි. එසේම, මෙම ලක්ෂණයන්ට එහැමපිටින්ම ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ඔබේ ප්‍රධානියා ප්‍රකට කරනවානම් එය ඔහුගේ, ඔබේ, ඔබ ආයතනයේ මතු නොව සමස්ත සමාජයේම අර්බුදයක්, අවාසනාවක් බවට පත්වනවා ඇති. එහි ඇති වඩාම අවාසනාවන්ත කාරණය වන්නේ එවැනි නායකයන් යටතේ බිහිවන්නේත් ඔවුන් වැනිම නායකයන් වීමයි. එය එසේ වුවහොත් එය සමස්ත ජාතියේම අවාසනාවේ විෂම චක්‍රයක් වනවා ඇති.

නායකයන් සතු විය යුතු මනා ගුණාංග ගැන හුදී ජනයාගේ නිවැරදි අවබෝධය වැදගත් වන්නේ එහිදීයි.

(මෙය ලිවීමේදී ගෞරවාර්හ සෝභිත හිමියන්ගේ Buddha as a leader ලිපිය උපකාරී වුණා)

Monday, April 12, 2010

සේවා ස්ථානයේ සිදුවන ලිංගික අතවර | Sexual Harressment at workplace

සේවා ස්ථානයේ සිදුවන ලිංගික අතවර ගැන යමක් ලියන්න මම අදහස් කළේ ඇත්තටම එදිනෙදා දකින්නට සිදුවන ඒ ආකාරයේ සිද්ධි දාමයක් නිසා ඇති වුණ පිළිකුලත්, ඒ ගැන යමක් කරන්න තියෙන ප්‍රායෝගික දුෂ්කරතා නිසා ඇති ව තිබෙන මානසික පීඩනයත් නිසා බව මුලින්ම කිව යුතුයි. මේක බල්ලාගෙ වැඩේ බූරුවා කිරීමක් වගේ යමෙකුට පේන්න හැකි වුණත්, කළ යුතු බල්ලා තමන්ගේ කාරිය නොකරන කොට, ඊටත් වඩා තමන් නොකළ යුතු දේ කරන කොට පිට හරහට පොලු පාර වදින බව දැන දැනත් සමහර විට බූරුවට කට අරින්නෙ නැතිව ඉන්න බැරිවෙන වෙලාවල් එන්න පුළුවන්. මේක ත් සාමාන්‍යයෙන් අපේ සමාජයේ වැඩිය කතා නොකරන මාතෘකාවක් වුණත්, සාමාන්‍යයෙන් කතා නොකරන දේවල් ගැනම කතා කරන ටැබූ ත් මේ මාතෘකාව ගැන කතා නොකරන්නේ මොකද කියන එක මට ගැටළුවක්. අපේ සමාජයේ මේ ගැන වැඩිය කතා නොකරන්න එක හේතුවක් නම් වැඩි දෙනෙක් ගාව කිල්ලෝට තිබීමත්, එයින් බොහොමයක් කිල්ලෝට වල ටික ටික නමුත් හුණු තිබීමත් විදියටයි මම දකින්නේ.

සේවා ස්ථානයේ සිදුවන ලිංගික අතවර වැළැක්වීමට අදාලව අපේ රටේ විශාල සංඛ්‍යාවක් නීති රීති තියෙන බව මේ ගැන ටිකක් හොයල බැලුවොත් දැන ගන්න ලැබෙනවා. මේ කාරණය විශේෂ කොට ම අපරාධ නීතිය යටතට ගැනෙන, දකුණු ආසියාවේ ඇති එකම රටත් ශ්‍රී ලංකාව බවයි කියන්නේ.එහෙනම් මේ රටේ කාන්තාවන්ට සේවා ස්ථානයේදී සිදුවන ලිංගික අතවර ඉතා අවමද? බැලූ බැල්මට ඒ කාරණය එහෙම බවයි පෙනී යන්නේ. මෙහෙම ප්‍රශ්නයක් ගැන කවුරුත් දන්නේ නැති තරම්. ඇත්තටම වෙලා තියෙන්නේ අතවර නොවීම නොවෙයි කරන්නේ අතවරයක් බව නොදැන සිටීම සහ දැන ගත්තත් නොකියා සිටීම බවයි මට නම් පේන්නේ. මෙතනදී මම "මට නම් පේන්නේ" කියල කියන්නේ එහි සැබෑ අර්ථයෙන් මයි. මේ අතවර විරුද්ධ ලිංගික පාර්ශ්වයන්ගෙන් වගේම සම ලිංගික පාර්ශ්වයන් වෙතින්ද සිදුවිය හැකි බව නීතිමය අර්ථකතනයන්හි සඳහන් වුවත්, වැඩිය සිදුවන්නේ පුරුෂ පාර්ශ්වය අතින් කාන්තා පාර්ශ්වයට වන හිංසන බව,එසේ කීමට තහවුරු කළ දත්ත නැතිව වුවත් අපේ සමාජයීය පරිසරය අනුව පිළිගැනීම වැරදි සහගත නොවන බවයි මගේ අදහස.

ලිංගික හිංසනයක් ලෙස හඳුනා ගැනීමටනම් භෞතික වශයෙන් සිදුවන ස්පර්ශයක් තිබිය යුතු බව අපේ සමාජයේ උගත්යැයි සම්මත පිරිස් පවා සිතා සිටිනවා. ඒ අනුව කාර්යාලයේ ප්‍රධානියා තමා වෙත කැඳවන කාන්තා සේවිකාවකගෙන් ඔයාට බබාල ඉන්නවද? කී දෙනෙක් ඉන්නවද? තව හදන්න කැමති නැද්ද? බබා තාම ඔයාගෙන් කිරි බොනවද? ආදී වශයෙන් තමන් කරන්න ගිය රාජකාරියට අදාල නැති ප්‍රශ්න වැලක් ඇසුවොත් ඒක ලිංගික හිංසනයක් නොවෙයි ද? (මේ මම හිතල ලියපු ප්‍රශ්න වැලක්වත්, නාරිවේද වෛද්‍යවරයෙක් තමාවෙත එන රෝගියකුගෙන් අහන ප්‍රශ්න මාලාවක්වත් නොවෙයි, ලංකාවෙ රාජ්‍ය ආයතනයක දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් තමාගෙ නිල කාමරයට නැඳවන කාන්තා සේවිකාවන්ගෙන් නිතර අසන ප්‍රශ්න මාලා කීපයකින් එකක්). මේක ලිංගික හිංසනයක්ද නැද්ද කිය එක ඇත්තටම විෂය මූලික කාරණයක්. මේ ප්‍රශ්න අහන්නෙ ඒ ප්‍රශ්න මාලාව කැමැත්තෙන් අහගෙන ඉන්න, පැනලා උත්තර දෙන සේවිකාවකගෙන් නම් එයින් ඇය මානසික පීඩාවකට පත් වෙන එකක් නැහැ, හිංසනයකුත් විය නොහැකියි. නමුත් මේ ප්‍රශ්න කිරීමට ගොදුරු වන්නෙ ඔහු සමග ඒ ප්‍රශ්න සාකච්ඡා කිරීමට අකමැති එයින් මානසිකව පීඩාවට පත්වන සේවිකාවක නම් එතැන හිංසනයක් පවතිනවා. ඇත්තෙන්ම එතැන භෞතික සාධකයක් ඇතත් නැතත් එය සේවා ස්ථානයේ සිදුවන ලිංගික ස්වභාවයේ අතවරයක් ලෙසයි අර්ථ දැක්වෙන්නේ.

මේ අතවරයන් සම්බන්ධව නීතිමය තත්ත්වය ගැඹුරින් විග්‍රහ කරන්න නෙවෙයි මම අදහස් කරන්නේ. ඒ සම්බන්ධව දැන ගැනීමට කැමති ‍අයට ගුගල් සෙවීමකින් බොහෝ තොරතුරු දැන ගත හැකියි. මෙයට පෙරත් සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ මේ කාරණය පිළිබඳ ශක්තිමත් නීති පද්ධතියක් තිබේනම් එහි ප්‍රායෝගික භාවිතය කෙසේද කියන එක සොයා බැලීමයි වැදගත්. මේ නීති රීති යටතේ කොපමණ දෙනෙක් නීතියේ පිළිසරණ පතනවාද? එසේ නොපතනවානම් ඒ එවැනි ගැටළු රටේ නැති නිසාද නැති නම් වෙනත් හේතුවක් නිසා ද? මේ ගැන කළ අධ්‍යයනයන් වලදී පෙනී ගොස් ඇත්තේ සංස්කෘතිකමය කරුණු නිසා මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් වාරතා වීම අවම වන බව. මෙය පිළි ගත හකි සත්‍යයක්. මා මෙහි ඉහත කී ආයතන ප්‍රධානියාගේ වාචික අතවරයන්ට නිරන්තරව ලක් වන සේවිකාවන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි නොකරන්නේ එය අවසානයේ තමාටම පාරාවලල්ලක් වේය යන බිය නිසා යි. එක් අවස්ථාවක ඉහත ප්‍රධානියාට ආයතනයේ පැවැත්වෙන බෞද්ධ ධර්ම දේශනයක් ශ්‍රවණය කිරීමටයන සිය සේවිකාවක් ආතනය තුළ කොරිඩෝවකදී මුණ ගැසුණා. ඇසීම අනවශ්‍ය වුවත් ඔහු සිරත් පරිදි මේ සේවිකාවගෙන් යන්නේ කොහේදැයි ඇසූ විට ඇය කීවේ "බණ අහන්න යනවා" කියා. එයට ඔහු දුන් ක්ෂණික පිළිතුර වුණේ "අහන්නද යන්නෙ" යන්නයි. මෙම ප්‍රශ්නය ඔහු ඇසුවේ ස්වාමීන්වහන්සේ නමකගෙන් නම් එසේ ඇසීම තේරුම්ගත හැකියි. මන්ද ස්වාමීන්වහන්සේ නමකට බණ ඇසීමට වගේම කීමටත් හැකි නිසා. මෙහිදී මේ අවිනීත පුද්ගලයා අදහස් කළේ කුමක්ද කියා සිංහල මව්බස ලෙස භාවිත කරන සියළු දෙනාටම වැටහුණත් එම අවිනීත වාග් ප්‍රහාරයට ලක් වූ සේවිකාවට ඒ සම්බන්ධව කළ හැක්කේ කුමක්ද? තවත් අවස්ථාවක මේ පුද්ගලයා බැංකොක් නගරයේ පුද්ගලික සංචාරයක නිරත වීමට සිටි සිය දියණියකගේ වයසේ වූ සේවිකාවක් කැඳවා නොයෙකුත් පුද්ගලික ප්‍රශ්න වැලක් අවසානයේ ඇයට දුන් උපදෙස වූයේ ගිය විට "රෙඩ් ලයිට් ඒරියා" නරඹන ලෙසත් එම "එක්ස්පීරියන්ස්" එක ඉතා වැදගත් බවත්. තමා බැංකාක් ගිය විට නතර වූයේ හිල්ටන් හෝටලයේ බවත් තමා රෙඩ් ලයිට් ඒරියා බැලූ බව හා එහි වර්ණනාවත් ඇයට කීමට ඔහු ‍පැකිළුනේ නැහැ. පාසැල් හැර ගිය අළුතම සේවයට එක් ව සිටි ඒ ලාබාල යුවතිය කාමරයෙන් එළියට පැමිණ සිය සහෝදර සේවිකාවන් කීප දෙනෙකුට මෙය කියූ බැවින් මෙම කාරණය බාහිරයට අනාවරණය වුණේ. මෙම පුද්ගලයා සම්බන්ධ විශේෂම කරුණනම් ඔහු එම ප්‍රමුඛ රාජ්‍ය ආයතනයේ මානව සම්පත් භාර ප්‍රධානම පුද්ගලයා වීමයි.

දැන් මා මෙහිදී සඳහන් කළ සිද්ධි සම්බන්ධයෙන් "ඕක මොකක්ද ඔච්චර දෙයක්ද" කියා ඔබට හිතුණානම් සේවා ස්ථානවල කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන තවදුරටත් පවත්වාගෙන යාමට ඔබගෙනුත් අක්‍රිය දායකත්වයක් ලැබෙන බව කිව හැකියි. මා මෙහි සඳහන් කළේ එක් ආයතනයක එක් පුද්ගලයෙකු සම්බන්ධ සිද්ධි විශාල සංඛ්‍යාවකින් තුනක් පමණයි. ඒ සිද්ධි සියල්ලම සඳහන් කළොත් වෙනමම වෙබ් අඩවියක් ඔහුගේ අශ්ලීල කතා සහ ක්‍රියා වලින්ම තැනිය හැකියි. නමුත් මේ අසහනකාරී ක්‍රියාවට දිනපතා ගොදුරුවන සේවිකාවන් එයින් ලබන මානසික අසහනය කොපමණද? ඔබේත් ඔබ මෙන්ම තවත් දහසක් දෙනාගේත් "ඕක මොකක්ද" ආකල්පය නිසා දහසකුත් එකක් බලසම්පන්න නීති වල්ගය නැති ගොනුන්ගේ තත්ත්වයට පත්ව ඇති විට ඔවුන්ට ඇති පිළිසරණ කුමක්ද? මෙම හිංසනයට ලක්වන සහෝදරියන්ගේ මානසික වේදනාවට සංවේදී වී එවැනි ක්‍රියා වලින් වැලකී සිටින ලෙස සහ, මේ සම්බන්ධව දැනුම්වත් වීමේ සහ දැනුම්වත් කිරීමේ ක්‍රියාවලියක් තුළින් එවැනි දහසක් දෙනාගේ දුක්වේදනා තුරන් කිරීමට කිසියම් හෝ දායකත්වයක් දෙන ලෙසයි මා ඉල්ලා සිටින්නේ.

Sunday, April 11, 2010

හමුවීම

ජීවිතයේ බොහෝ දුර කතර ගෙවා යන මග අතරමග

හමුවුණා ඔබ

තවත් සිය දහස් දෙන අතර

ඔබ තවත් එක් කෙනෙක් නොව

මා පැතූ, මා සිත රැඳි රුව ම විය

ඔබ ද ඔබේ නොව - මා ද මගේ නොව

අන් සතුව සිටි විට

තුමක් කරමුද අප

ජීවිතයේ බොහෝ දුර දිනයක අපේ මං පෙත්

බෙදී වෙන් වී ඇත

එක මගක නොගියද

එක සෙවණක නොසිටියද

සිතින්,

ඔබ මගේ මය

මම ඔබේ ම ය

Saturday, December 12, 2009

අහිමි පැතුම

දුරින් හිඳ බලන්නෙමි ඔබෙ සුසුදු වත දකින්නෙමි මම
ලඟින් හිඳ දකින්නට මට නොමැත පින් හිමී

දුරින් පෙනෙන සඳ මඬලේ සිරිය සිත පුරා විඳිනෙමි
කිසිදු දින අතට නොවඩින බවද දන්නෙමි

සිහින ලොවෙහිදීවත් මට ඔබේ අත හිමි නොවන බව දැන
එහෙත් කඳුළු වැල් සඟවා සිනා සී ඉමි

සිතින් මා ඔබේ ළඟ හිඳ ඔබට සෙවන සලසන සඳ
ඔබේ මිහිරි මුදු වදනින් සදා සැනසෙමි

නිම් ඉම් නැති දිවි කතරේ,එබයි සඳ පහන් කෙම් බිම
සදා එහි රැඳී ඉන්නට වරම් පතනෙමී

සිතට ඔබ ගෙනෙන සිසිලෙන් සදා සැනසෙමි

Tuesday, November 3, 2009

හරියට ඇලවූ වැරදි ස්ටිකරය

මගේ මෝටර් රථයේ පිටුපස වීදුරුවේ ස්ටිකරයක් අලවා තිබේ. "My Alma Matar – Royal College" යනුවෙන් එහි ලියැවී ඇත. මේ ස්ටිකරය දකින විවිධ අය තම තම නැණ පමණින් විවිධ අදහස් පහළ කර ගන්නවා ඇත. මේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් මේ ස්ටිකරය හඳුනනන වැඩි දෙනෙකුට එය එක්තරා සමාජ පන්තියක් පිළිබඳ සංඥාවකි. එනම් ඔවුනට එය මේ රටේ එක්තරා අවධියක ආර්ථික සහ දේශපාලන බලතල දරන ලද පන්තියක් නියෝජනය කරන සංකේතයකි. එහෙත් එම සමාජය නියෝජනය කරන අයට නම් මේ ස්ටිකරය වැරදීමකින් අලවන ලද්දක් මෙන් පෙනී යාමට ද ඉඩ ඇත! මේ ස්ටිකරය වැරදීමකින් අලවන ලද්දක් නොවුණත් එය ඇලවීමට හැකියාව ලැබීම නම් තරමක් දුර්ලභ සිද්ධියක් සේ සැලකිය හැකි ය.

1976 වසරේ ජනවාරි මාසයේ මා හා පුරා කියා ඇතුළත් කරන ලද්දේ කොළඹ රාජකීය විද්‍යාලයයට නොව අ/තම්මැන්නාකුලම ප්‍රාථමික විද්‍යාලයට ය. විද්‍යාලයේ නම එය පිහිටා ඇති ගමේ නම ම ය. නමට මුලින් ඇති "අ" අක්ෂරය සංකේතවත් කරන්නේ එය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති බවය. එය සත්‍ය වශයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු මායිම අසල පිහිටි කුඩා ගම්මානයකි. තුන් පැත්තකින් දෙමළ ගම්මානයන්ගෙන්ද අනෙක් පසින් වියළි කලාපීය වනයෙන්ද වටව පැවති සිංහල ගම්මානයක් වූ එයට ළඟා වීමට මැදවච්චිය මන්නාරම මාර්ගයේ නේරියකුලම හන්දියෙන් බසයෙන් බැස සැතපුම් 3 ½ ක් පයින් යා යුතු විය.

මේ විද්‍යාලයේ එවකට සේවය කළෝ ගුරුවරුන් දෙපළක් පමණෙකි. එනම්, මගේ මවත් පියාත් පමණි. මුළු විදුහලටම සිසුන් සිටියේ 50 කට මඳක් වැඩි ගණනක් වූ බවත්, මා විදුහල හැර ගිය 1980 වසරේ එය 66 ක් වූ බවත් මට මතක ය. මේ විදුහලට පත් කර එවන ගුරුවරු, ගමනාගමනය අතිනුත් වෙනත් කාරණා අතිනුත් එහි පැවති දුෂ්කරතා හේතු කරගෙන එහි සේවය කිරීමට මැළිව වෙනත් පාසැල්වලට මාරුවී යාම නිසා කිසි දිනෙක මේ විදුහලේ ගුරුවරු එක්වරෙකට තිදෙනෙකුට වඩා සේවය කර තිබුණේ නැත. මගේ පියාත් මවත් මෙම විදුහලට පත්ව යාමට පෙර මේ විදුහලේ සේවය කළ ගුරු මහතානම් ඉතා කැමැත්තෙන් මෙහි සේවය කර තිබුණි. එයට හේතුව වූයේ ඔහු හොඳ හේන් ගොවියෙකු වීමත්, ඔහු එහි සේවය කළ සමයේ ඒ අවට විශාල හේනක් වගා කර තිබීමත් ය.

එවකට මේ ප්‍රදේශයේ ජනප්‍රිය ව පැවති වගාව වූයේ උඳු වගාව යි. වෙනත් වගාවන් මෙන් නොව පස සකසා වැපුරූ පසුව අස්වනු නෙළා ගන්නා තුරු විශේෂ සාත්තුවක් අවශ්‍ය නොවීමත්, ඒ කාලයේ හැටියට විශාල මිලක් ලැබීමත් නිසා මේ වගාව හේන් ගොවීන් අතර ජනප්‍රිය විය. වී වගාව ද සැලකිය යුතු ප්‍රමාණයකට සිදු වූවත් වී සඳහා හොඳ මිලක් ලබා ගැනීම පහසු වූයේ නැත. එකල වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමේ යෙදුණ නමුත් එහි ගබඩා කරා ගොවීන් විසින්ම වී ගෙන ගොස් භාර දීමට සිදු වීමත්, එහි පැවතියායැයි කියන නොයෙකුත් අක්‍රමිකතාවන් නිසාත් ගොවීන් තුළ මණ්ඩලය ගැන එතරම් ප්‍රසාදයක් නොවී ය. වී අලෙවි මණ්ඩලයේ සේවය කළ නිලධාරීන් සතුව ට්‍රැක්ටර් තුන හතරක් ජීප් රථයක්, මෝටර් සයිකලයක් තිබීම එවකට සුලබ දසුනක් විය. එකල වී අලෙවි මණ්ඩලය බෙහෙවින් ලාභ ලබා එහි සේවකයන්ට ද ඉහළ වැටුප් ලැබීම ඊට හේතුව විය හැකි වුවත් ගොවීන් එය දුටුවේ ඒ ආකාරයට නොවේ.

ප්‍රදේශය වියළි කලාපයට අයත් වීම නිසා වී වගාව සිදු කරන ලද්දේ වැව් දියෙනි. ඇතැම් විට අහස් දියෙන් ගොඩ වී වගාව ද කරන ලද නමුත් ඒ කලාතුරෙකිනි. වැසි සමය ඇරඹීමට ආසන්නයේ හේන් බිමෙක වී වපුරා වැසි සමය ආරම්භ වීමත් සමග වී පැළ වීමට ඉඩ හරින ඒක්‍රමය කැකුළන් ගැහීම නම් විය.

මා පාසැල් අධ්‍යාපනය ඇරඹූ තම්මැන්නාකුලම විද්‍යාලය පිහිටා තිබුණේ තම්මැන්නාකුලම ගම්මානයේ වැවට ඉහළිනි. කුලම යනු වැව යන අරුත දෙන දෙමළ වචනයයි. දීර්ඝ කාලයක් දෙමළ ඇසුරේ පැවතීම නිසා මේ ප්‍රදේශයේ ප්‍රදේශ නාමයන් වැඩි හරියක් දෙමළ ඌරුව ගෙන තිබුණි. ගමේ වැසියන් දරුවන්ට නම් තබුවේද දෙමළ නම් තබන ක්‍රමයට එනම් පියාගේ නම පුතාගේ හෝ දුවගේ වාසගම වන ආකාරයට විය. පියදාසගේ පුතා ජයසේන නම් පුතාගේ නම පියදාසගේ ජයසේන ය. ජයසේනගේ පුතා ජයසේනගේ ප්‍රේමරත්න වනු ඇත. දකුණේ සිංහලයන් අතර ඇති ආකාරයේ පෙළපත් නාමයක් ඔවුන් අතර තිබුණේ නැත.

තම්මැන්නාකුලම වැව දීර්ඝ කාලයක් තිස්සේ නොසලකා හරිනු ලැබු වැවක් විය. වැව්වල නඩත්තුව පුරාණ කාලයේ නම් ගමේ මිනිසුන් අතින්ම සිදු කෙරුණත් ඉංග්‍රීසි පාලන සමයෙන් පසු එය රජයේ කාර්යයක් බවට පත් වීම නිසා ගම් වල කුඩා වැව් වැඩි හරියකට අත් වී තිබුණේ දුර්භාග්‍ය සම්පන්න දශාවකි. වැවෙහි ප්‍රතිසංස්කරණය කලෙකට ඉහත කොන්ත්‍රාත් කරුවෙකුට පැවරුණ බවත් ඔහු වැවේ රළපනාව වැවට පෙරළා දමා කලින් තිබුණ පිටවාන වසා වැවේ අනෙක් කෙළවරෙන් පිටවානක් සකසා අතරමගදී වැඩය අත් හැර ගිය බවත් තම්මැන්නාකුලම වැව පිළිබඳව ගම්මුන් කී කතාවයි.

වැවක රළපනාව යනු වැව පිරී පවතින සමයේ දිය රැළි වලින් වැව් බැම්ම ආරක්ෂා කර ගැනීම පිණිස බැම්මේ වැව පැත්තේ අතුරා ඇති කළු ගල් ස්තරයකි. මෙය නැති විට බැම්ම රළ පහරට සේදී යයි. තම්මැන්නාකුලම වැවටද මේ ඉරණම අත් වෙමින් පැවති අතර, බැම්ම මතින් නිතොරව ගමන්ගත් හරකුන්ගේ කුර වලින් හානිය තවත් වැඩි වි තිබුණි. පිටවාන යනු වැව පිරී ඉතිරී යන අවස්ථාවක වැඩි වතුර වැවට හානි නොවන ආකාරයට වැවෙන් පිට කිරීමට සැකසූ ස්ථානයයි. ගම්මු මෙයට "ඉස්පීල්" එක යැයි කීහ. එය "Spill" නම් ඉංග්‍රීසි වචනය සිංහල කර ගැනීමකි. පිටවාන සකසා ඇත්තේ වැවේ වැඩි වන වතුර එයින් පිටව වාන් ඇළ ඔස්සේ ඊට පහළ වැවකට ගමන් කරන ආකාරයට වුවත් මේ වැවේ කර තිබූ නවීකරනය නිසා පිටවාන් ජලය වෙල් යායට මුදා හැරුණි. වැව වාන් දමන විට ඒ හේතුවෙන් වෙල් යායෙන් කොටසක් විනාශ විය. කොන්ත්‍රාත්කරු ඇතැම් විට සිය පහසුව සඳහා කරන ලද මේ විකෘතීන් වාරිමාර්ග ඉංජිනේරුවන් නොදකින්නට ඇත්ද යන්න ප්‍රහේළිකාවකි.

මගේ මා පියන් මේ විද්‍යාලයට පත්ව යන සමයේ විදුහලේ භෞතික තත්ත්වයද වැවේ තත්ත්වයට වඩා වෙනස් නොවී ය. විදුහලට තිබුණ එකම ශාලාවේ එකම ගේට්ටුවක් වත් වැසිය හැකි තත්ත්වයේ නොවූ අතර වැඩි ගණෙනක ගේට්ටු පියන් පවා නොතිබුණි. සිමෙන්ති පොළොවේ තිබුණේ පදාස පිටින් පැතිරුණ වළවල්ය. ශාලාව කෙළවරේ පැවති කාමරයේ ජනේලය ගැලවී තිබුණ හැටි තවමත් මගේ මතකයේ පවතී.

අපගේ පදිංචිය වූයේ ශාලාවට මෙපිටින් තිබුණ ගුරු නිවාසයයි. එහි දොර ජනෙල් සියල්ලම වානේ සැකිලි වලින් සකසා වානේ දැල් ගසා තිබණු බවත්, ඇතුළතින් වීදුරු අල්ලා තිබුණු බවත් මට මතක ය. ඇතැම් තැනක වීදුරු බිඳී තිබුණ බැවින් ඒ තැන් වලට කාඩ්බෝඩ් කැබලි ඇලවීමට සිදු විය. ගුරු නිවාසයේ වහල ඒ සමයේ රජරට පළාතේ සියළුම රජයේ ගොඩනැගිලි වල තිබුණාක් මෙන් රැළි ඇස්බැස්ටෝස් තහඩුවෙන් සෙවිළි කරන ලදුව ඇතුළතින් ඇස්බැස්ටෝස් තහඩුවෙන් සිවිලිම් ගසා තිබුණි. කෙසේ වෙතත් විදුහල් ශාලාවේ තිබුණාක් මෙන් ගුරු නිවාසයේ ද සිමෙන්ති පොළොවට වඩා තිබුණේ වළවල් ය. බිත්ති කපරාරුවද පදාස පිටින් ගැලවී තිබුණි. ගුරු නිවාසයේ වළවල් තාවකාලිකව මැටි යොදා වසා සමතලා කර ගැනීමට මේ නිසා අපට සිදු විය.

මේ ගුරු නිවාසයේ ජීවිතය ගැන මට මතක ඇති තවත් විශේෂ කරුණක් නම් එහි බිත්ති වසා පැතිර පැවති සුදු පැහැති පිටි වැනි ස්තරයයි. මේ ස්තරය සැදුණේ මාස 03කට වරක් ගමට පැමිණෙන මැලේරියා මර්දන ව්‍යාපාරයේ සේවකයන් විසින් බිත්ති පුරා ඉසින ලද ඩී.ඩී.ටී කුඩු වලිනි. ඒ සේවකයන් සුළං පීඩනයෙන් ක්‍රියා කරන ඉසින යන්ත්‍ර තුලට ඩී.ඩී.ටී කුඩු පැකට්ටු දෙකක් හලා ඊට ජලය එක් කර සොලවා පියන වසා අනතුරුව සුළං පොම්ප කර බිත්ති පුරා ඉසින අයුරු බලා සිටීම අප ආශා කළ දෙයක් වූ අතර, එහි ඇති අනතුරුදායක බව ගැන අපට හැඟීමක් නොවීය. මදුරු මර්දන ව්‍යාපාරයේ සේවකයන් පැමිණි දාට අම්මා ආහාර ද්‍රව්‍ය සහ ඉවතට ගෙන යා හැකි බඩු බාහිරාදිය ගෙන් පිටත තබා විශාල ගෘහ භාණ්ඩ පැදුරු සහ පොලිතීන් කොළ වලින් වසා දමයි. මැලේරියා සේවකයෝ ඉන් පසු ගේ තුළත් පිටතත් බිත්ති සහ සිවිලිමද සැම තැනකම ඩී.ඩී.ටී දියරය ඉසිති. මෙය වියළුන පසු බිත්තිය මත සුදුපැහැති පිටි ස්තරයක් මෙන් රැඳී පවතින අතර, බිත්තියට හේත්තු වූ විට එය ඇ‍‍‍ඟේ සුදු පැහැ පදාසයක් සේ තැවරෙයි. මෙය අපට අමුත්තක් නොවූ නමුත් ගමේ සිට පැමිණෙන අපේ නෑයෝත් මිත්‍රයෝත් මේ ඩී.ඩී.ටී ගඳටත් ඇ‍ඟෙහි තැවරෙන කුඩටත් කොහෙත්ම කැමති වූයේ නැත.

මේ ගම්මානවල අධ්‍යාපනය සම්බන්ධයෙන් වූයේ යහපත් ආකල්පයක් නොවේ. විදුහලේ පන්ති පැවතියේ පස්වැනි ශ්‍රේණිය දක්වා පමණක් වූ බැවින් පස් වැනි පන්තිය සමත් වීමෙන් පසු වෙනත් පාසැලකට යාමට එහි දරුවන්ට සිදු විය. නමුත් බොහෝ දෙනෙක් පස් වැනි පන්තිය දක්වා වත් පාසැලට පැමිණියේ නැත. හේන් කාලයට දෙමාපියන්ට උදවි වීම පිණිස දරුවන් වැඩි දෙනෙක් ගෙදර නැවතුණ නිසා ඔවුන්ගේ පාසැල් ගමන අවුරුද්දෙන් අඩකට සීමා විය. පිරිමි දරුවෝ හේන් වැඩ වලට කැත්තෙන් උදැල්ලෙන් සහය වන විට ගැහැණු දරුවෝ දර දිය ගෙන ඒම, කෑම ඉවීම සහ බාල දරුවන් බලා කියා ගැනීම ආදියෙන් දෙමාපියන්ට උදවු වූහ. ග‍මේ සිට ආසන්නයේම පැවති පස්වැනි පන්තියෙන් ඉහළ පන්ති සහිත පාසැල වු යකාවැව විද්‍යාලයට යාමට සැතපුම් 3 ½ ක් පයින් හො බයිසිකලයෙන් හෝ නේරියකුලම හන්දියට ගොස් මන්නාරම මැදවච්චිය බස් රථයකින් සැතපුම් 7 ක් පමණ යා යුතු විය. එබැවින් මේ දුෂ්කරක්‍රියාව කරන ලද්දේ ඉතා කලාතු‍රෙකින් අයෙකි. එවැනි එක් දරුවෙක් බයිසිකලයෙන් මේ සැතපුම් 10 ක දුර ආ ගිය බව මට මතක ය. ගමට ආසන්නයෙන් පැවති උසස්පෙළ පන්ති සහිත විදුහල වූයේ මැදවච්චිය මහා විද්‍යාලයයි. මට මතක හැටියට එහි ශිෂ්‍ය නේවාසිකාගාරයක්ද තිබුණි.

මැදවච්චිය මන්නාරම මාර්ගයේ බස් ගමනාගමනය ගැන මගේ මතකයේ නොමැකී පවතින එක් සිද්ධියක් ඇත. වරක් මගේ පුංචි අම්මාත් බාප්පාත් (ඇගේ සැමියා) අප බලන්නට තම්මැන්නාකුලම විද්‍යාලයට ආ විටෙක මිහින්තලය වැඳ පුදා ගන්නට යාමට ඔවුන්ට ඕනැ විය. මේ අනුව මමත් නංගීත් තාත්තාත් ඔවුන් දෙදෙන සමග මිහින්තලා යාමට සැරසී නේරියකුලම මංසන්දියට ආවෙමු. අප බලාපොරොත්තු වූයේ මන්නාරමේ සිට පැමිණ උදෑසන 7 ට එතැන පසු කරන බස් රථයෙන් අනුරෘධපුරයට යාමටයි. අප දවල් 12 වනතෙක් එතැන රැඳී සිටි නමුත් මැදවච්චියට හෝ ඉන් එපිටට හෝ යන එකදු බස් රථයක්වත් නොපැමිණි හෙයින් ගමන අත්හැර ආපසු නිවෙස බලා ඒමට අපට සිදු විය. අප නිවසෙන් පිටතට ගියේ කලාතුරෙකින් නිසා මෙය මට විශේෂ සිද්ධියක් ලෙස මතකයේ රැඳුනත් රාජකාරි කටයුතු වලටත් නිවසට අවශ්‍ය කළමනා ගෙන ඒමටත් සතියකට වරක්වත් මැදවච්චියට ගිය තාත්තාටනම් මෙය විශේෂයක් නොවන්නට ඇත. උදේ පිටත් වූ ඔහු බොහෝ විට නිවසට රෑ බෝ වී එන්නේ ගමනේ වූ මේ දුෂ්කරතා නිසා ය.

හදිසියක ලෙඩක් දුකක් හැදුණොත් යමෙකු රැගෙන යාමට මැදවච්චිය රෝහලට වඩා ආසන්නම රෝහල වූයේ සෙටිටිකුලම රජයේ රෝහලයි. එයට සැතපුම් 8-10 ක් පමණ දුර වූ අතර මැදවච්චිය මන්නාරම මාර්ගයේ නේරියකුලමින් මන්නාරම දෙසට වන්නට එය පිහිටා තිබුණි. මේ කාලයේ රෝද දෙකේ ට්‍රැක්ටරය අද මෙන් බහුලව නොතිබුණ අතර ගමේ එකදු රෝද දෙකේ ට්‍රැක්ටරයක්වත් නොතිබුණි. ගමට තිබුණු රෝද හතරේ ට්‍රැක්ටර් තුන හතරෙන් එකකවත් ට්‍රේලරයක්දනොවී ය. මේ නිසා හදිසියකදී රෝගියකු රෝහලට ගෙන යාමට අවශ්‍ය වූ විට රෝද හතරේ ට්‍රැක්ටරයේ පිටුපස නගුල සවි කරන බාර් දෙක හරහට ලණු ගැටගසා ඒ මත පඩංගුවක්(එනම් වී හෝ උඳු හෝ පෑගීමේ දී බිමට එළීමට ගෝනි එක්කර මසා ගත් විශාල ඇතිරිල්ලක්) නමා තබා ඒ මත රෝගියා තබා රැගෙන යන ලදී. රෝගියාගේ තත්ත්වය බරපතල නොවී නම් ආසන්න මාන්කුලම කඩ වීදීයට සැතපුම් 4ක් මග ගෙවා බයිසිකලයකින් ගොස් එහි තිබුණ එකම මෝටර් රථය කැඳවාගෙන ආ හැකි විය. ට්‍රැක්ටරයේ රෝහල් ගමන මට හොඳින් මතක ඇත්තේ වරක් මටත් තවත් වරෙක අම්මාටත් රාත්‍රියේ ඒ ආකාරයට රෝහල කරා යන්නට සිදු වු බැවිනි.

මේ කාලයේ තම්මැන්නාකුලමට පමණක් නොව ඒ අවට පැවති කිසිදු ගම්මානයකට විදුලි බලය සපයා නොතිබූ බැවින් අප රාත්‍රිය අඳුර මකා ගන්නා ලද්දේ භූමිතෙල් ලාම්පු වලිනි. මේසය මත තබන චිමිනි ලාම්පු කීපයක්ද පෙට්‍රෝමැක්ස් ලාම්පුවක් සහ වහලේ එල්ලන චිමිනි ලාම්පුවක්ද අප නිවසේ තිබුණි. මීට අමතරව රාත්‍රියේ ඉවුම් පිහුම් වලදී කුස්සියේ ලිප අසල තබා ගැනීමටත් නිවසින් පිටතට ගෙන යාමටත් කුප්පි ලාම්පු කීපයක්ද අම්මා විසින් සාදාගෙන තිබුණු බව මතකය. පෙට්‍රෝමැක්ස් ලාම්පුව අප දැල්වූයේ කලාතුරකින්, පිටතින් කවරෙකු හෝ පැමිණි විටෙක හෝ උත්සව අවස්ථාවක පමණි.

විදුහලේ ඉඩම අක්කර පහක් පමණ වූ අතර ඉහත කී ගොඩනැගිලි දෙකටත් ඒ දෙක අසල පසු කලෙක තාත්තාගේ මූලිකත්වයෙන් ඉදිකරන ලද බුදු මැදුරටත් අක්කර භාගයක් පමණ වෙන් විය. ඉතිරි ඉඩමේ තාත්තා විසින් විවිධ භෝග වගා කරන ලදී. වී, උඳු, කව්පි, මුං, තල, ඉරිඟු, මිරිස් ආදිය ඒ අතර ප්‍රධාන විය.
වී සහ උඳු අසවැන්න කපා පාගා ගන්නා ආකාරය බැලීම එකල අපට විනෝදජනක කාර්යයක් විය. ගොයම් කොළය බිම එළන ලද පඩංගු මත ගොඩ ගැසීමෙන් පසු ට්‍රැක්ටරය ඒ මතින් පසුපසට රවුමට ගමන් කරනු ලැබේ. දැතිගොයියා අතට ගත් කීපදෙනෙක් මැඩුවන් හලමින් ඒ සමග ගමන් කරති. ගොයම් මැඩීමෙන් අනතුරුව, පිදුරු වලින් වී වෙන් කර ගැනීම පිණිස සුළං කිරීමට යොදා ගනු ලැබුවේද ට්‍රැක්ටරයයි. ට්‍රැක්ටරයේ පිටුපස ඇති එන්ජිමෙන් කරකැවෙන ‍දණ්ඩට ඒ වෙනුවෙන්ම සැකසු පංකාවක් සවි කර එය වේගයෙන් කරකැවෙද්දී පිදුරු මිශු වී කුළු වලින් ගෙන හැලීමෙනි වී සුළං කරනු ලැබුවේ. එන්ජිමෙන් පංකාව කරකැවී ඇති වු මහා සුළඟ තුළ වී කාටුවද නොතකා දිවීම අපගේ සෙල්ලමක් විය. උඳු මැඩීමද කරන ලද්දේ මේ ආකාරයටම වුවත් උඳු කාටුව ගොයම් කාටුවට වඩා කසන සුළු හෙයින් ඒ සමඟ සෙල්ලම් කිරීමට අපි උත්සුක නොවීමු. සුළං කර වී හෝ උඳු හෝ වෙන් කර ගත් පසු, ඒවා ගෝනි වල දමා ගැටගසා ට්‍රැක්ටරයේ පිටුපස නගුල සවි කරන බාර් දෙක මත ගොඩ ගසා නිවස කරා ගෙන යනු ලැබීය. ගමේ ට්‍රැක්ටර් වල ට්‍රේලර නොතිබූ බැවින් ට්‍රේලරයෙන් වී ගෙන යාමක් දක්නට නොවී ය.

ඒ කාලයේ මේ ගම් වල බොහෝ කාර්යයන් සඳහා උපකාරී වූයේ රෝද හතරේ ට්‍රැක්ටරයයි. ගොයම් මැඩීමට සුළං කිරීමට, ගමන් බිමන් යාමට, වී හා වෙනත් ද්‍රව්‍ය ප්‍රවාහනයට, ලෙඩුන් ගෙන යාමට පමණක් නොව වැවෙන් ජලය පොම්ප කිරීමටද ඒ යොදා ගන්නා ලදී. වැවෙන් ජලය පොම්ප කිරීමට ට්‍රැක්ටරය යොදා ගත් ආකාරය මගේ සිත් ගත් දසුනක් විය. වැව සිඳී ගොස් වැවෙහි ජලය සොරොව්ව මට්ටමින් පහළ ගිය විටෙක ගොවීන් කළේ වැව තුළ සොරොව්ව දෙසට ඇළක් කපා රෝද හතරේ ට්‍රැක්ටරයක පිටුපස රෝද දෙකෙන් එකක් බිම නොගෑවෙන පරිදි ඔසවා ඒ ඇළෙහි ජලය තුළ තබා රෝදය වේගයෙන් කරකැවීමය. ට්‍රැක්ටරයේ පිටුපස රෝදයේ විශාල කට්ට රටාව නිසා එයින් විශාල ජල දහරාවක් නොකඩවා සොරොව්ව තුළට වීසි කිරීමට ඔවුනට පුළුවන් වීය.

රජරට පුරාණ ගම්වල පැරණි නටබුන් නොමැති තැනක් ‍නැති තරම් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. තම්මැන්නාකුලමේ ද වැව අසබඩ වනය තුළ එවැනි ස්ථානයක් තිබුණි. වරෙක ගම්මුන් කීප දෙනෙකුද කැටුව තාත්තා ඒ ස්ථානය බැලීමට යන විට මාද කැඳවගෙන යන ලදී. එය වනයෙන් වැසුණු පුරාණ චෛත්‍යක්යැයි සිතිය හැකි ස්ථානයකි. චෛත්‍ය පස්ගොඩැල්ලක් බවට පත්ව තිබුණු අතර ඒ අතර පැවති පැතලි විශාල පුරාණ ගඩොල් එය තැනීමට යොදාගෙන තිබුණු ඒවායැයි සිතිය හැකි වී ය. ගම්මුන් කී හැටියට මෙහි පැවති නිධානයක් කලකට ඉහත ගමෙහි වාසය කළ ගම්මුන් විසින් ගොඩ ගැනීමෙන් පසු ඔවුනට කළු දෙබරුන්ගෙන් හිරිහැර වී ඇත. ඉන්පසු ඒ ඒ ගම්මු ගම අත හැර ගිය බව ඔවුහු කීහ. අප සමග ගිය මට වඩා මඳක් වයසැති ළමයෙක් මට කීවේ නිධානය ගත් වල එහි තිබෙන බවත් එහි තවමත් රත්තරන් ගෑවුණ ලකුණු තිබෙන බවත් ය. ඔහු පෙන්වූ කළුගලින් සැදුණ කුඩා රවුම් වල පිරී තිබුණ කොළ රොඩු අප කීප දෙනෙකු විසින් ඉවත් කළ නමුත් රත්තරන් ගෑවුණු බවක් එහි පෙනෙන්නට නොවී ය. එය ගල්කණුවක් සිටුවීමට සකස්කළ එකක් විය හැකි බව තාත්තාගේ අදහස විය.

ගම දෙමළ ගම්මාන වලින් වට වී පැවති බව මම මුලින් කීවෙමි. මේ නිසා දෙමළ මිනිසුන් සහ ගමේ වැසියන් අතර පැවතියේ සුහදතාවයකි. අප එහි ගිය ආසන්නයේම එනම් 1977 වසරේ පැවති මහ මැතිවරණයෙන් ඒ.අමිර්තලිංගම් මහතා විපක්ෂ නායක ධූරයට පත් වීමත් සමග ජාතිවාදී භීෂණක භීතිය පැතිර ගියේ ය. වවුනියාවේ දෙමළ පිරිස් සිංහලයන් ඝාතනය කිරීම පිණිස එන බවට පැතිර ගිය ආරංචිය නිසා ගම්වැසියෝ දරු පැටවුන් සහ අතට අසුවූ වටිනා දෙයක් රැගෙන අවට වනයට පළා ගිය හ. පාසැල ගමෙන් තරමක් දුරින් පැවති බැවින් අප සොයා ආ ගම්වැසියන් කිහිප දෙනෙක් අපවද ඹවුන් සමග රැගෙන ගිය අතර පුරා දවසක් පමණ අපි භීතියෙන් යුතුව වනයේ රැඳී සිටියෙමු. පසුව සියළු දෙනාම ආපසු නිවෙස් කරා ආවේ පවත්නා තත්ත්වය සොයා බැලීමට ගිය වැඩිහිටි ගම්වැසියන් කීප දෙනෙකු විසින් අනතුරක් නැති බව සනාථ කරනු ලැබීමෙන් පසුව ය.

මේ සිද්ධියෙන් පසුව වුවත් අවට ගම්වල දෙමළ වැසියන් හා සමග පැවති සුහදතාවය පළුදු වූයේ නැත. මගේ පියා මැදවච්චියට හෝ අනුරාධපුරයට හෝ ගොස් රෑ බෝ වී ආපසු පැමිණෙන විට බසයෙන් බැස ගමට එන සැතපුම් 3 ½ ක දුරින් කොටසක් ඔහු සමග සිය බයිසිකලයෙන් පැමිණ ඔහුව ගමට හැරලීමට නේරියකුලමේ දෙමළ වැසියෙකු ඉදිරිපත්වීම නිතර සිදු විය. ගමෙහි වැසියන් බෞද්ධයන් වූවත් ගමෙහි පන්සලක් හෝ වැඳ පුදා ගත හැකි සිද්ධස්ථානයක් නොතිබුණි. මේ නිසා මගේ පියා ගම් වැසියන් කැඳවා පාසැලෙහි බුදු මැදුරක් තැනවීමට කටයුතු කළේ ය. බුදු මැදුරට බුදු පිළිමය පරිත්‍යාග කරන ලද්දේ රඹකුලම පන්සලේ හාමුදුරුවන් විසිනි. බුදු පිළිමය වඩමවාගෙන පැමිණෙන පෙරහැර පිළිගනිමින් බුදු පිළිමයට පළමු මල් වට්ටිය පූජා කරන ලද්දේ අසල්වැසි ගමෙහි දෙමළ වැසියෙකු බව මට තවමත් මතක තිබේ. කෙසේ වෙතත් මේ සුහදතාවය ඊළාම් යුද්ධය ආරම්භ වීමත් සමග පළුදු වී ගිය බව කිව යුතු ය. පසු කළෙක මගේ මාපියන් මාරු වීමක් ලබා සිය ගම් පළාතට පැමිණි 1983 වසරේ, ඊට මාස කීපයකට පසු, ගමට එල්.ටී.ටී. ඊ ප්‍රහාරයක් එල්ලවූ අතර ගම්මුන්ට ගම හැර යන්නට සිදු වු බව අපට ආරංචි විය.

මගේ පියා විදුහලට යන විට එහි භෞතික තත්ත්වය සේම අධ්‍යාපනයද පිරිහී පැවතුණි. එහි සිටි මුල් ගුරු මහතා මුල් තැන දී තිබුණේ විදුහලේ කටයුතු වලට නොව සිය හේන් වගාවට වීම එයට හේතුවයි. පියා පාසැලට ගිය මුල් දිනයේත් මුල් ගුරු මහතා උදෙන්ම හේනට ගොස් සිටි අතර, පාසැලේ සිටි ළමයි අළුත් ගුරු මහතා වට කරගෙන "මහත්තයා අපි බිං කුරුල්ලො අඳින්නදැයි" විමසූ බව පියා පසු කළෙක සිනාවෙන් යුතුව කී ය. රජරට පළාතේ වෙනත් පාසැල්වලත් දීර්ඝ කාලයක් සේවය කර තිබුණත් ඒ කිසි දිනෙක අසා නොතිබුණ මේ බිංකුරුල්ලන් මොකුන්දැයි පියා විමතියට පත්ව ඇත. පසුව ඔහු දැන ගත්තේ හේන් වැඩ කිරීමට හැකි පහේ පන්තියේ සිසුන් කීප දෙනා සමග හේනට යාමට පෙර මුල් ගුරු මහතා රටහුණු පෙට්ටියක් කඩා ඉතිරි සිසුන්ට බෙදා දී, බිම නොකැඩී ඉතිරි වී ඇති සිමෙන්ති පොළොවේ කුරුල්ලන් අඳින්නට අණවන බවයි. බිම අඳින මේ කුරුල්ලන් ඔවුන්ට බිං කුරුල්ලන් වී ය!

බිං කුරුල්ලන් ඇඳීමට පුරුදුව සිටි සිසුන්ට අකුරු උගැන්වීමට මගේ පියාත් මවත් මහත් වෙහෙසක් ගත් හ. එකිනෙකට වෙනස් වයස් කාණ්ඩ පහක ළමුනට ඉගැන්වීමේ දුෂ්කර කාර්යය කිරීමට ඔවුනට සිදවී තිබුණි. අපගේ පෞද්ගලික ගුවන් විදුලි යන්ත්‍රය යොදාගෙන ගුවන් විදුලි අධ්‍යාපන සේවයේ වැඩසටහන් වලට සවන් දීමටත් එම ක්‍රියාකාරකම් කිරීමටත් සිසුනට සලස්වන ලදී. මගේ පියාගේ නොකඩව ගත් උත්සාහය නිසා 1979 වසරේදී පමණ විදුහලේ ගොඩනැගිලි අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අළුත්වැඩියා කරනු ලැබී ය. යුනිසෙප් ආධාර යටතේ සැපයුණු ඉගෙනුම් ආධාරක කට්ටල සහ පොත් පත්ද ගුවන් විදුලි යන්තුයක් සහ පා පැදියක් ද විදුහලට ලබා දෙන ලදී. එකල ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය මගින් ප්‍රචාරය කරන ලද "රජරට පාසැල" වැඩ සටහනක් එම විදුහලෙන් ඉදිරිපත් කිරීමත් සිදු විය.

මට ද අනෙක් ළමුන් සමග අධ්‍යාපනය ලැබීමට සිදුවු අතර වෙනස වුයේ මගේ ගුරුන් හා දෙගුරුන් දෙගොල්ලම එකම අය වීමත් මා පැය විසිහතරම පාසැලේ ගත කිරීමත් ය. දශක කිපයක සිටම පුස්තකාල පොත් වශයෙන් පාසැලට සැපයුණ පොත් රාශියක් විදුහලේ අල්මාරියක පැවති අතර, ඒවා රැගෙන ගොස් කියවීමට දෙන ලද අවස්ථාව සිසුන් ප්‍රයෝජනයට ගත්තේ කලාතුරෙකිනි. නමුත්, මා හට නම් මෙම පොත් ධන නිධානයක් සේ වී ය. 1976 මගේ නම පාසැලට ඇතුලත් කරන දිනය වන විට මම, මේ පොත් අතර තිබූ රොබට් නොක්ස් ගේ "A historical relation on the island of Ceylon" නම් ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය, "එදා හෙළ දිව" සම්පූර්ණයෙන් කියවා සිටියෙමි. මේ පොත් අතර තිබූ රයිඩර් හැගාඩ් ගේ "Montezuma's Daughter" පොතේ සිංහල අනුවාදය, "ඔතෝමිය", "කොරල් දූපත", ආදී ප්‍රබන්ධයන් ද "පරමාණුවේ අනාගතය" වැනි විද්‍යාත්මක පොත් ද මම කියවීමි.

1980 දී මම පස් වැනි පන්තියේ සිටියදී මගේ මා පියෝ එවකට පැවති 6 වැනි ශ්‍රේණියට තෝරා ගැනීමේ පරීක්ෂණයන් සඳහා රාජකීය විද්‍යාලයටත් නාලන්දා විද්‍යාලයටත් අයදුම්පත් ඉදිරිපත් කළෝය. මේ අතර පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයටද ඒ වසරේදී පෙනී සිටියෙමි. රාජකීය විද්‍යාලයේ පරීක්ෂණය නාලන්දා විද්‍යාලයේ පරීක්ෂණයට කලින් පැවති අතර මා කියා සිටියේ නාලන්දා විද්‍යාලයට කැඳවීම ලදොත් මා රාජකීය විද්‍යලයට තේරුණත් එහි නොයන බව ය. මේ නිසා නාලන්දා විද්‍යාලයේ පරීක්ෂණයට කැඳවීම ලැබුණු විට මා එයට ඉදිරිපත් කිරීම ගැන මගේ දෙමවුපියන් පසු බා සිටි අතර මේ අතර ‍මගේ මව අසනීප වීම නිසා මා පරීක්ෂණයට ඉදිරිපත් වීම සඳහා කොළඹ රැගෙන යාමට ඔවුනට නොහැකි විය.

රාජකීය විද්‍යාලයේ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව මා ඒ විදුහලට තෝරාගෙන ඇති බව දන්වන ලදී. ඒ අනුව 1976 ජනවාරියේ සිට 1980 දෙසැම්බරය දක්වා අ/තම්මැන්නාකුලම විදුහලේ සිසුවකුව සිටි මම 1981 ජනවාරියේ සිට කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවකු වීමි. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලයද සපුරුදු පරිදි ප්‍රමාද වී ඒ වසරේ මැද ලැබුණු අතර එයින් මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ලැබූ සිසුවා වී සිටියෙමි.

ඒ අනුව මා ‍මුලදී කියන ලද ස්ටිකරය ඇලවීමට මට හැකියාව ලැබුණි. නමුත් ශිෂ්‍යත්වය සමත් වී නාලන්දා විද්‍යාලයට යන්නට සිතා සිටි, තවමත් සිංහල පමණක් ලියන සටැග් නයිට් නොයන මා, ඒ ස්ටිකරය අලවාගෙන සිටින්නේ ඇයිදැයි දැන් ඔබ අසනු ඇත. එයට දීමට ඇති පිළිතුර ‍සමහර විට මේ වන තෙක් ලියන ලද හෑල්ලටත් වඩා දිගු විය හැකි වුවත් රාජකීය විද්‍යාලයෙන් මට ලැබුණ දේ ගැන මා ඒ විදුහලට සදා ගෞරව කරන නිසා මා එසේ කරන බව පමණක් කෙටියෙන් සඳහන් කරමි.

Thursday, February 5, 2009

නොපිරුණු කවිය

රැයෙහිත් ඔ‍බේ මුව නෙත් තුළ ඇ‍‍ඳෙන කල
සිසිලක් දැනෙයි ‍සුවහස් මා සිහින තුළ
රහසක් වුවත් ලොවටම ඒ සිහින මල
සුවඳත් ඔබයි, මගෙ මුළු ලොව සුවඳ කළ

Sunday, November 16, 2008

දිවි මං සල - Junction of Life

නතර වීමි මං-සන් පුවරුව අබියස
දැල්වී ඇත එමත ලෝහිත එළිය
ඔබ ඇවිත් නතර විය මා පසෙකින්
දිටිමි මම ඔබ - දුටුවෙහිය ඔබ, මා

බසිනු නොහැක ඔබ, ඔබ රියෙන්
නොමැත අසුනක් මා රියෙහිද
ලෝහිත එළිය දැල්වේද සදා කල්
නැතොත් දැල්වේද හරිත එළිය
යනු පිණිස ඔබට,ඔබ මග - මට මා මග

I stopped at the traffic lights
The red light is on
You pulled by my side
I saw you - You saw me
You cannot get out of your car
nor I have a seat for you
Will the red light on for ever
or, will the green on
for you to go your way, and for me to mine.

Sunday, March 16, 2008

මේ ඔබේ වාරයයි

සැඬ හිරු රැස් පහස ලබා ඉන්නට බැහැ දූවිල්ලට
සුළඟ එක්ක එකතුවෙලා හැම තැනකම විසිරෙනවා
ඉස්සර වගෙ හිස ඔසවා දෑත් නඟා නොබලයි දැන්
වියළී ගිය අතු පොරවන් ඇත මහදුම් කරබාගෙන
කීචි බීචි හඩ නෑසෙයි ඉගිල ගිහින් දුර ඈතට
කිසිවෙක් නැහැ වැව් පතුලේ රටා මවන ඉරි බලන්න

දිය බිඳුවක් සොයා ගිහින් යොදුන් ගණන් දුර ඈතට
පැල්පත් ළඟ දියමැහි උඩ දැකගන්නට නැහැ කළගෙඩි
වියළී ගිය පොළොවෙ හැපී පළ නැති තැන උදළු කෙටිය
සහනාධාරෙට ගිහිල්ල පස් කපනව මහ පාරේ
නිල් පාටින් බැබලි බැබලි සුදු පාටින් රටා මවන
හිස් අහසට දෝත් නඟා වැහි අයදියි අසරණ ඇස්

වැව් ඉවුරේ තුරු සෙවණේ නිසලව හිඳිනා දෙවියනි
ගලක් නොවෙයි නම් හදවත - පෙරදි ඔබට බැතින් වැහුණ
ඒ ඇස්වල කඳුළු අරන් මහ වැස්සක් මවා දෙන්න

1989